මගේ නම සිරිසේන වගේම ගමත් පොලොන්නරුවේ

sirisena
උපතිස්ස බාලසූරිය කියන නම කලා ලෝකයේ එච්චර ප්‍රචලිත නමක් නොවුණත් එස්. කේ. සිරිසේන කියන නම සුවහසක් ටෙලි නාට්‍ය රසිකයන් අතරේ අතිශය ජනප්‍රිය නමක්. ඒ ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් ගේ ‘නාඩගම් කාරයෝ’ ටෙලි නාට්‍යයේ එන ඒ චරිතය නිසා. ඒ හින්දා අපිට හිතුණා; නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයේ එස්. කේ. සිරිසේන ගේ චරිතය අපූරුවට නිරූපණය කරන උපතිස්ස බාලසූරිය එක්ක පුංචි පිළිසඳරක යෙදෙන්න.

■ සාමාන්‍යයෙන් චිත්‍රපටියක, වේදිකා නාට්‍යයක හෝ ටෙලි නාට්‍යයක චරිතයක් මුල් අකුරු සහිත නමකින් හැඳින්වෙන්නේ නැහැ. ඒත්, නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයේ ඔබ රඟපාන සිරිසේන චරිතයට එස්. කේ. කියන මුල් අකුරු දෙකත් තියනවා. මොකක්ද මේ එස්. කේ. කියන්නේ?

තිර කතා පිටපතේ නම් එස්. කේ. කියන අකුරු වලට තේරුමක් දීලා නැහැ. නමුත් ඔය ප්‍රශ්නේ සමහරු මගෙන් වරින් වර අහලා තියන හින්දා මම ඒකට ‘සද්දන්ත කුලයේ’ ‘සත්‍යය කතා කරන’ වගේ එක එක තේරුම් දීලා තියනවා.

■ ඔබ කොහොමද එක පාරටම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ඇවිත් මෙච්චර ඉක්මනට මේ තරම් ජන ප්‍රසාදයකට ලක් වුණේ?

ඇත්තෙන්ම මේක එක පාරටම ආපු ගමනක් නෙවෙයි. මම ප්‍රසිද්ධ කලා මාධ්‍යයකින් රංගනයට පිවිසිලා දැනට අවුරුදු හතලිස් හයක් විතර වෙනවා. මම පාසල් අවදියේ ඒ කියන්නේ 1975 අවුරුද්දේ ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරින් ගේ ‘මඩොල් දූව’ චිත්‍රපටියේ උප චරිතයකුත් 1977 අවුරුද්දේ නෙවිල් ඩයස් සුබසිංහ ගේ ‘වාරුවෙන් යන මිනිස්සු’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතයකුත් රඟපාලා තමයි මම ප්‍රසිද්ධ රංගන ක්‍ෂේත්‍රයට පිවිසුණේ.

■ ඒත්, ඉතින් ඊට පස්සේ ඔබ කලා ලෝකය තුළ ආගිය අතක් නැති කෙනෙක් බවට පත් වෙලා හිටියා?

ඇත්තටම මේකයි වුණේ; ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වුණු මට 1980 රාජ්‍ය දැව සංස්ථාවේ නිලධාරියෙක් හැටියට පත් වීමක් ලැබෙනවා. ඒ එක්කම මාව කැලණිය විශ්ව විද්‍යාලයටත් තේරෙනවා. ඔය දෙකම පූර්ණ කාලීනව කරන්න ඕනේ දේවල් නේ. ඉතින් ඔය අස්සේ මම රඟපෑමටත් යොමු වුණා නම් අන්තිමට ඒ තුනම නැති වෙන්න ඉඩ තිබුණා.

නමුත් මම ඒ අතරේ කලා කටයුතු වලින් සහ මුලින්ම අත් මිදුණෙත් නැහැ. 1988 අවුරුද්දේ ජයන්ත චන්ද්‍රසිරි ගේ ‘වෙද හාමිනේ’ ටෙලි නාට්‍යයේ මානසික රෝගියකු ගේ උප චරිතයක් රඟපෑවා. ඒ කාලේ මම ඒ ටෙලි නාට්‍යයේ නිතරම කියපු ‘රජ්ජුරුවන් ගේ වංගෙඩිය’ කියන දෙබස සාමාන්‍ය ජන සමාජයෙන් විනෝදාත්මක ව්‍යවහාරයක් වුණා.

ඊට පස්සේ මම ජයන්ත චන්ද්‍රසිරි ගේ අත්, මෝරා, ඔත්තුකාරයා, සතිශ්චන්ද්‍ර එදිරිසිංහ ගේ ‘සොක්කානෝ රජානෝ’ වගේ වේදිකා නාට්‍ය වලත් රඟපෑවා. ඒ මට ඒ වෙනුවෙන් කැපවෙන්න තිබුණු සිමිත කාලය යොදා ගෙන.

■ නමුත් ඔබ ඊට පස්සේ ටිකෙන් ටික ටෙලි නාට්‍ය වලට සම්බන්ධ වුණා නේද?

ඔව්. ‘නාඩගම් කාරයෝ’ අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් කියන්නේ අවුරුදු තිස් ගාණක් තිස්සේ මම ආශ්‍රය කරන මගේ මිත්‍රයෙක්. ‘ශිවා’ තුළ හොඳ යාළුකමක් වගේම පොදුවේ ගත්තම උතුම් මිනිසත් බවකුත් තියනවා.

කොයි තරම් ඉහළ ගියත් ශිවාගේ සරල චාම් බවේ කිසිම වෙනසක් වුණේ නැහැ. ඒ කාලේ මම ශිවා අධ්‍යක්ෂණය කරපු ‘දාමිණී’ ‘ඇන්ඩ් කොම්පැණි’ කියන ටෙලි නාට්‍යවල රඟපෑවා. ‘ඇන්ඩ් කොම්පැණි’ ටෙලි නාට්‍යයේ මම රඟපාපු පරාක්‍රම අධ්‍යක්ෂ තුමා කියන චරිතය අපේ රටේ ප්‍රධාන දේශපාලනඥයකුට සමපාත විදිහට නිර්මාණය කරලා තිබුණු හින්දා ඒකත් සෑහෙන්න ජනප්‍රිය වුණා.

■ නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයේ එස්. කේ සිරිසේනව ඔබ දකින්නේ කොහොමද?

ඒ චරිතයේ කිසිම පෞද්ගලික තොරතුරක් ගැන ටෙලි නාට්‍යයෙන් කියැවෙන්නෙ නැහැ. කතා රචක සද්ධාමංගල සූරියබණ්ඩාර ඒ චරිතය යොදා ගෙන තියෙන්නේ වර්තමානයේ සමාජ, ආර්ථික, දේශපාලනය ගැන සරල විග්‍රහයන් ඉදිරිපත් කරන්න; එකම ටෙලි නාට්‍යයක් තුළ එක එක චරිතවලට ඒ වගේ සුවිශේෂ අනන්‍යතා හිමි කරලා දෙන එක කතා තේමාවේ සමතුලිත බවට, විවිධාංගීකරණයට සාර්ථක විදිහට ඉවහල් වෙන බව සද්ධා මංගල මේ තිරකතා පිටපතෙන් හරි අපූරුවට ඔප්පු කරලා තියනවා.

■ උපතිස්ස බාලසූරිය කියන නමට වඩා එස්. කේ. සිරිසේන කියන නමේ පරණ ගතියක් ගැමි ගතියක් තියනවා. ඒ වගේ තත්වයක් යටතේ ඔබේ සැබෑ නම යටවෙලා ඔබ තුළින් සිරිසේන නම ඉස්මතු වීම ගැන මොකද ඔබ හිතන්නේ?

ඒ නම ගැමි හරි, පරණ හරි කියලා මම හිතන්නේ නැහැ. මොකද අපේ රට පාලනය කරපු මෛත්‍රීපාල සිරිසේන මහත්තය ගේ නම පරණයි කියලා කවුරුවත් කිවිවේ නැහැනේ.

ඒ වගේම මමත් ඒ ටෙලි නාට්‍යයේ සිරිසේන වගේම මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ගම වුණු පොලොන්නරුවේ ඉපදුණු කෙනෙක්. මගේ ගම පොලොන්නරුවේ පුලස්තිගම.

■ ඔබේ වත්මන් පෙනුම අනුව ඒ කාලයේ ඉතා කඩවසම් තරුණයෙක්ව ඉන්න ඇති; ඔබ කියපු බාධක නැතුව කොහොමද ඒකාලේ චිත්‍රපටියට ‘කොල්ලා’ ගේ චරිතය රඟපාන්න තිබුණා නම්?

රඟපෑමයි චරිත නිරූපණයයි කියන්නේ දෙකක්. ඔය කියන චිත්‍රපටි වල කොල්ලන් ගේ චරිත රඟපෑම මුල් කර ගත්තු ඒවා; ඒවායේ චරිත නිරූපණයට තිබුණු ඉඩ කඩ අඩුයි.

අනික ප්‍රේමය කියන එක යොවුන් බවේ උරුමයක්ය කියන මතයට මම එකඟ වෙන්නෙත් නැහැ. මම හිතනවා ප්‍රේමය කියන එක වයසට යාමත් එක්ක මුහුකුරා යන එකක් කියලා.

හරියට පොල් පැහෙන කොට තෙල් වැඩි වෙනවා වගේ. ඒ කියන්නේ ජීවිතාවබෝධය මුල්කරගෙන ප්‍රේමයත් පරිණත වෙනවා. මේ ගැන වරදවා හිතන්න එපා; මම මේ කියන්නේ මගේ විවාහ ජීවිතය ගැන අත්දැකීම් වලින්.

■ ඒ කියන්නේ ඔබ තාමත් මනැසින් තරුණයෙක්?

මම දැව සංස්ථාවේ සේවයෙන් විශ්‍රාම යනකොට හිතේ පුංචි පසුබෑමක් ඇති වුණා. අනේ ඉතින් මාත් දැන් වයසක මනුස්සයෙක් නේද? කියලා ඒත්, ඊට පස්සේ නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණාට පස්සේ මට ඇසුරු කරන්න ලැබුණේ මට වඩා හුඟක් ළාබාල ජව සම්පන්න පිරිසක්.

මේ ටෙලි නාට්‍යයේ රඟපාන තරුණ නලු නිළියෝ සමහරක් මගේ දරුවන්ගේ වයසේ. ඒ අය අතරේ කෙළිදෙලෙන් කටයුතු කරන කොට මගේ වියපත් බව මට අමතක වුණා. කොටින්ම මං තිරිහං වුණා කියන්නත් පුළුවන්.

දැන් මට හිතෙනවා මම වියපත් කෙනෙක් වුණත් දැන් මේ ගත කරන්නේ මගේ රංගන ජීවිතයේ යෞවන අවදිය කියලා. මට මේ භාග්‍යය ලබාදීම ගැන නාඩගම් කාරයෝ කණ්ඩායමටම මම මුළු හදවතින්ම ස්තුති කරනවා.

■ හිටිහැටියේ අතිශය ජනප්‍රියත්වයට පත්වෙන සමහරු ඒ මුල් කොට තමන් ගැන අමුතු අභිමානයක් ආඩම්බර කමක් ඇති කර ගන්නවා. ඔබත් එහෙමද?

හාමුදුරු නමක් දායකයන්ටයි, වෙද මහත්තයෙක් ලෙඩ්ඩුන්ටයි මුදලාලි කෙනෙක් බඩු ගන්න මිිනිස්සුන්ටයි ආඩම්බරකම් පෙන්නන්න ගියොත් වැඩේ වරද්දා ගන්නවා.

රසිකයන්ට ආඩම්බරකම් පෙන්නන්න යන කලා කාරයන්ට වෙන්නෙත් ඒ සන්තෑසියම තමයි. ජීවිතය, සමාජය ගැන යම් කියැවීමක් කරපු මම ඒ ටික තේරුම් අරන් ඉන්නේ.

■ දැන් අපි හැරෙමු ඔබේ පෞද්ගලික ජීවිතය පැත්තට; කොහොමද ඔබේ වර්තමාන පවුලේ තොරතුරු?

මම විවාහකයි. මගේ බිරිඳ ශ්‍යාමා. රජයේ ලියාපදිංචි ඖෂධවේදිනියක්. ලොකු පුතා සංඛ. දේශීය වෛද්‍යවරයෙක්. පොඩි පුතා දිනුක. සංගීත වේදියෙක්.

■ රංගනය සහ කලා ජීවිතය සම්බන්ධයෙන් ඔබගේ අනාගත පැතුම් මොනවද?

එහෙම පැතුම් කියලා අමුතුවෙන් ගොඩ ගහගත්ත දෙයක් නැහැ. රංගනයේ දී මට ලැබෙන කොටස උපරිම හොඳින් කරලා පැත්තකට වෙන්න තමයි මම උත්සාහ කරන්නේ.

මොකද නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයෙන් මට අත්වුණු මේ ප්‍රසිද්ධිය, ජනප්‍රියත්වය වුණත් මම කීයටවත් බලාපොරොත්තු වුණු දෙයක් නොවෙයිනේ.

පිළිසඳර : සහන් සංකල්ප සිල්වා

රසගඟුල