වෛද්‍ය ජෙෆ්රි ලෝන් පැවසූ පරිදිම මෙම පුද්ගලයන් ද අඳුරු පැහැති බිම් ගෙයක් වැනි දෙයක් තුළින් ගමන් කරමින් එහි කෙළවර වූ දීප්තිමත් ආලෝකයක් වැනි දෙයක් දුටු බව සඳහන් කර තිබේ. නමුත් මෙයට සැබෑ හේතුව මරණාසන්න අවස්ථාවක දී චෛතසිකය තමන්ගේ සිරුරින් මිදී ඉවතට යාම නොව මොළයේ පිහිටි ආංගික ගයිරසය (Angular gyrus) නම් වූ කුඩා කොටසෙහි සිදුවන උත්තේජනයක් බව ස්විට්සර්ලන්ත-ජර්මානු ස්නායුවේද විශේෂඥ මහාචාර්ය ඔල්ෆ් බ්ලාන්ක් විසින් සිය පරීක්ෂණ මගින් ඔප්පු කර ඇත.
මරණින් මතු තවත් ජීවිතයක් ඇති බවට තම පර්යේෂණ මගින් සනාථ වූ බව ඇමරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන ජෙෆ්රි ලෝන්ග් විසින් මෑතකදී ප්‍රකාශ කර තිබිණි. ඔහු එරට මරණාසන්න අත්දැකීම් පිළිබඳ පර්යේෂණ පදනමේ නිර්මාතෘවරයා ද වේ.එම මාතෘකාව ඕනෑම අයකුගේ ස්වාභාවික කුතුහලය පුබුදුවන්නක් බැවින් එබඳු පුවත් තටු සළා ලොව හතර අත පියාඹනු ඇත.
මරණාසන්න මොහොතේ එම පුද්ගලයන්ගේ චෛතසිකය හෙවත් මනෝ කාය ඔහුගේ සිරුරින් පිටතට පැමිණ අවකාශයෙහි සැරිසරන්නට පටන් ගන්නා බවට මෙම වෛද්‍යවරයා විසින් මතයක් ඉදිරිපත් කර ඇත. එසේම එම චෛතසිකය අඳුරු ගුහාවක්, එනම් බිංගෙයක් වැනි දෙයක් තුළින් ගමන් කරන බවත්, එම ගුහාවෙහි එහා කෙළවර ඉතා දීප්තිමත් ආලෝකයක් දක්නට තිබෙන බවත් තම පර්යේෂණ මගින් දැක ගැනීමට හැකි වූ බව මෙම වෛද්‍යවරයා පවසා තිබිණි. මෙසේ සිදුවී තිබුණේ මරණාසන්න තත්ත්වයට පැමිණ, නමුත් එම අවස්ථාවේ මිය නොගොස් තව දුරටත් ජීවත් වීමට අවකාශය ලද පුද්ගලයන්ගෙනි. කෙසේවුවද මෙලෙස සිරුරින් පිටතට පැමිණෙන මෙම චෛතසිකය තවත් කෙනකුගේ සිරුරක් තුළට ඇතුළු වීම හෝ දරුවකු ලෙස පසුව මෙලොව එළිය දකින පරිදි කාන්තාවකගේ ගර්භාෂයට ඇතුළු වන බවක් හෝ ඔහුගේ පර්යේෂණ මගින් සනාථ වූ බවක් පෙනෙන්නට නැත .මේ වන විට මහත් ආන්දෝලනයකට ලක් ව ඇති මෙම මතය වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් මුල් වරට හෙළි කරන ලද්දක් නොවේ.
නූතන මරණාසන්න අත්දැකීම් ආන්දෝලනයේ “පියා” ලෙස හැඳින්වෙන ඇමරිකානු මනෝ වෛද්‍ය වරයකු වන රේමන්ඩ් මූඩි ගේ පුරෝගාමී කෘතිය වූ Life after life (ජීවිතයෙන් පසු ජීවිතය) ලෝකය තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. 1975 දී මුලින් ප්‍රකාශයට පත් කරන ලද, එය “සායනික මරණය” අත්විඳ නැවත පණ ගැන්වූ සහ මරණයෙන් ඔබ්බට ඇත්තේ කුමක්දැයි ඔවුන්ගේම වචනවලින් පවසන සිය දෙනෙකු පිළිබඳ පෙරළිකාර අධ්‍යයනයකි.මෙම කෘතිය ලොව පුරා පිටපත් මිලියන දහතුනකට වඩා අලෙවි වී ඇති බවක් පැවසෙයි. නමුත් වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් වෛද්‍ය රේමන්ඩ් මූඩි පවසන මෙම තත්වය යථාර්ථයක් විය හැකිද?
