බැදපු කඩල වෙළඳාමෙන් දිවි ගෙවන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලත් ඉන්දීය කවියා

යූටියුබ් සමාජ ජාලයේ සැරිසරද්දී පසුගිය ජූලි 15 වැනිදා එයට එක් කරන ලද, සිත කම්පනය කරවන්නට සමත් වීඩියෝවක් දකින්නට හැකි විය. ඒ ඉන්දියාවේ පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලද හල්දාර් නග් නම් කිවියා සිය ජීවිකාව කරගෙන යාම සඳහා ‘රාග චානා’ නමින් හඳුන්වනු ලබන බදින ලද කඩල අළෙවි කරන වීඩියෝවකි. පද්මශ්‍රී යනු ඉන්දීය රජය විසින් සිය පුරවැසියකු අගය කිරීම සඳහා පුදකරනු ලබන සම්මාන හතර අතරින් එකකි. මෙය පහසුවෙන් උපයාගත හැකි දෙයක් නොවේ. කුමක් හෝ ක්ෂේත්‍රයකින් අද්විතීය සේවයක් සිය දේශය වෙනුවෙන් ඉටුකරන පුරවැසියෙකුට ඉන්දීය රජය විසින් මේ සම්මානය පිරිනමනු ලබයි. හල්දාර් නග් එවැනි එක් පුරවැසියෙකි.

1950 වසරේ දී ඔඩිෂා දිස්ත්‍රික්කයේ බාර්ගාර් හි ඉතා දිළිඳු පවුලක උපත ලද හල්දාර් නග් ‘කොස්ලි’ නම් ප්‍රාදේශීය භාෂාවෙන් කාව්‍ය නිර්මාණ කරන සුප්‍රකට ගැමි කිවියෙකි. තුන්වැනි ශ්‍රේණියෙන් ඉහළට කිසිදු අධ්‍යපානයක් නොලැබුව ද, ආචාර්ය උපාධිය සඳහා සම්පාදනය කෙරෙන විශ්වවිද්‍යාල නිබන්ධන පහක් මේ වන විටත් ඔහු වෙනුවෙන් ලියැවී තිබේ. අවුරුදු දහයේ දී ඔහුට සිය දෙමාපියන් අහිමි වූ අතර ඔහුට එතැනින්ම සිය පාසල් ගමන අවසන් කරන්නට සිදු විය. ඔහු ඉන්පසු සිය ජීවිකාව කරගෙන යාම සඳහා හෝටලයක කෑම බීම සැපයීම සහ භාජන සෝදා පිරිසිදු කරන්නෙකු ලෙස රැකියාවක් කළේය.

හල්දාර් නග්

පසුව ගම් ප්‍රධානියාගේ උපකාර ඇතිව ඔහුට ප්‍රාදේශීය පාසලක අරක්කැමියකු ලෙස සේවය කරන්නට අවස්ථාව ලැබිණි. ඔහු වසර 16ක් එම රැකියාවේ නිරත වූයේය. පසුව රුපියල් දහසක බැංකු ණයක් ලබා ගත් ඔහු පාසල අසලින් සුළු පරිමාණ ලිපි ද්‍රව්‍ය අළෙවි සලක් ආරම්භ කළේය. ඔහු අධ්‍යාපනය ලබා ගත්තේ තුන්වැනි ශ්‍රේණියට පමණක් වුව ද, ලියන්නට ඇති ආශාව එතැනින් නතර වූයේ නැත. ඔහු සුළුවෙන් විවිධ දේ ලිවීම අඛණ්ඩව සිදුකරගෙන ගියේය.

එවක ජනපති ප්‍රනාබ් මුක්ර්ජි වෙතින් පද්මශ්‍රී සම්මානය ලබා ගන්නා හල්දාර් නග්

1990 වසරේ ඔහු සිය මුල්ම කවිය නිර්මාණය කළේය. ඔහු එය ‘පැරණි නුග ගස’ යනුවෙන් නම් කළේය. ඔහුගේ වාසනාවකට මෙන් ප්‍රාදේශීය සඟරාවක ඔහුගේ කවි පළකරවන්නට ඔහුට අවස්ථාව හිමි විය. කාලයක් ඇවෑමෙන් ඔහු ‘කොස්ලි‘ බසින් නිර්මාණ කටයුතු සිදු කරන ගැමි කිවියෙක් ලෙස ප්‍රසිද්ධයට පත් විය. ඔහු ඔඩිෂා දිස්ත්‍රික්කය පුරා ‘ලෝක් කවි රත්න’ නම් ගෞරවනීය නමින් හඳුන්වන්නට පටන් ගැනුණි.

සාම්ප්‍රදායික ඇඳුමින් සැරසුණු හල්දාර්

1990 වසරේ ඔහු සිය මුල්ම කවිය නිර්මාණය කළේය. ඔහු එය ‘පැරණි නුග ගස’ යනුවෙන් නම් කළේය. ඔහුගේ වාසනාවකට මෙන් ප්‍රාදේශීය සඟරාවක ඔහුගේ කවි පළකරවන්නට ඔහුට අවස්ථාව හිමි විය. කාලයක් ඇවෑමෙන් ඔහු ‘කොස්ලි‘ බසින් නිර්මාණ කටයුතු සිදු කරන ගැමි කිවියෙක් ලෙස ප්‍රසිද්ධයට පත් විය. ඔහු ඔඩිෂා දිස්ත්‍රික්කය පුරා ‘ලෝක් කවි රත්න’ නම් ගෞරවනීය නමින් හඳුන්වන්නට පටන් ගැනුණි. ඔහුගේ නිර්මාණ බොහෝ විට සොබා දහම, සමාජය, මිත්‍යා විශ්වාස සහ ආගම අළලා රචනා විය. ඔහු සිය කාව්‍ය නිර්මාණ තුළින් සමාජ ප්‍රතිශෝධන පිළිබඳව අදහස් ද ඉදිරිපත් කළේය. ඔහුගේ තෝරා ගත් කවි එකතු කර ඒවා ‘කාව්‍යාංජලී’ නමින් ඉංග්‍රීසි පරිවර්තනයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමග ඔහුගේ ජනප්‍රසාදය තවත් ඉහළ ගියේය.

බදින ලද කඩල අළෙවි කරන හල්දාර්

ඔහු සාහිත්‍යය වෙනුවෙන් කළ අනුපමේය සේවය හේතුවෙන් ඔහුව පද්මශ්‍රී සම්මානයෙන් පුදනු ලැබිය යුතු බවට 2016 වසරේ දී ඉන්දීය රජය තීරණය කළේය. හල්දාර් නග් කෙතරම් අල්පේච්ඡ, සරල ජීවිතයක් ගත කළ පුද්ගලයක් ද යන්න ඔහුට මේ පිළිබඳ දැනුම් දුන් අවස්ථාවේ දී පවසන ලද දෙයින් පැහැදිලි වේ. ඔහු මේ පණිවිඩය ලැබුණු මොහොතේම මෙසේ පවසා සිටියේය.

හල්දාර් සිය නිර්මාණ ඇතුළත් කෘති සමග

“මහත්තයෝ මට දිල්ලියට එන්න තරම් වත්කමක් නැහැ. පුළුවන් නම් කරුණාකරලා ඔය සම්මානය තැපෑලෙන් එවන්න.”

කෙසේ නමුත් ඉන්දීය රජය එකී සම්මානය තැපෑලෙන් යවනු වෙනුවට හල්දාර් නවදිල්ලියට ගෙන්වා ගන්නට කටයුතු කළේය. ඔහු සම්මාන උළෙලට සහභාගි වූයේය. ඔහුට පාවහන් පැළැඳ සිටියේ නැත. පාවහන් මිලදී ගන්නට පවා ඔහුට වත්කමක් තිබුණේ නැත. ඔහු හැඳ සිටියේ සුදු පැහැති දෝතියකි. ඔහු එවක ඉන්දීය ජනපති ප්‍රනාබ් මුකර්ජි අතින් පද්මශ්‍රී සම්මානය ලබා ගත්තේය. ඔහුට ඒ සමග හිමි වුණු ඉන්දීය රුපියල් දහදහස ඔහු අනාථ නිවාසයට පරිත්‍යාග කළේය.

සම්මාන ලත් කිවියකු වුව ද ඔහු සිය ගම වූ බාර්ගාර් හි වසරක් පාසා පැවැත්වෙන ‘රාත් යාත්‍රා’ උළෙල පවත්වනු ලබන කාලයේ දී ‘රාග චානා‘ නම් බදින ලද කඩල අළෙවි කරනු දකින්නට හැකිය. ඒවා අළෙවි කරන්නන් අතර ඔහු සුවිශේෂී තැනැත්තෙකි. ඒ ඔහු පද්මශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ කිවියෙක් සේම බදින ලද කඩල වෙළෙන්දකු ද වන බැවිනි.

හල්දාර් නග් වෙසෙන නිවස

සම්මාන ලත් කිවියකු වුව ද ඔහු සිය ගම වූ බාර්ගාර් හි වසරක් පාසා පැවැත්වෙන ‘රාත් යාත්‍රා’ උළෙල පවත්වනු ලබන කාලයේ දී ‘රාග චානා‘ නම් බදින ලද කඩල අළෙවි කරනු දකින්නට හැකිය. ඒවා අළෙවි කරන්නන් අතර ඔහු සුවිශේෂී තැනැත්තෙකි. ඒ ඔහු පද්මශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ කිවියෙක් සේම බදින ලද කඩල වෙළෙන්දකු ද වන බැවිනි. බදින ලද කඩල අළෙවි කිරීම පිළිබඳ ඔහුට පසුතැවිල්ලක් හෝ ලජ්ජාවක් හෝ නැත. තමා ජීවත් වන්නේ බදින ලද කඩල අළෙවි කිරීමෙන් බවත්, එය පැවසීම ලජ්ජාවට කාරණයක් නොවන බවත් ඔහු පවසයි.

කඩල අළෙවි කරමින් ජීවිතය රැකගන්නා මේ පද්මශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ, කොස්ලි බසින් නිර්මාණකරණයේ යෙදෙන මේ කිවියා වීර කාව්‍යයන් 20 ක් ඇතුළුව තවත් කවි බොහොමයක් නිර්මාණය කොට තිබේ. සාහිත්‍යයට ඔහු දැක්වූ මේ මේ දායකත්වයට ගරු කිරීමක් වශයෙන් ඔහුගේ ‘හල්දාර් ග්‍රන්ථාවලී – 2’ ඔඩිෂා දිස්ත්‍රික්කයේ සම්බල්පූර් විශ්වවිද්‍යාලයේ විශය නිර්දේශයට ද ඇතුළත් කොට තිබේ.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර