ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වෙසක් පුර පසලොස්වක වෙසක් පුන් පෝ දිනය උදා වී ඇත. ඒ නිමිත්තෙන් දිවයිනේ සෑම බෞද්ධ සිද්ධස්ථානයක් ම බැතිමතුන් ගෙන් පිරී පවතින බවත් සෑම විහාරස්ථානයක් මුල් කර ගනිමින් ම විශේෂ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කොට ඇති බවත් මේ වන විට අප රටේ සියලු ජනමාධ්‍ය වලින් ප්‍රකාශ වෙමින් පවතී. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වෙසක් තොරණ, පහන් කූඩු, විශේෂ සැරසිලි සේම වෙසක් දන්සැල් ද පැවැත්වෙන අතර රාත්‍රියේ වෙසක් සිරි නැරඹීම පිණිස අගනුවර ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර වෙත පැමිණෙන ජනතාව සඳහා අතිරේක ප්‍රවාහන පහසුකම් සේම විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති බව ද ප්‍රකාශ වී තිබේ. මේ අතර අප රටේ නා හිමිවරු ද මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් මෙවර වෙසක් උත්සවය මුල් කොට ආමිසයට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැනක් දී කටයුතු කරන ලෙස ක්ෂණික නිවේදන නිකුත් කිරීම් වලින් ද මේ දිනවල අඩුවක් නැත. ඊට හේතුව සමස්ත ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජය තුළ තරයේම සනිටුහන් කොට තැබිය යුතු එම උපදෙස වෙසක් දින පණිවිඩයක පමණක් නාමිකව සඳහන් කොට එවීම ක්ෂණික, හදිසි, අහඹු අවස්ථාවක් සේ අපට වැටහී යන බැවිනි. වෙසක් උත්සවය සම්බන්ධ ඉහත සඳහන් සාම්ප්‍රදායික සමාජ සන්දර්භය එලෙස තිබිය දී අප ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ නිරන්තරයෙන් සිදුවෙමින් පවතින සදාචාර සෝදා පාළුව මේ වන විට වඩාත් බරපතල තත්වයකට පත්ව තිබේ.
මිනී මැරුම්, දේපල ගිනි තැබීම්, ස්ත්‍රී දූෂණ ඇතුළු සාපරාධී ගණයේ වැරදි සේම හොරකම, වංචාව, දූෂණය ආදී සෙසු නීති සහ සදාචාර විරෝධී කටයුතුවලින් අප ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජය ලොව අන්‍යාගමික සමාජයන් පරදවා වේගවත් ඉදිරි ගමනක යෙදෙමින් පවතින බව විවිධ විමසුම් වලින් තහවුරු වෙමින් පවතී. මීට හේතුව කුමක්ද?යන්න විමසා බැලීමේ දී මෙය බුදු දහමේ පවත්නා යම් වරදක්, අඩුපාඩුවක් නිසා සිදුවන බවට බුදු දහම සම්බන්ධ ධර්ම ශාස්ත්‍රීය විවරණයක් කිරීමට නොදත් සෙසු විෂය පථයන් හි ප්‍රාමාණික උගතුන් පවා නිගමනයකට එළඹෙනු නියත ය.
ආගමික දර්ශන ආගම් බවට පත් වීමත් ඒ ආගම් සමාජ සංවිධාන බවට පත් වීමත් කෙමෙන් ඒ වටා විශාල වශයෙන් ජනතාව එක් රොක් වීමත් ඒ ඔස්සේ ඒ තුළ පළමුව ගනු දෙනු ද දෙවනුව ව්‍යාපාර ද තෙවනුව ද ජාවාරම් ද ඇති වීම වැලැක්විය නොහැකි බව හිටපු ඉන්දීය දාර්ශනිකයකු වන ජිඩ්ඩු ක්‍රිෂ්ණමූර්ති පඬිවරයා කියා තිබේ. එම ප්‍රකාශය හුදෙක් එතුමන් ගේම අදහසක් නොවේ. බුදු දහමෙ එන ආසවට්ඨානීය හෙවත් දහම කිළිටි කරවන කරුණු පහට ද එය අයත් වන බව බුදුන් වහන්සේ දේශනා කොට ඇත.
එම ආසවට්ඨානීය ධර්ම නම් රත්නඤ්ඤ මහන්තතා (භික්ෂු මාර්ගඵල ආදිය නොලබා බොහෝ කල්ගත වීම කාටත් වැටහෙන බසින් කිවහොත් ‘ඇට්ටකුණා වීම’) වේපුල්ල මහන්තතා (ආගමික වශයෙන් බොහෝ පිරිස් ඒකරාශී වීම) බාහු සච්ච මහන්තතා (ධර්මය ආර්ය මාර්ගයෙන් බැහැරව ශාස්ත්‍රීය භාවිතය සඳහා පමණක් ගැනීම) ආදී වශයෙන් වන එම දහම කිළිටි කරවන කරුණු වලින් මේ වන විට නූතන බුදු සසුන දරුණු දූෂණයකට ලක්ව හා ලක් වෙමින් පවතින බව අප අතිශය අකමැත්තකින් යුතුව වුව පිළිගත යුතු යථාර්ථයකි.
ශ්‍රමණ ප්රතිපදාවන් යනු මූලික ජීවිත අවශ්‍යතා වලින් ඔබ්බට ලෞකික අවශ්‍යතා පිරිමසා නොගන්නා සේම ගිහියන් වෙති තම මූලික අවශ්‍යතා සපුරා ගන්නා හෙවත් ‘භික්ෂා’ දිවි රැක ගන්නා ආධ්‍යාත්මික ජීවිත ගත කරන පිරිසකි.බුදුන් වහන්සේ විසින් ලොවට හඳුන්වා දුන් පැවිදි ශ්‍රාවක පිරිස ද මෙම ශ්‍රමණ ගණයට අයත් හෙවත් භික්ෂුහු වෙති. එහෙත්, අද ශ්‍රී ලාංකේය භික්ෂු සමාජය තුළ භික්ෂුන් හට උරුම ඒ අපිස් බව; අල්ජේච්ඡතාව කෙතරම් සුනුවිසුණු වී තිබේද? යත් එක් නා හිමි නමක් තමන් ගේ පෞද්ගලික පරිභෝජනය සඳහා අධි සුඛෝපභෝගී රථ තුන හතර තබා ගෙන සිටි පුවතක් පසුගිය සමයේ අනුරාධපුරයෙන් වාර්තා විය. සැබැවින්ම වර්තමානයේ අධි කාමභෝගීත්වයේ යෙදෙන ශ්‍රී ලාංකේය සමාජයේත් මෙරට භික්ෂුන් ද ගිහියන් හා හරි හරියට ඉහළ තලයකට පත් වනු ඇත. බුදුන් වහන්සේ විසින් භික්ෂුන්ට හඳුන්වා දුන් පිය උරුමයෙන් ඉඳුරාම පටහැනි ක්‍රියාවන් කරන මෙම භික්ෂුන් බුදුන් ගේ සහජාත පුතුන් නොව බුදු සසුනේ අවජාතකයන් ලෙස යමකු හැඳින්වුවහොත් එයට එරෙහිව නැගී සිටීමට හැකියාවක් අප තුළ නම් නොමැත.
මිනිසුන් විසින් ගෙවිය යුතු මුදල් වලින් කොටසක් දඩ වශයෙවන් ද තවත් කොටසක් බදු වශයෙන් ද තවත් කොටසක් සම්මාදම් වශයෙන් ද වෙන් කළ හැක.නමුත් සදාචාර ධර්ම පිරිහුණු සමාජයක මීට අමතර කප්පම් නම් කොටසක් ද සමාජ ගත වී තිබේ. මුත් අද වන විට මෙරට විහාරස්ථාන කේන්ද්‍රකර ගත් භික්ෂු ප්‍රජාව ගිහියන් ගෙන් කැමැත්තෙන් දෙන සම්මාදම අනිවාර්යෙන් ගෙවිය යුතු දඩ සහ බදු සේම කප්පම් බවට පත් කර ගැනීම පිළිබඳ ප්‍රබල සමාජමය චෝදනාවක් පවතී.
මේ අතර පසුගිය කාලයේ අප රටේ විදුලි ගාස්තු ඉහළ නැංවීම මුල් කොට කරන ලද විමසුමක දී අනාවරණය වූයේ අප රටේ නාගරික බෞද්ධ විහාරස්ථාන ආශ්රිත මාසික විදුලි බිල රුපියල් ලක්ෂ ගණනින් වන බව ය. තම විහාරස්ථාන සඳහා එතරම් සුවිසල් මාසික විදුලි බිලක් ගෙවීමට සිදුව ඇත්තේ බෞද්ධයන් ආගමට දහමට යොමු කරවා ගැනීම මඟින් බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම පිණිස යැයි ඒවායේ පාලක කාරකාදී භික්ෂුන් කරන ප්‍රකාශය හුදෙක් බාළ බොළඳ විහිළුවක් පමණකැයි ඒ සම්බන්ධ තතු දත් ආරංචි මාර්ග සහතික කොට තිබේ. ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ විහාර භූමිකාව රාත්‍රියට ආලෝකය අවශ්‍ය නම් අඩුම පිරිවැයකින් යුතු එල්. ඊ. ඩී. නමින් හඳුන්වන විදුලි බුබුළු කිහිපයකින් එම ආලෝකකරණ අවශ්‍යතාව සපුරා ගත හැකි බවයි.එමෙන්ම එම විහාරස්ථානවල විදුලි බිල මෙතරම් ඉහළ නැංවී ඇත්තේ සම ශීතෝෂ්ණ දේශගුණයක් පවතින ප්‍රදේශවල පවා සංඝාවාස වායු සමනය කොට තිබීම, භික්ෂුන් ගේ පැන් පහසුවීම් හෙවත් ස්නානය සඳහා උනු පැන් පහසුව ලබාගැනීම බුදු දහමේ භික්ෂුවකට කෙසේ වත් කැප නොවන පරිදි මස්, මාළු ඇතුළු ආහාර වර්ග කල් තබා ගැනීම පිණිස ශීතකරණ සහ අධිශීතකරණ භාවිතය නිසා බව මේ වන විට අනාවරණය වී තිබේ.
මේ සියලු තත්වයන් හමුවේ නූතන සමාජය හමුවේ ජනකාන්ත බවට පත්ව හිඳින තවත් භික්ෂුන් කිහිප දෙනෙක් තමන් “ගෞතම බුද්ධ ශාසනය තුළ” සුවිශේෂී පැවිදි උතුමකු සේ හඟවමින් තමන් වෙත යොමු වන බෞද්ධයන් උපායශීලී අතංගු වලින් කොටු කර ගැනීමේ ද මේ වන විට බරපතල අයුරින් ක්‍රියාත්මක වේ.මෙම”ගෞතම බුද්ධ ශාසනය තුළ” යන්න කෙසේ වත් ශාසනික සම්ප්රයකට ගොනු කර ගත හැක්කක් නොවේ. අද වන විට අප රටේ බොහෝ දෙනෙක් අන්තර්ජාලය ඔස්සේ ද ත්‍රිපිටකය අධ්‍යයනය කරති. ඒ අතුරින් අප දන්නා එක් විද්වත් මහතකු පවසා සිටියේ ඉතා සරල ලෙසින් ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කොට ඇති වෙබ් අඩවි කිහිපයක්ම මේ වන විට අන්තර්ජාලයේ ඇති බව ය. එමෙන්ම ඒවා තම දරු මල්ලන් ද පරිහරණය කරන බවකි.එබැවින් බුද්ධ ධර්මයේ නෛසර්ගික ගුණයක් වන ගැඹුරු බව (ගාම්භීරතා) නොනැසෙන අයුරින් එය සරල කිරීම ලේසි පහසු කටයුත්තක් නොවන බවද මම ඔහු හමුවේ පවසා සිටියෙමි.එමෙන්ම එම සූත්‍ර පරිවර්තන වල යම් යම් දෙනා බුදුන් ඇමතීමේ දී “අනේ බුදු හාමුදුරුවනේ”ආදී භාවාතිශය වදන් යොදා ඇති බව ද පෙනෙයි.එහෙත්,ත්‍රිපිටකයේ කිසිදු තැනක කිසිවකුත් බුද්ධ යන ආමත්ත්රණයෙන් බුදුන් අමතා නැත ඒ සඳහා බහුල ලෙසම යෙදී ඇත්තේ භවත් ගෞතමයනි යන්න ය. එහි දී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටියේ ඒ ත්‍රිපිටක සිංහල පරිවර්තන වල බුදුන් වහන්සේ භික්ෂුන් සේම ගිහියන් ඇමතීමේ දී “පින්වත්” යන වදන පෙරටු කොට එසේ කරන ලද බව ය. එහෙත් අප පරිශීලනය කොට ඇති ථේරවාදී ත්‍රිපිටක ග්‍රන්ථවල නම් බුදුන් වහන්සේ පින්වත් යනුවෙන් ගිහියන්ව හෝ පැවිද්දන්ව ඇමතූ කිසිදු තැනක් හමුවී නැති බව මම ඔහුට කීවෙමි.
ඒ අනුව එය එම භික්ෂුව බුදුන් දේශනා නොකළ දෙයක් බුදුන් ගේ සඳහනක් ලෙස ජනතාව වෙත හුවා දැක්වීමේ ශාසනික වංචාව සිදු කොට තිබේ.කාටත් වැටහෙන ලෙසින් කිව හොත් මෙය බුදුන් ගේ අත්සන හොරට ගැසීමකි. බුදු දහමට අනුව “පින” සහ “කුසල” ය එකක් නොවේ. පින අන්‍යාගමිකයන්ට වුව සිදුකර ගත හැකි සාංසාරිකතත්වයක් වන අතර කුසලය යනු ලෝබ, දෝෂ, මෝහ යන අකුසල තත්වයන් ගෙන් බැහැර වූ නිර්වාණය මුල්කොට ගත් ආර්ය මාර්ගය හා සෘජුව බද්ධ වූවකි. ඒ අනුව බුදුන් වහන්සේ “පින්වත් මහණෙනි”, යනුවෙන් බුදුන් වහන්සේ පැවිදි ගිහි පුද්ගලයන් හා පිරිස් ආමන්ත්‍රණය කළ බව පැවසීම බුදු දහමේ දාර්ශනික හරයට ඉඳුරාම පටහැනි වූවක් බව මම කීවෙමි. එවිට ඒ විද්වතා මා හා කියා සිටියේ එම භික්ෂුව තම දායක කාරකාදීන් අතරේ තම භික්ෂු ප්‍රජාව ද “පින්වත්”යන අභිධාන පදය පෙරටුව හඳුන්වන බවකි. නමුදු ඔහු ගේ එම ක්‍රියාකාරීකම කෙසේ වුවද එය බුදුන් වහන්සේ ගේ දෙසුමට අයත් නොවන්නක් බව කී මම හුදු සාංසාරික තත්වයක් වන පින වෘෂභ ජන්මයන්හි උපන්නවුන්ට පවා යම් යම් ආකාරවලින් ඵලදිය හැක්කක් බව පවසා එම කතාව එතැනින් නිමා කළෙමි. නමුත් ධර්මය නමින් සද්ධර්මප්රතිරූපකයන් විසින් සමාජය පුරා පතුරුවන මෙවන් ශාසන විරෝධී දුර්මත හමුවේ බුදු දහම සම්බන්ධ බරපතල ශාසන විලෝපනයක් මේ වන විටත් ඉස්මතු වී තිබේ.
මීට දශකයකට හමාරකට පමණ පෙර ප්‍රකට මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන දිවංගත ඩී. වී. ජේ .හරිශ්චන්ද්‍රයන් සහභාගී වූ සජීව රූපවාහිනී වැඩසටහනකදී එය නරඹමින් සිටි අයෙක් පැනයක් ඇසීය.”බුදුන් වහන්සේ උපත ලැබුවේ ඉන්දියාවේ නොවන බවටත් ලංකාවේ බවටත් මතයක් සමාජයේ පැතිර යනවා. ඒ ගැන ඔබ තුමාගේ අදහස කුමක්ද?” ඉහත සඳහන් පැනය හමුවේ වෛද්‍ය හරිශ්චන්ද්‍රයන් ගේ මුව’ගට මඳ සිනාවක් නැඟුණි.
“ඇත්තෙන්ම මනෝ වෛද්‍යවරුන් හැටියට ඕක නම් අමුතු දෙයක් නෙවෙයි. අපිට ඔය අදහස ඔය විදියටම ප්‍රකාශ කරන අය විවිධ අවස්ථා වලදී මුණ ගැසී තිබෙනවා. මානසික රෝග සායනවලදී සහ වාට්ටුවලදී. බොහෝ වේලාවට ඔය වගේ අදහස් භින්නෝන්මාදය නම් මානසික රෝගය නිසාත් මතු වෙන්න පුළුවන්; ඒ අය හිතන්නේ ඒක තමන් තුළ පවතින කිසියම් සුවිශේෂ ඥාන ශක්තියක් නිසා තමන්ට වැටහෙන දෙයක් කියලයි”. එසේ කී වෛද්‍ය හරිශ්චන්ද්‍රයන් මෙසේ ද කීය. “හැබැයි ඉතින් නියමිත වෛද්‍ය උපදෙස් වලට අනුව යම් කාලයක් එක දිගටම බෙහෙත් බිව්වොත් ඒ තත්වය බොහෝ ද්‍රට නැති කර ගන්න පුළුවන්”
මා ඉහත සඳහන් කරන ලද්දේ සමාජමය වශයෙන් සැනකෙළි සවරූපයක් ගත් නූතන වෙසක් උත්සවය නම් රතු පලස යට දිනෙන් දින එක් රොක් වෙමින් පවතින කුණුකසල සම්භාරය සම්බන්ධයෙන් ඔබ මඳක් හෝ දැනුවත් කිරීමට ය. එමෙන්ම මේ තත්වයන් තව දුටත් මෙලෙස පැවැතීමෙන් මතු අපට අත්දකින්නට වන අවාසනාව අභාග්‍යය මෙතෙකැයි කිව නොහැකි බවට ඔබ සැම වෙත අනතුරු හඟවා සිටීමට ය. ඒ අනුව අපට අකමැත්තෙන් වුව කිව හැක්කේ නූතන වෙසක් සමරු මනාව හැඩ ගැන්වූ මළ සිරුරකට සමාන බවකි. ඒ අතර එහි වගකීමෙන් වැඩි ප්‍රමාණය රට භික්ෂු ප්‍රජාව විසින් භාර ගත යුතු බව ද ඒ සමඟම අවධාරණය කරමි.
කදුරුපොකුණේ සුමංගල හිමි