බෝම්බ තර්ජන නිසා ඉන්දීය ගුවන් ගමන් ක්‍ෂේත්‍රය අවුල් වෙයි

පසුගිය බ්‍රහස්පතින්දා (24) ඉන්දියාවේ මුම්බායි හි සිට කටුනායක ගුවන් තොටුපල වෙත ගමන් කරමින් තිබූ ඉන්දියානු ගුවන් යානයක බෝම්බයක් ඇති බවට කිසියම් පාර්ශ්වයක් කළ දැනුම් දීමක් නිසා එම යානය ක්‍ෂණිකව ගුවන් තොටුපලට ගොඩ බස්සවා මගීන් ඉන් ඉවත් කර සම්පූර්ණ පරීක්‍ෂාවක් කිරීමට අදාළ ආරක්‍ෂක අංශවලට සිදු විය. නමුත් අවසානයේ හෙලි වූයේ එය ව්‍යාජ අනතුරු ඇඟවීමක් බවයි. මෙම සිද්ධියට මුහුණ දුන්නේ එදින පස්වරු 3 ට පමණ කටුනායකට සේන්දු වූ විස්තාරා ගුවන් සේවයට අයත් ගුවන් යානයකි. එහි මගීන් 108 දෙනෙකු ද, කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු ද සිටි බව සඳහන් විය.

මෙයට සතියකට පමණ පෙර ද මෙවැනිම සිද්ධියක් වාර්තා වූ අතර එම අවස්ථාවේ ද ගුවන් තොටුපලේ හදිසි තත්වයක් ප්‍රකාශ කර ගුවන් යානය සම්පූර්ණ පරීක්‍ෂාවකට ලක් කිරීමට සිදු විය. එවර ද අනාවරණය වූයේ එයත්  ව්‍යාජ අනතුරු ඇඟවීමක් බව යි.

බෝම්බ පිලිබඳ මෙවැනි ව්‍යාජ තර්ජන මේ වනවිට ඉන්දියානු ගුවන් සේවා මුහුණ දී සිටින විශාල ගැටලුවක් බවට පත්ව තිබේ. දැන් ටික දිනක සිට එරට ගුවන් යානාවලට අදාළව ලැබෙන මෙවැනි අනතුරු ඇඟවීම් විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. ඉහත කී කටුනායක සිද්ධිය වාර්තා වූ 24 වැනි දින පමණක් මෙවැනි අනතුරු ඇඟවීම් 70 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබූ බව ඉන්දියානු ගුවන් සේවා නිලධාරීන් ප්‍රකාශ කර තිබිණි.

බෝම්බ පිලිබඳ මෙවැනි ව්‍යාජ තර්ජන මේ වනවිට ඉන්දියානු ගුවන් සේවා මුහුණ දී සිටින විශාල ගැටලුවක් බවට පත්ව තිබේ. දැන් ටික දිනක සිට එරට ගුවන් යානාවලට අදාළව ලැබෙන මෙවැනි අනතුරු ඇඟවීම් විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. ඉහත කී කටුනායක සිද්ධිය වාර්තා වූ 24 වැනි දින පමණක් මෙවැනි අනතුරු ඇඟවීම් 70 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබූ බව ඉන්දියානු ගුවන් සේවා නිලධාරීන් ප්‍රකාශ කර තිබිණි. එමෙන්ම ඊට පෙර ගෙවී ගිය දින 11 තුළ ගුවන් යානා 250 කට අදාළව මෙවැනි  ව්‍යාජ තර්ජන  ලැබුණු බව සඳහන් වේ. ගුවන් යානාවල පමණක් නොව ගුවන් තොටුපලවල බෝම්බ ඇති බවට ද  පසුගිය කාලයේ මෙවැනි පණ්වුඩ  ලැබී තිබිණි.

මෙම තත්වය මේ වනවිට ඉන්දියානු ගුවන් සේවාවන්ට මෙන්ම මගීන්ට ද, ආරක්‍ෂක අංශවලට ද මහත් හිසරදයක් බවට පත්ව ඇත. ඉන්දියානු ගුවන් ගමන් ක්‍ෂේත්‍රයේ කටයුතු අවුල් කිරීමට එය සමත් වී තිබේ.


පියාසර කරමින් ඇති ගුවන් යානයක් සම්බන්ධයෙන් මෙවැනි අනතුරු ඇඟවීමක් ලැබුණු සැණින් ඒ පිලිබඳව ක්‍රියාත්මක වීමට අදාළ අංශවලට සිදු වේ.  යානය හැකි ඉක්මනින් ළඟම ඇති ගුවන් තොටුපලකට ගොඩ බැස්සවීමට එවැනි අවස්ථාවල පියවර ගැනේ. සමහර විට හමුදා ගුවන් යානා යොදා ගනිමින් ද අදාල යානයට ආරක්‍ෂාව සැපයීමට පියවර ගනු ලැබේ.

යානය ගුවන් තොටුපලට ගොඩ බැස්සවීමෙන් පසු සියලුම මගීන් එයින් ඉවත් කරනු ලබන අතර ඉන්පසු යානය ද, ගමන් මලු සහ සෙසු භාණ්ඩ ද, ආහාරපාන ආදිය ද දැඩි පරීක්‍ෂාවකට ලක් කෙරේ.