මරණාසන්න මොහොතකදී හෘදයේ ක්‍රියාකාරිත්වය ඇණ හිටින විට ( Cardiac arrest ) පුද්ගලයන් මුහුණ දෙන අත්දැකීම් ද වෛද්‍ය ජෙෆ්රි ලෝන්ගේ පරීක්ෂණ මගින් නිරීක්ෂණය වූ දේවල් බව බොහෝ කලක් තිස්සේ අප විසින් හදාරා තිබෙන කරුණු අනුව ද පැහැදිලි වී තිබේ. හෘද ක්‍රියාකාරිත්වය ඇන හිටි පුද්ගලයකු එම අවස්ථාවේ තම සිරුරින් පිටතට ගොස් සිරුරට ඉහළින් අවකාශයේ රැඳී, වෛද්‍ය කාර්ය මණ්ඩලය තමන්ට හෘද සම්බාහනයක් ලබාදෙමින් සහ යන්ත්‍ර ආධාරයෙන් ප්‍රතිකාර කරමින් යුහුසුළුව හෘද ක්‍රියාකාරිත්වය නැවතත් ප්‍රකෘතිමත් කරන අයුරු බලා සිටි බවට එම පුද්ගලයන් වරින්වර සඳහන් කර ඇත. වෛද්‍ය ජෙෆ්රි ලෝන් පැවසූ පරිදිම මෙම පුද්ගලයන් ද අඳුරු පැහැති බිම් ගෙයක් වැනි දෙයක් තුළින් ගමන් කරමින් එහි කෙළවර වූ දීප්තිමත් ආලෝකයක් වැනි දෙයක් දුටු බව සඳහන් කර තිබේ. නමුත් මෙයට සැබෑ හේතුව මරණාසන්න අවස්ථාවක දී චෛතසිකය තමන්ගේ සිරුරින් මිදී ඉවතට යාම නොව මොළයේ පිහිටි ආංගික ගයිරසය (Angular gyrus) නම් වූ කුඩා කොටසෙහි සිදුවන උත්තේජනයක් බව ස්විට්සර්ලන්ත-ජර්මානු ස්නායුවේද විශේෂඥ මහාචාර්ය ඔල්ෆ් බ්ලාන්ක් විසින් සිය පරීක්ෂණ මගින් ඔප්පු කර ඇත.(Angular gyrus) නම් වන ඔහුගේ පර්යේෂණ වාර්තාව ඒ සම්බන්ධ විද්‍යාත්මක සොයා ගැනීමක් ලෙස ලොව පුරා විද්වත්හු පිළිගනිති.
මහාචාර්ය බ්ලාන්ක් විසින් සිය පර්යේෂණය සඳහා යොදා ගන්නා ලද පුද්ගලයන්ගේ හිසේ මතුපිට සවි කළ ඉලෙක්ට්‍රෝඩ සිය ගණනක ආධාරයෙන් මොළයේ විවිධ කොටස්හි උත්තේජනයක් ඇති කොට ලැබෙන ප්‍රතිඵල නිරීක්ෂණය කර තිබේ.
මෙම අවස්ථාවේ දී ඔහු එලෙස උත්තේජනය කිරීම සිදුකොට ඇත්තේ අහඹු ලෙස ය. නමුත් ආංගික ගයිරසය නම් වූ කොටසට ආසන්නයේ සවි කරන ලද ඉලෙක්ට්‍රෝඩය උත්තේජනය කරන ලද සෑම අවස්ථාවකම එම පුද්ගලයා මරණාසන්න අවස්ථාවක දී ලැබෙන අත්දැකීම් අත්විඳ තිබේ. මෙයින් අදහස් වන්නේ එවැනි අවස්ථාවක හෘදයේ ක්‍රියාකාරිත්වය ඇණ හිටින විට මොළයේ විවිධ කොටස්වලට ලැබෙන රුධිර සැපයුම අකර්මණ්‍ය වීම නිසා එම පුද්ගලයන්ට එවැනි අත්දැකීම් ලැබෙන බව ය. අප ශරීරය අවට අවකාශය සමග ඇති සම්බන්ධතාවයෙහි නියාමනයක් සිදු කරන්නේ මෙම ආංගික ගයිරසය නම් වූ කොටස මගිනි.
එම නිසා මරණාසන්න අවස්ථාවකදී ආංගික ගයිරසය අසාමාන්‍ය ලෙස උත්තේජනය වීමෙන් පුද්ගලයන් අත්විඳින මෙම අත්දැකීම් ලැබෙන බව නිගමනය කළ හැකිය.මේ අතර රේමන්ඩ් මූඩි විසින් ලොවට ඉදිරිපත් කළ මතය බුදු දහමේ සත්‍යතාව ලොවට පසක් කරවන්නක් බව පසුගිය කාලයේ මෙරට භික්ෂූන් වහන්සේලා කිහිප නමක විසින් අවධාරණය කරන ලදි.එහෙත් හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවක් මත පදනම් වන පුනර්භවයක් මිස සිරුරින් වෙන්වන සිතක් හෙවත් මනෝ කායක් නොමැති බව මජ්ජිම නිකායට අයත් මහා තණ්හාසංඛය සූත්‍රය මඟින් බුදු හිමියන් අවධාරණය කොට ඇති බව එම ග්රන්ථ පරිශීලනයෙන් මනාව වටහා ගත හැක.
හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