මම අභියෝග වලට බය නොවී ආදරය කරන්න තාත්තා ගෙන් ඉගෙන ගත්තා

කෙටි කාලීන අරමුණු උදෙසා අපේ ජාතිය, ආගම සංස්කෘතිය අත් නොහැරිය යුතු බවත් අවස්ථාවාදී දේශපාලනය මත කෙටිකාලීන අරමුණු වෙනුවෙන් වැඩ නොකළ යුතු බවත් ඒ නිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුවක් පිහිටුවීමේ අභියෝගය භාරගත් බවත් තමන් අභියෝගවලට ආදරය කරනු මිස ඒවාට බිය නොවන අතර ඒවා තම පියා ගෙන් ඉගෙන ගත් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. එහි දී වැඩි දුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේ ද කීය. “අපි මඩවලට බය නැහැ. අපේ පළාත් පාලන ප්‍රධානීන්,සාමාජිකයන් පසුගිය කාලය පුරා විශාල කැපකිරීමක් කරල තමයි පක්ෂය ආරක්ෂා කළේ. අපේ පක්ෂය මේ රටේ දේශපාලන සිතියම වෙනස් කළ පක්ෂයයි. 2015 යළි මහින්ද මහත්තයාට භාරගන්න වුණේ එතුමා භාර දුන්න රට නොවෙයි. ආර්ථිකය වැටිලා. අපි ආයේ රට භාරගනිද්දි කොවිඩ් වසංගතය ඇවිත්. එදා අපට තිබුණේ ආර්ථිකය ද ජීවිතය ද කියන ප්‍රශ්නය. එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිව්වා මුලින් අපි ජීවිත බේරගනිමු කියලා. අපි මිනිස්සු බඩගින්නේ මැරෙන්න දුන්නේ නෑ. අපි දන්නවා කුමන්ත්‍රණකාරී ලෙස රට වට්ටන්න හදද්දී ඒ රට වැටෙන්න නොදෙන්න රනිල් වික්‍රමසිංහ මහත්තයට සහයෝගය දුන්නා.ඒත් අපි කෙටි කාලීන අරමුණුවලට අපේ ජාතිය, ආගම සංස්කෘතිය අතහරිනවද?. අපට අවස්ථාවාදී දේශපාලනය අවශ්‍ය නැහැ. කෙටිකාලීන අරමුණු වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණයක් ගත්තා ආණ්ඩුවක් හදන්න. අපි අභියෝගවලට බය නැහැ. මම අභියෝගවලට ආදරය කරනවා. මම මගේ තාත්තාගෙන් ඒවා ඉගෙන ගත්තා. අපි මඩවලට බය නැහැ. අපි ප්‍රතිපත්තියකට වැඩ කරනවා. 2005 – 2015 කාලයේ ගෙන ගිය කෘෂි ප්‍රතිපත්තිය ආරක්ෂා කරගනිමින් නවීන කෘෂිකර්මාන්තයක් ඇති කරනවා.තරුණ පරම්පරාවට තාක්ෂණය හඳුන්වා දෙනවා. තාක්ෂණය කෘෂිකර්මාන්තයත් එක්ක බද්ධ කරනවා. හොඳ ආර්ථිකයක්, පොහොසත් රටක්, පොහොසත් පුරවැසියෙක් හදන්න අපි කටයුතු කරනවා. “.නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ ජනපතිවරණයෙන් ඔහු ජයග්‍රහණය කරවීමේ අරමුණින් අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේදී ඊයේ (21) පැවැති මංගල ජන රැලිය අමතමිනි.

කාලීන පුවත්