මෙයට ටික දිනකට පෙර මෙවැනි බෝම්බ බියක් නිසා ඉන්දියානු යානයක් ගොඩ බස්සවා  තිබුණේ කැනඩාවේ අධික ශීතලෙන් යුතු, දුර බැහැර  ප්‍රදේශයක ගුවන් තොටුපලකට ය. එම අවස්ථාවේ මගීන්ට යානයෙන් ඉවතට පැමිණීමට සිදුව තිබුණේ දැඩි ශීතල මධ්‍යයේ යි. මේ නිසා තමුන්ට විඳින්නට  වූ  දුෂ්කරතා ගැන එම මගීන් කළ විස්තර මාධ්‍ය තුළ පළ වී තිබිණි.

ගුවන් යානයක් සම්පූර්ණයෙන් පරීක්‍ෂා කිරීම  පැය ගණනාවක් ගත වන වැඩකි. මේ නිසා මගීන්ට ඔවුන් අපේක්‍ෂා කළ වේලාවට ගමනාන්තයන්ට ළඟා වීමට නොහැකි වන අතර ඔවුන් ගේ වැඩකටයුතු සම්පූර්ණයෙන් අවුල් වෙයි. එමෙන්ම මෙම කාලය අතරතුර අදාළ යානයේ කාර්ය මණ්ඩලයේ අයගේ සේවා මුර ආදිය  අවසන් වීමෙන් ඔවුන්ට නැවත එම යානයේ සේවය කිරීමට නොහැකි වීමට පිලිවන. එවැනි අවස්ථාවක අලුත් කාර්ය මණ්ඩල සාමාජිකයන් යෙදවීමට ද ගුවන් සේවාවන්ට  සිදු වේ. මෙවැනි ගැටලු නිසා ගුවන් සමාගම්වලට අමතර වියදම් දැරීමට ද සිදුවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මෙවැනි ගුවන් යානයක් සම්පූර්ණයෙන් පරීක්‍ෂා කිරීම  පැය ගණනාවක් ගත වන වැඩකි. මේ නිසා මගීන්ට ඔවුන් අපේක්‍ෂා කළ වේලාවට ගමනාන්තයන්ට ළඟා වීමට නොහැකි වන අතර ඔවුන් ගේ වැඩකටයුතු සම්පූර්ණයෙන් අවුල් වෙයි. එමෙන්ම මෙම කාලය අතරතුර අදාළ යානයේ කාර්ය මණ්ඩලයේ අයගේ සේවා මුර ආදිය  අවසන් වීමෙන් ඔවුන්ට නැවත එම යානයේ සේවය කිරීමට නොහැකි වීමට පිලිවන. එවැනි අවස්ථාවක අලුත් කාර්ය මණ්ඩල සාමාජිකයන් යෙදවීමට ද ගුවන් සේවාවන්ට  සිදු වේ. මෙවැනි ගැටලු නිසා ගුවන් සමාගම්වලට අමතර වියදම් දැරීමට ද සිදුවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.


ගුවන් තොටුපලක බෝම්බයක් ඇති බවට අනතුරු ඇඟවීමක් ලැබුණු විට එහි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට සිදු වේ. එමෙන්ම එම ගුවන් තොටුපල වෙත පැමිණෙමින් ඇති සියලු ගුවන් යානා වෙනත් ගුවන් තොටුපල වෙත හරවා යවන්නට ද පියවර ගත යුතු වේ.

ඉන්දියානු ගුවන් යානා සහ ගුවන් තොටුපල වෙත මෙවැනි ව්‍යාජ අනතුරු ඇඟවීම් කරන්නේ කව්ද යන්න තවමත් බොහෝ දුරට නොවිසඳුණු ප්‍රහේළිකාවකි. මෙවැනි තර්ජන එල්ල කරන්නන් භාවිත කරන නව තාක්‍ෂණික ක්‍රම නිසා ඔවුන් අල්ලා ගැනීම බෙහෙවින් අසීරු වී ඇති බව ද පැවසේ.

බෝම්බ පිලිබඳ මෙවැනි තර්ජන බොහෝ විට ලැබෙන්නේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ය. මෙම පණිවුඩ එවන අය පිලිබඳ තොරතුරු සොයා ගැනීම සඳහා ඉන්දීය රජය මෙටා, X වැනි සමාජ මාධ්‍ය ආයතනවල සහය ලබා ගැනීමට පියවර ගෙන ඇත.  එමෙන්ම වෙනත් බහු ජාතික තාක්‍ෂණික සමාගම්වලින් ද ඒ සඳහා සහය ඉල්ලා තිබේ.

ගුවන් යානා සම්බන්ධයෙන්  ඇති වී තිබෙන මෙම අවුල් සහගත තත්වය නිසා ඇතැම් ඉන්දියානුවන්  සිය ගමන් සඳහා වෙනත් විකල්ප භාවිත කිරීමට යොමු වෙමින් ඇතැයි ද මාධ්‍ය සඳහන් කර තිබිණි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර