බොරිස් ජොන්සන්ගෙන් පසු අගමැති වෙන්නේ කව්ද? උණුසුම් තරගයක්

ලංකාවේත්, එක්සත් රාජධානියේත් දේශපාලන කරළියේ මේ දවස්වල සිද්ධ වෙන්නේ එක විදියේ දේවල්ය. ඒ රටේ අගමැතිවරයා වන බොරිස් ජොන්සන් ද මීට දවස් කිහිපයකට පෙර ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කළ අතර දැන් අපේ ජනාධිපතිවරයා ද ඉල්ලා අස් වී ඇත. අපේ රටේ ද නව ජනාධිපති කෙනෙකු පත් කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වී ඇති අතර එක්සත් රාජධානියේ ද මීළඟ අගමැති පත් කර ගැනීමේ කටයුත්තට මුල පුරා තිබේ. එකම වෙනසකට ඇත්තේ ඒ රටේ නායකයා ඉවත් කිරීමට අපේ රටේ තරම් මරාගෙන මැරෙන අරගලයක් කරන්නට සිදු නොවීම ය.

ලංකාවේ මීළඟ ජනාධිපති කව්රුන් වේවි ද යන්න ගැන ලෝකයම අවධානයෙන් සිටින අතර එක්සත් රාජධානිය සම්බන්ධයෙන් ද එවැනිම අවධානයක් යොමු වී තිබේ. මෙම සටහන ඒ රටේ දේශපාලන ක්‍ෂේත්‍රය තුළ මේ දිනවල සිදුවෙමින් ඇති සිදුවීම් ගැන ය.

මෙයට ටික දිනකට පෙර එක්සත් රාජධානයේ අගමැති බොරිස් ජොන්සන් තමා කොන්සර්වේටිව් පක්‍ෂයේ නායකකමෙන් ඉවත් වන බවත්, පක්‍ෂයට නව නායකයකු පත් වූ විට අගමැතිකමෙන්ද ඉවත් වන බවත් නිවේදනය කළේය. එක්සත් රාජධානියේ අගමැති ධුරයට පත්වන්නේ එරට පාර්ලිමේන්තුව තුළ බහුතර ආසන සංඛ්‍යාවක් හිමි පක්‍ෂයේ නායකයා යි. ඉදිරියේ දී කොන්සර්වේටිව් පක්‍ෂයට අලුත් නායකයකු පත් වීමත් සමග ඔහු එරට නව අගමැතිවරයා බවට ද පත් වනු ඇත.

ඒ අනුව කොන්සර්වේටිව් පක්‍ෂයට නව නායකයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය දැන් ආරම්භ කර තිබේ. පක්‍ෂ නායක තරගයට ඉදිරිපත් වීම සඳහා මැති ඇමැතිවරුන් ඇතුළු අපේක්‍ෂකයෝ 8 දෙනෙක් නාමයෝජනා දිනා ගැනීමට සමත් වූහ. ඊට වැඩි සංඛ්‍යාවක් මුලින් තරගයට ඉදිරිපත් වීමට සූදානමෙන් සිටියත් ඇතැම්හු වේලාසනින්ම තරගයෙන් ඉවත් වූහ. තරගයට නාමයෝජනා ලැබූ අපේක්‍ෂකයන් අට දෙනා වූයේ හිටපු මුදල් ඇමැති රිෂි සුනාක්, වත්මන් විදේශ ඇමැතිනි ලිස් ට්‍රස්, වත්මන් මුදල් ඇමැති නදීම් සහාවි, කණිෂ්ඨ ඇමැතිවරියක වන පෙනී මෝඩෝන්ට් , හිටපු සෞඛ්‍ය ඇමැතිවරයකු වන ජෙරමි හන්ට්, නීතිපති සුවෙලා බ්‍රේවර්මන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටොම් ටුගෙන්දාට් සහ කෙමි බැඩ්නොක් යන අය යි.

තරගය සඳහා අපේක්‍ෂකයන් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත්ව සිටින නිසා අවසන් ජයග්‍රාහකයා තේරීම සඳහා ඡන්ද වට කිහිපයක් පැවැත්වීමට කොන්සර්වේටිව් පක්‍ෂයට සිදුව තිබේ. මෙහි අවසන් වටය හැරුණු කොට සෙසු වටවල දී ඡන්දය භාවිත කරන්නේ එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ය. අවසන් වටයේ දී කොන්සර්වේටිව් පක්‍ෂයේ සියලුම සාමාජිකයෝ ඡන්දය භාවිත කරති.

පළමු වටයේ දී ඡන්ද 30 කට වඩා අඩුවෙන් ලබා ගන්නා අපේක්‍ෂකයන්ට තරගයෙන් ඉවත් වීමට සිදු වේ. ඊට පසු පැවැත්වෙන සෑම වටයකදීම අඩුම ඡන්ද සංඛ්‍යාවක් ගන්නා අපේක්‍ෂකයා තරගයෙන් ඉවත් කරනු ඇත. එය හරියට රියැලිටි වැඩසටහනකට සමාන යයි කිව හැකිය. අවසානයේ අපේක්‍ෂකයන් දෙදෙනකු පමණක් ඉතිරිවන තෙක් ඡන්ද විමසීම මේ ආකාරයෙන් ඉදිරියට යයි. අවසන් වටයේ දී කොන්සර්වේටිව් පක්‍ෂයේ සාමාජිකයන් 160,000 කට ආසන්න සංඛ්‍යාවකගේ ඡන්දයෙන් ජයග්‍රාහකයා තෝරා ගැනේ.

මෙම ඡන්ද විමසීමේ පළමු වටය පසුගිය 13 වැනි දින පැවැත්වූ අතර එහි දී ඡන්ද 30 කට වඩා අඩුවෙන් ලබා ගත් නදීම් සහාවි සහ ජෙරම් හන්ට් තරගයෙන් ඉවත් වූහ. වැඩිම ඡන්ද සංඛ්‍යාවක් දිනා ගනිමින් තරගයේ ඉදිරියටම ආවේ හිටපු මුදල් ඇමැති රිෂි සුනාක් ය. පෙනී මෝඩෝන්ට් සහ ලිස් ට්‍රස් දෙවැනි සහ තුන්වැනි ස්ථාන දිනාගත්තේ පිලිවෙලින් ඡන්ද 67 ක් සහ 50 ක් ලබා ගනිමිනි.

ඡන්ද විමසීමේ දෙවැනි වටය 14 වැනි බ්‍රහස්පතින්දා පැවැත්විණි. එහි දී ද වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත්තේ රිෂි සුනාක් ය. ඔහුට ඡන්ද 101 ක් හිමිව තිබිණි. පෙනී මෝඩෝන්ට් ඡන්ද 83 ක් ලබා ගනිමින් දෙවැනි තැනට ද, ලිස් ට්‍රස් ඡන්ද 64 ක් දිනාගනිමින් තෙවැනි තැනට ද පත් වූහ. අඩුම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් නීතිපතිනි සුවෙලා බ්‍රේවර්මන්ට තරගයෙන් ඉවත් වීමට සිදු විය. දැන් අපේක්‍ෂකයෝ පස් දෙනෙක් තරගය තුළ ඉතිරිව සිටිති. ඔවුන් අතර තුන්වැනි වටය ලබන 18 වැනිදා පැවැත්වෙනු ඇත.

දැනට පවතින තත්ත්වය අනුව පෙනෙන්නේ රිෂි සුනාක් එක්සත් රාජධානියේ මීළඟ අගමැතිවරයා වීමට වැඩි ඉඩක් ඇති බවයි. නමුත් එරට දේශපාලන නිරීක්‍ෂකයන් පවසන්නේ තරගය තවමත් ඉතා විවෘත එකක් බව සහ කව්රුන් අවසන් ජයග්‍රාහකයා වනු ඇත්දැයි නිශ්චිතව කිව නොහැකි බව ය. කෙසේ හෝ වේවා ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 5 වැනි දින ය.

මේ වනවිට තරගයේ ඉදිරියෙන් සිටින රිෂි සුනාක් පසුගිය දිනවල මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගත් කෙනෙකි. ඒ, බොරිස් ජොන්සන්ගේ නායකත්වයට එරෙහිව සටන් කළ අය අතර ඔහු පෙරමුණේම සිටි අයෙකු වූ බැවිනි. ජොන්සන්ට එරෙහිව පක්‍ෂය තුළින් සහ ආණ්ඩුව තුළින් මතු වූ කැරැල්ලේ තීරණාත්මක අවස්ථාවක් වූයේ කැබිනට් සාමාජිකයන් ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් සිය ධුරවලින් ඉල්ලා අස්වීමයි. රිෂි සුනාක් ඒ ආකාරයෙන් ඉල්ලා අස් වූ මුල්ම කැබිනට් සාමාජිකයකු විය.

රිෂි සුනාක් ගේ පරපුරේ මුතුන් මිත්තන් ඉන්දියාවේ උපන් අය බව ද සඳහන් වේ. ඔහුගේ සීයාත්, ආච්චිත් එක්සත් රාජධානියට සංක්‍රමණය වී තිබුණේ නවසිය හැටේ දශකයේ ය.

නිහාල් පීරිස්.

අරුමැසි පුවත්