‘බාල්දියක්’ ඔළුවේ නවාගෙන අධිකරණයට ආ ඉම්රාන් ඛාන්

පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් කළු පැහැති විශාල බාල්දියක් වැනි දෙයක් ඔළුවේ නවාගෙන එරට අධිකරණයක් වෙත පැමිණි අවස්ථාව මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගෙන තිබිණි. සැබැවින්ම ඔහු ඔළුවේ නවාගෙන ආවේ බාල්දියක් නොව බාල්දියක හැඩය ඇති අමුතුම ආකාරයක ආරක්‍ෂක ‘හෙල්මටයකි’. එය වෙඩි නොවදින මෙවලමක් බව ද සඳහන් විය.

මෙම ‘බාල්දිය’ නිසා ඉම්රාන්ට ඔහුගේ ඉදිරිය නොපෙනුණු බවක් ද පෙනිණි. මන්ද යත් ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනකු ඔහුව දෙපැත්තෙන් අල්ලාගෙන යනු දැකිය හැකි වූ බැවිනි. මේ අතර ඉම්රාන්ව වට කරගෙන ගමන් ගත් තවත් ආරක්‍ෂක නිලධාරීන් පිරිසක් තවත් තහඩු වැනි මොනවාදෝ ඔසවාගෙන ඒවායින් ඉම්රාන් ආවරණය කරගෙන යන ආකාරය ද දක්නට ලැබිණි. මේවා ද වෙඩි නොවදින තහඩු විශේෂයක් බව පැවසිණි.

ඉම්රාන්ට මේ ආකාරයෙන් දැඩි ආරක්‍ෂාවක් ලබා දී තිබුණේ මේ වනවිට ඔහුට ජීවිත තර්ජන එල්ල වී ඇතැයි පැවසෙන නිසා ය. පසුගිය දිනෙක ඉම්රාන් පවසා තිබුණේ තමා ඝාතනය කිරීමට නැවතත් කුමන්ත්‍රණයක් දියත් වෙමින් ඇති බවයි. මෙයට මාස කිහිපයකට පෙර ඔහු දේශපාලන පෙලපාලියකට සහභාගි වෙමින් සිටියදී ද වෙඩි ප්‍රහාරයකට ලක් වූයේය. එයින් ඔහුගේ කකුලකට බරපතල තුවාල සිදු වූ අතර රෝහල්ගත ව ප්‍රතිකාර ලබන්නට ද සිදු විය.

මේ දිනවල ඔහුට නිතර අධිකරණයන් වෙත යාමට සිදුව තිබේ. ඒ ඉම්රාන්ට සහ ඔහුගේ පක්‍ෂයේ සාමාජිකයන්ට එරෙහි චෝදනා රැසක් විභාග වෙමින් ඇති නිසා ය. ඔහු පසුගිය 4 වැනි දා ඉහත කී වෙඩි නොවදින ‘බාල්දියෙන්’ ඔළුව වසාගෙන පැමිණියේ ද මෙවැනි නඩු කටයුත්තක් සඳහා ය. මෙවැනි නඩු සඳහා උසාවි වෙත නොපැමිණ දුරස්ථ මාර්ග ඔස්සේ මෙම නඩුවලට පෙනී සිටීමට ඉම්රාන්ට අවසර දෙන්නැයි ඔහුගේ නීතිඥයන් ඉල්ලා තිබුණත් ඊට අවසර ලැබුණේ නැත.

පසුගිය 4 වැනි දින ඔහු පැමිණ තිබුණේ ලාහෝරයේ තිබෙන ත්‍රස්ත-විරෝධි අධිකරණයක් වෙත යි. පසුගිය කාලයේ පැවැති විරෝධතාවල දී පොලිසියට එරෙහිව ප්‍රචණ්ඩ ලෙස හැසිරීම, ගිනි තැබීම්, දේපලවලට හානි කිරීම් වැනි චෝදනා ඉම්රාන් ඇතුළු කිහිප දෙනෙකුට එල්ල වී තිබේ. ගිය වසරේ අප්‍රේල් මාසයේ විශ්වාසභංග යෝජනාවක් හරහා අගමැති ධුරයෙන් ඉවත් කරනු ලැබූ ඉම්රාන් ඔහුගේ පාක්‍ෂිකයන් සහ ආධාරකරුවන් ද සමග එක්ව දිගින් දිගටම එරට ආණ්ඩුවට එරෙහිව විරෝධතා දක්වමින් සිටියි. ඔවුන්ගේ ප්‍රධානම ඉල්ලීමක් වන්නේ ඉක්මනින් මහා මැතිවරණයක් පැවැත්විය යුතු බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්වාසභංගයකින් ඔහුගේ ආණ්ඩුව පරාජය වුව ද ජනතාව අතර ඉම්රාන් තවමත් ජනප්‍රිය බව දැකිය හැකි වේ. පසුගිය කාලයේ පැවැති අතුරු මැතිවරණ කිහිපයකින් ද ආණ්ඩු පක්‍ෂය පරදා ඉම්රාන්ගේ තෙහ්රීක්-ඉ-ඉන්සාෆ් පක්‍ෂය ජය ලැබීය.

මෙම තත්ත්වය තුළ ඉම්රාන් එරට අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ ආණ්ඩුවට යම් හිසරදයක් වී ඇති ආකාරයක් දැකිය හැකි වේ. තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට ඉම්රාන් චෝදනා කරන්නේ මෙවැනි පසුබිමක් තුළ යි. මාස කිහිපයකට පෙර ඔහු වෙඩි ප්‍රහාරයකට ලක් වූ අවස්ථාවේ ඔහු ඇඟිල්ල දිගු කළේ අගමැති ෂරීෆ්ට සහ අභ්‍යන්තර කටයුතු පිලිබඳ ඇමැති රනා සනාවුල්ලාට ය. ෂෙබාස් ෂරීෆ් යනු පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ සහෝදරයෙකි.

මේ දිනවල ලංකාවේ සිදුවන දේට සමාන දෙයක් ද පකිස්තානයේ සිදු වෙමින් තිබේ. ඒ මැතිවරණ කල් දැමීමකට අදාළව ය. එරට පළාත් දෙකක පළාත් සභා මැතිවරණ අප්‍රේල් 30 වැනි දින පැවැත්වීමට නියමව තිබිණි. ඒ පන්ජාබ් සහ කයිබර් පක්තුන්ක්වා නැමැති පළාත් දෙකේ යි. නමුත් එම මැතිවරණ ඔක්තෝබර් මාසය දක්වා කල් දැමීමට පකිස්තාන මැතිවරණ කොමිසම පියවර ගත්තේය. ඒ මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබා දීමට මහා භාණ්ඩාගාරය කටයුතු නොකිරීම නිසා ය. පකිස්තානය ද මේ වනවිට සිටින්නේ විශාල ආර්ථික අර්බුදයක යි. ඔවුහු ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබා ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටිති.

මැතිවරණ කල් දැමීමත් සමග ඉම්රාන්ගේ පක්‍ෂය ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ ඡන්ද කල් දැමීමට මැතිවරණ කොමිසම ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී බවයි. ඒ අනුව පන්ජාබ් හි මැතිවරණය මැයි 14 වැනි දින පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. අනෙක් පළාතේ මැතිවරණය තාක්‍ෂණික කාරණයක් නිසා එදින පැවැත්වෙන්නේ නැත. මේ අතර මැතිවරණ සඳහා අවශ්‍ය පකිස්තාන රුපියල් බිලියන 21 ක මුදල මැතිවරණ කොමිසමට ලබා දෙන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය එසේ කීවත් එම නියෝගය පිලිගැනීමට ආණ්ඩුව සූදානම් බවක් නොපෙනේ. මැතිවරණ පැවැත්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මෙම තීන්දුව ප්‍රතික්‍ෂේප කළ යුතු බවට එරට පාර්ලිමේන්තුව මේ වනවිට යෝජනාවක් සම්මත කර ගෙන තිබේ. අගමැති ෂරීෆ්ගේ ආණ්ඩුව පවසන්නේ රටේ ඇති දරුණු ආර්ථික අර්බුදය තුළ මේ මොහොතේ මැතිවරණ සඳහා මුදල් වැය කිරීමට හැකියාවක් නොමැති බවයි. ඉහත තීන්දුව ලබා දී තිබුණේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලකි. ඒ වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් ඉල්ලා සිටිය යුතු යයි ද මෙම යෝජනාවේ සඳහන් වන බව මාධ්‍ය වාර්තා කර තිබේ.

වසර අවසානයේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණය නියමිත ආකාරයෙන් පවත්වාවි ද යන්න ද මේ අනුව සැක සහිත වී ඇත.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර