කරුණු ගණනාවක් නිසා මේ වන විට අප රට ජාත්‍යන්තරය හමුවේ වේගවත් පසුබෑමකට ලක් වෙමින් තිබේ.නොවිධිමත් මූල්‍ය කළමණාකරණය නිසා මේ වන විට රටට බල පෑ ඇති ආර්ථික අහේනිය ද ඊට එක් හේතුවකි.ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත ශීඝ්‍රයෙන් පහත බසිද්දී විපක්ෂය යෝජනා කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (I.M.F) වෙත ගොස් ණයක් ලබා ගෙන ඩොලර් අර්බුදය විසදා ගන්නා ලෙස ය. එහෙත් රජය ඊට කැමැති නැත. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැඩි කොන්දේසි නිසාවෙනි.
වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන කීවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියහොත් රජයේ සේවකයන්ගේ පඩි කපන්න වෙනවා, ගෑස් මිල වැඩි කරන්න වෙනවා, ඩොලරය පා කරන්න වෙනවා යනුවෙනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යම් ගිවිසුමක් ඇතිකර ගතහොත් එම අරමුදලේ කොන්දේසිවලට එකඟවීමට සිදුවන බව ද ඔහු සදහන් කළේ ය.
අය වැය පරතරය සියයට 5 ට වඩා අඩු කිරීම වෙනුවෙන් සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ප්රදානය කිරීම පවා සීමා කිරීමට සිදුවනවා මෙන්ම ගෑස් මිල ඉහළ දැමීමට සිදුවන බව සදහන් කළ ඇමතිවරයා නිදහසේ භාණ්ඩ ආනයනය කිරීමට ඕනෑම පාර්ශවයකට ඉඩ දිය යුතු බවත් ඩොලරය පා වෙන්න ඉඩ දිය යුතු බවත් පැවසීය.කිසියම් ණයක් නිකුත් කිරීමේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එවන් කොන්දේසි පනවනුයේ ඔනුන්ගේ නියාමනයන් හා ප්රඥප්ති වලට අනුව ය.එසේ නොකළහොත් ඔවුන් ද අපේ රට මෙන් බංකොලොත් වනු ඇත.”ලුණු වතුර වැටුණු විට බෙරිහන් දෙන්නේ පිළිස්සුණු මිනිහා”ය යන කතාව බන්දුල ගුණවර්ධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳව කරන මෙම ප්‍රකාශ මඟින් වඩාත් තහවුරු වෙයි.
රටේ සාමාන්‍ය පුද්ගලයෙකු බැංකුවකින් ණය මුදලක් ගැනීමට යාමේදී මීට වඩා කොන්දේසිවලට එකඟ වීමට සිදුවේ. බැංකුවක් ණය දෙන්නේ එම ණය නැවත ගෙවිය හැකි පුද්ගලයෙකුට පමණකි. එසේම බැංකුවේ පොලී අනුපාත ද අඩු ය. එහෙත් පොලී මුදලාලිගෙන් ණයක් ගැනීමේ දී තත්ත්වය මීට වඩා වෙනස් ය.
පොලී මුදලාලී බරපතල කොන්දේසි කිසිවක් පනවන්නේ නැත. එහෙත්, ඔහුට ඇපයට යමක් තබා ගනියි.. පොලී මුදලාලිගේ පොලිය බැංකුවට වඩා වැඩි ය. නියමිත කාලයේ දී පොලිය හා වාරිකය ගෙවිය නොහැකිවුවහොත් ඇපයට තැබූ දෑ සින්න වනු ඇත. බැංකුව ණය වාරික ගෙවීමට අවස්ථා කිහිපයක් දුන්න ද පොලී මුදලාලීලා එසේ කරන්නේ නැත.
බන්දුල ඇමතිවරයා පවසන ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දිය යුත්තේ ද ඔවුන් ගේ නිශ්චිත ක්‍රමවේද අනුව නොවේ. අපට අවශ්‍ය ආකාරයට ය. එය මේ ලෝකයේ සිදුවන දෙයක් නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි පනවන්නේ ණය ගන්නා රට එම මුදල නැවත ගෙවිය හැකි ලෙස ශක්තිමත් කිරීමට ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දෙනවා මිසක් පිනට දෙන ආයතනයක් නොවේ.
බන්දුල ඇමතිවරයා කියන ආකාරයට ඔවුන් සොයන්නේ “පිනට ඩොලර් දෙන” ආයතනයක් විය යුතු ය. ලංකාවට මේ වන විට ගිනි පොලියට පවා ණය දෙන්න කිසිදු රටක් හෝ ආයතනයක් ඉදිරිපත් වන්නේ නැත. මන්ද රට බංකොලොත් බව එම ආයතන හා රටවල් දන්නා බැවිනි. එවැනි අවස්ථාවක කිසිදු රටක් ඇපයට යමක් තබා ගෙන හෝ ණය දෙන්නේ නැත. ඒ මන්ද ණය ගන්නා රට බංකොලොත් නම් එහි දේපොල වෙනත් කිසිදු පාර්ශවයකට අලෙවි කිරීමට හෝ ආයෝජන අවස්ථා සදහා ලබා දීමට නොහැකි බැවිනි.
බංකොලොත් වන රටකට කිසිදු ආයෝජකයෙකු පැමිණෙන්නේ ද නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන්නේ රටට වඩාත් ඵලදායි කොන්දේසි බව නිසැක ය. ඩොලරය පා වෙන්න ඉඩ දිය යුතු බව ඔවුන් කියන නිසා ඊට එකග වෙන්න බැරි බව බන්දුල ඇමතිවරයාගේ අදහසයි.අද වන විට රට තුළ මේ වන විට ඩොලරය පා වෙනවා නොව ගසා ගෙන යන තත්ත්වයට පත්ව තිබේ.
මහ බැංකුව ඩොලර රුපියල් 202 ක මට්ටමේ තබා ගත යුතු බව දැනුම් දී තිබුණ ද බැංකු ඇතුළු සියළු මූල්‍ය ආයතන ඩොලර් අලෙවි කරන්නේ රුපියල් 240 ට ය. කළු කඩයේ ඊටත් වැඩි ය. කළු කඩයේ නම් රුපියල්වලට ඩොලර් දෙන්නේ නැත. ඩොලර් ගන්න නම් රත්රන් දිය යුතු ය. රාජ්‍ය බැංකු කිසිදු මුදලකට ඩොලර් අලෙවි කරන්නේ නැත.
රට තුළ ඩොලර් හිඟයක් පවතින අවස්ථාවක ඩොලර් දෙන ආයතනයක් රට තුළ නැත. මෙයින් වැඩිම අපහසුතාවයට පත්ව ඇත්තේ විදෙස් රටවල අධ්‍යාපනය ලබන දරුවන්ගේ දෙමාපියන් ය. රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීම වැනි අමානුෂික කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන්නේ නැත.
එහෙත්,රට තුළ පවත්නා මූල්‍ය අස්ථාවරත්වය මත රාජ්‍ය සේවක වැටුප වැඩි කිරීම නම් නතර කරනු ඇත. එසේම සිටිය යුතු සේවක සංඛ්‍යාවට වඩා වැඩි සේවක පිරිසක් සිටින රාජ්‍ය ආයතනවල සේවකයන් අඩු කරන ලෙස ඔවුන් දැනුම් දිය හැකි ය.ඔහුන් එසේ පවසනුයේ එසේ ණය ගත් රට යළි ආර්ථික වශයෙන් නඟා සිටුවීමේ ද අරමුණ ඇතිව ය.
අනෙක් කාරණය නම් නිදහස් වෙළෙද පොල ආර්ථිකය යනු ආයෝජන දිරිමත් කිරීමේ ක්රමවේදයකි. නිදහස් වෙළෙඳ පොලකට ආයෝජකයන් පැමිණීමට ආයෝජකයෝ කැමත්තක් දක්වති.
අනෙක ආනයනික භාණ්ඩ වෙනුවෙන් මිල පාලනයක් කරනවාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අකමැති බව සත්‍යයකි ඔවුන් කියන්නේ ලෝක වෙළෙද පොලේ මිලට සාපේක්ෂව රටේ භාණ්ඩ මිල තීරණය විය යුතු බව ය. ඒ අනුව ඉන්ධන හා ගෑස් මිල පවා ඉහළ යා හැකිය.
ඩොලර් නොමැතිව ඉන්ධන ආනයනය නැවතුනහොත් වාහන නිවෙස් හි ප්‍රදර්ශනයට තැබිය හැකි ය. නමුත් ඩොලර් තිබේ නම් වැඩි මිලට හෝ ඉන්ධන ගෙන වාහන පැදවීමේ අවස්ථාව හිමි වේ. යහපාලන රජයේ ආර්ථික ක්‍රමවේදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කැමති විය. ඔවුන් රාජ්‍ය සේවකයන් බදවා ගනිද්දී එය නතර කළේ නැත.
එසේම රාජ්‍ය සේවක වැටුප් වැඩි කරද්දී ඊට ද විරුද්ධ වූයේ ද නැත. ඒ ඔවුන් ණය ගෙවන ආකාරය ගැන සැලසුමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත දී තිබු බැවිනි. එය ප්‍රයෝගික සැලැස්මක් බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුල ඊට කැමැත්ත පළ කර තිබුණි.විපක්ෂය ආණ්ඩුවට යෝජනා කරන්නේ ආණ්ඩුව ද එලෙස ක්‍රියා කළ යුතු බවකි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ අවස්ථාවේ දැඩි කොන්දේසි පනවන්නේ රට බංකොලොත් වී ඇති බැවිනි. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියහොත් වෙනත් රටවල් පවා ලංකාවට ණය දීමට පසුබට වෙන්නේ නැත.ඊට හේතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රමිතිගත ආයතනයක් බැවිනි.
දැන් සිදුවී ඇත්තේ චීනය පවා ලංකාවට ණය නොදෙන තැනකට තල්ලුවී තිබීම ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයන ආණ්ඩුව විදෙස් හි සිටින ලාංකික ප්‍රජාවගෙන් ඩොලර් 100 ක් බැගින් එවන ලෙස ඉල්ලා සිටියි.
අනෙක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිදු විටක කාටවත් කොමිස්,පගා,සන්තෝෂම් දෙන්නේ නැත. එසේම ඔවුන් දෙන ණය මුදල වියදම් කළ යුතු ආකාරය පවා විද්‍යාත්මක පදනමකින් දැනුම් දෙයි.
එලෙස දැනුම් දීම තුළ රජයේ ප්‍රධානීන්ට ව්‍යාපෘතිවලින් සුපුරුදු ලෙස “ගාණ කපා ගැනීමට” නොහැකි වේ. අපේ සමාජයේ මත්පැනට ඇබ්බැහි වූ සමහරකු රෝග පීඩා ආදියේ දී බෙහෙත් බොන්න්නේ නැත.ඔවුන් ඒ වෙනුවට බොන්නේ ද මත් පැන් මය .ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිටුදකිමින් ආණ්ඩුව මේ කරන්න හදන්නේත් ඒ ටිකම නොවෙද?
ලසන්ත වීරකුලසූරිය