මයිකල් ජැක්සන්ගේ ජීවිත කතාව ඇසුරෙන් අලුත් සිනමාපටයක්

‘පොප් සංගීතයේ රජු’ ලෙස හැඳින්වුණු සුප්‍රකට ගායක මයිකල් ජැක්සන්ගේ ජීවිත කතාව ඇසුරෙන් සිනමාපටයක් නිර්මාණය කිරීමේ සූදානමක් ගැන පසුගිය දා විදෙස් මාධ්‍ය තුළ සඳහන් වුණා. මෙහි රූපගත කිරීම් ළඟදීම ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ. Michael යනුවෙන් නම් කර ඇති මෙම සිනමාපටයේ මයිකල්ගේ චරිතය නිරූපනය කරන්නේ ඔහුගේ බෑණා කෙනෙකුම වීමත් විශේෂත්වයක්. ජාෆර් ජැක්සන් නැමැති ඔහු මයිකල්ගේ වැඩිමල් සොහොයුරෙකු වන ජර්මේන් ජැක්සන්ගේ පුතෙක්. මේ වනවිට 26 වැනි වියෙහි පසුවන ජාෆර් තුළ මයිකල්ගේ පෞරුෂය සහ ජීව ගුණය දැකිය හැකි බව චිත්‍රපටයේ නිශ්පාදකවරයකු පවසා තිබුණා.

මයිකල් ජැක්සන්ගේ ජීවිතය අපූරු සිදුවීම්වලින් මෙන්ම බොහෝ හැලහැප්පීම්වලින් ද පිරි එකක් වූ බව රහසක් නොවෙයි. එම නිසා මෙම සිනමාපටය ද විශාල අවධානයක් දිනාගන්නා එකක් වනවාට සැකයක් නැහැ. 2009 වසරේ සිදු වූ ඔහුගේ අකල් මරණය පවා විශාල ආන්දෝලනයක් ඇති කළා. ඔහු මිය යන විට වයස අවුරුදු 50 ක් පමණයි.

මයිකල් මුලින්ම සංගීත ලෝකයට පිවිසුණේ ළමා වියේදීම යි. ඔහුගේ පියා ජෝ ජැක්සන් The Jackson 5 නමින් සංගීත කණ්ඩායමක් පිහිටු වූ අතර ඊට ඇතුළත් වූයේ ඔහුගේම දරුවන් පමණයි. මයිකල් ජැක්සන් ද කුඩා වියේ සිටම එහි සාමාජිකයෙකු වුණා. මේ කාලයේ සංගීත කණ්ඩායමේ පුහුණුවීම්වල දී තම පියා ඉතා දරදඬු ආකාරයෙන් කටයුතු කළ ආකාරය ගැනත් මයිකල් පසු කාලයේ පවසා තිබුණා. ඔහු වරක් පවසා තිබුණේ තමාට ඇත්තේ විශාල නාසයක් යයි පවසමින් පියා තමාව නිතර විහිළුවට ලක් කළ බවයි. තම දරුවන් පුහුණු වෙද්දී ඔහු පටියක් ද අතැතිව පුටුවක වාඩි වී බලා සිටින බවත්, කව්රුන් හෝ වැරැද්දක් කළහොත් පටියෙන් පහර දෙන බවත් මයිකල් සඳහන් කර තිබුණා. පසු කාලයක ජෝ ද මේ බව පිලිගෙන තිබූ බව සඳහන්. මේ ආකාරයෙන් දරුවන්ට දඬුවම් කිරීම වරදක් ලෙස මෙකල සැලකුණක් ඒ කාලයේ දරුවන් තුළ විනයක් ඇති කිරීමේ දී මෙවැනි දඬුවම් දීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබූ බව එක් අවස්ථාවක මයිකල්ගේ මව කැතරීන් පවසා තිබුණා.


පසුව ලෝක පූජිත සංගීත ශිල්පියකු වීම දක්වා මයිකල් පැමිණි ගමන ආරම්භ වූයේ එහෙමයි.

මයිකල්ගේ ළමා විය පිලිබඳ මෙම සිදුවීම් ද අලුත් චිත්‍රපටයේ ඇතුළත් විය හැකියි. මෙම චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරන්නේ හොලිවුඩයේ දක්‍ෂ සිනමාකරුවකු වන ඇන්ටෝන් ෆුක්වා. ඔහු පවසා තිබුණේ පොප් සංගීතයේ රජු බවට පත්වීම දක්වා මයිකල් පැමිණි ගමන් මග මෙම සිනමාපටය තුළින් ගවේෂණය කරන බවයි. ඔහු ලෝකයේ විශිෂ්ට නිර්මාණකරුවකු බවට පත් කළ ඔහුගේ අපූරුම නිර්මාණ රැසක් මෙම චිත්‍රපටයට ඇතුළත් වන බව Michael හි නිශ්පාදනයට සම්බන්ධ Lionsgate සමාගම පවසා තිබෙනවා.

මෙහි මයිකල් ජැක්සන්ගේ චරිතය රඟපෑම සඳහා සුදුසු නළුවකු සොයා ගැනීමට නිශ්පාදකයන් මුලින් ලොව පුරා මෙහෙයුමක් දියත් කර තිබූ බව සඳහන්. නමුත් එයින් සාර්ථක ප්‍රතිඵලයක් අත් වී තිබුණේ නැහැ. එයින් පසුව තමයි ඔවුන් ජාෆ්ර් ගැන අවධානය යොමු කර තිබුණේ. ජාෆර් මෙම චරිතයට කෙතරම් හොඳින් ගැලපෙනවාද යන්න දුටු විට තමා පුදුමයට පත් වූ බව නිශ්පාදක ග්‍රැහැම් කිං පවසා තිබුණා. ජාෆර් තුළ මයිකල්ගේ පෞරුෂය සහ ජීව ගුණය අපූරුවට ගැබ්ව ඇති බවත් ඔහු පවසනවා.

කෙසේ වෙතත් මේ වනවිට Michael චිත්‍රපටය සම්බන්දයෙන් යම් ආන්දෝලනයක් ද මතුවෙමින් ඇති බවක් පෙනෙනවා. එයට පසුබිම්ව ඇත්තේ කලකට පෙර මයිකල්ට එරෙහිව එල්ල වූ ළමා අපචාර චෝදනා යි. එවැනි චෝදනා එල්ල වූ කෙනෙකු උත්කර්ෂයට නංවන මෙවැනි නිර්මාණයක් බිහි කිරීම ගැන ඇතැම් පාර්ශ්ව තුළ එතරම් ප්‍රසාදයක් නැති බවයි පෙනෙන්නේ. මේ ආකාරයෙන් විරෝධය දක්වන එක් අයකු වන්නේ ඩෑන් රීඩ් නැමැති චිත්‍රපට අධ්‍යක්ෂවරයා යි. ඔහු මයිකල්ට එරෙහිව එල්ල වූ ළමා අපචාර චෝදනා පදනම් කරගෙන Leaving Neverland නමින් වාර්තා චිත්‍රපටයක් ද නිර්මාණය කළ කෙනෙක්. Michael වැනි චිත්‍රපටයක් නිර්මාණය වීම වැලැක්වීමට කිසිවකුත් පියවර නොගන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කරනවා. මයිකල් දරුවන් සමග පැවැත්වූ දූෂිත සම්බන්ධය අමතක කර බොහෝ දෙනෙකු ඔහුගේ සංගීතය ගැන පමණක් අවධානය යොමු කිරීම ගැන ඔහු දැඩි විවේචනයක් එල්ල කර තිබුණා.

තමාට එරෙහිව එල්ල වූ ළමා අපචාර චෝදනා මයිකල් ප්‍රතික්‍ෂේප කළා. මේ සමහර චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවා පැවරුණා. කෙසේ හෝ වේවා, 2005 වසරේ ඔහු එම චෝදනාවලින් නිදහස් කෙරුනා.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්