වංචා දූෂණ, අක්‍රමිකතා, අකාර්යක්ෂමතා ආදිය පිලිබඳ චෝදනා කොතෙක් තිබුණත් ඒවායේ වගකීම භාරගෙන ඉල්ලා අස්වන මැති ඇමැතිවරුන් ගැන අපේ රටවලින් අසන්නට ලැබෙන්නේ නැත. නමුත් ලෝකයේ දියුණු දේශපාලන සංස්කෘතීන් ඇති රටවල ඉතා කුඩා චෝදනාවකට ලක්වන දේශපාලනඥයන් පවා ඒවායේ වගකීම භාර ගනිමින් ඉල්ලා අස්වන ආකාරය දැකිය හැකි වේ. මෙවැනි සිදුවීමක් ගැන පසුගිය දිනවල නවසීලන්තයෙන් ද වාර්තා විය.
තමුන්ගෙන් සිදු වූ වරදක් නිසා මේ ආකාරයෙන් ඉල්ලා අස් වූයේ නවසීලන්තයේ ඇමැතිවරියක වූ කිරී ඇලන් ය. 39 වැනි වියෙහි පසුවන ඇය කටයුතු කළේ එරට අධිකරණ ඇමැතිවරිය ලෙසිනි. නමුත් බීමත්ව රිය පදවා පොලිසියට හසුවීමෙන් පසු ඇලන් ඇයගේ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් වූවාය. අප වැනි රටක නම් මෙවැනි වරදකට තබා මෙයට වඩා බෙහෙවින් බරපතල වරදකට පවා ඉල්ලා අස්වන දේශපාලනඥයන් දක්නට ලැබේ ද?
කිරී ඇලන් බීමත්ව රිය පදවා ඇති බව අනාවරණය වූයේ පසුගිය 23 වැනි ඉරිදා ඇය ගමන්ගත් මෝටර් රිය තවත් මෝටර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පසුව ය. මෙම අනතුර ගැන පරීක්ෂා කිරීමට ආ පොලිස් නිලධාරීන්ට පෙනී ගියේ ඇමැතිවරිය බීමත්ව සිටින බවයි. ඒ අනුව ඔවුහු ඇය වහාම අත්අඩංගුවට ගැනීමට සහ පොලිස් ස්ථානයක් තුළ රඳවා තබා ගැනීමට කටයුතු කර තිබිණි. ඇලන් නිදහස් කර තිබුණේ පැය 4 කට පමණ පසුව ය. ඉදිරියේදී ඇය අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත ය. ඇය මෙම අනතුර සිදු කර තිබුණේ නවසීලන්තයේ අගනුවර වන වෙලින්ටන් නුවරදී යි. නමුත් මෙම අනතුරෙන් කිසිවකු මරණයට පත්ව හෝ තුවාල ලබා හෝ තිබුණේ නැත.
මෙම සිද්ධියෙන් පසු නවසීලන්ත අගමැති ක්‍රිස් හිප්කින්ස් ඇමැතිනිය සමග සාකච්ඡාවක් පවත්වා තිබිණි. එයින් පසු ඇලන් ධුරයෙන් ඉල්ලා අස්වීමට එකඟ වී තිබූ බව සඳහන් වේ. ‘ඇලන් කටයුතු කළේ අධිකරණ ඇමැති ධුරයේයි. අධිකරණ ඇමැති කෙනෙකුට අපරාධ චෝදනාවක් එල්ල වී ඇති අවස්ථාවක තවදුරටත් එම ධුරයේ කටයුතු කළ නොහැකි බව ඇය තේරුම් ගත්තා’ යයි අගමැතිවරයා මාධ්‍ය හමුවක් අමතමින් පවසා තිබිණි.
කිරී ඇලන් සම්බන්ධ මෙම සිදුවීම පිටුපස ඉතා මානුෂීය ගැටලුවක් ඇති ආකාරයක් ද දැකිය හැකි වේ. ඇය සමරිසි කාන්තාවක වන අතර ඇයගේ ජීවිත සහකාරිය වූ මානි ඩන්ලොප් සමග පැවැති සම්බන්ධය මෙයට ටික දිනකට පෙර බිඳ වැටී තිබිණි. මානි ඩන්ලොප් නවසීලන්තයේ ගුවන් විදුලි නිවේදිකාවකි. ඔවුන් දෙදෙනා විවාහ ගිවිසගෙන සිටි බවක් ද වාර්තා වේ. (නවසීලන්තය තුළ සමරිසි විවාහවලට නීතියෙන් අවසර ලැබේ.) කෙසේ හෝ වේවා තම සම්බන්ධය බිඳ වැටීම නිසා ඇලන් දැඩි මානසික ව්‍යාකූලත්වයකට මුහුණ දී සිටි බව සඳහන් ය. මේ අතර ඇලන් ඇයගේ අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලයේ සමහරුන් සමග ද ගැටලු ඇති කරගෙන සිටි බවක් මාධ්‍ය වාර්තා කර තිබිණි.
මෙම අවුල් සහගත තත්ත්වය තුළ පසුගිය කාලයේ ඇය සිට ඇත්තේ ඇයගේ රාජකාරිවලින් නිවාඩු ලබාගෙන ය. නිවාඩුවෙන් පසු ඇය නැවත වැඩට පැමිණ තිබුණේ ඉහත කී රිය අනතුර සිදුවීමට සතියකට පමණ පෙර යි. තමා මේ ආකාරයෙන් නැවත රාජකාරී සඳහා පැමිණියේ පෞද්ගලික ජීවිතයේ ගැටලු සහ රැකියාවේ කටයුතු කළමනාකරණය කර ගැනීමට තමාට හැකි වනු ඇතැයි විශ්වාස කළ නිසා බව ද ඇලන් පවසා තිබුණාය. ‘නමුත් මා තවමත් යථා තත්ත්වයට පත්ව නැති බව පසුගිය දා සිදු වූ සිද්ධියෙන් පෙනී ගියා’ යයි ද ඇය සඳහන් කර තිබිණි.
තවදුරටත් දේශපාලනයේ නිරත වෙනවාද යන්න සමබන්ධයෙන් තමා තීරණයක් ගන්නා බව ද ඇය පවසයි.
කලකට පෙර කිරී ඇලන් ඇයගේ පක්ෂය වන කම්කරු පක්ෂය තුළ ඉතා ජනප්‍රිය සාමාජිකාවකව සිටි කෙනෙකි. නවසීලන්තයේ සුප්‍රකට අගමැතිවරියක වූ ජසින්දා ආඩර්න් අයත් වූයේ ද මෙම පක්ෂයටයි. මේ වසරේ ජනවාරි මාසයේ ආඩර්න් අගමැති ධුරයෙන් ඉල්ලා අස් වූ අවස්ථාවේ කිරී ඇලන් ද එම ධුරය සඳහා යෝජනා වූ බව සඳහන් වේ.
ඇය පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පත් වී තිබුණේ 2017 වසරේ යි.
නිහාල් පීරිස්