ශ්‍රී ලංකාවෙන්ම අති ප්‍රබල මන්තර ගුරුකම් වලට ප්‍රසිද්ධ මාතරය.මාතර ප්‍රදේශයේ විවිධ තරාතිරම්වලට අයත් යකැදුරෝ වෙති. ඔවුන් අතරින් සමහරෙක් ඒ ප්‍රදේශයේ ප්‍රභූ පවුල්වලට අයත් වූහ. මගේ මාමණ්ඩිය වන බෙලිඅත්ත, කුඩාහීල්ලේ පදිංචිව සිට නැසී ගිය ඩේවිඩ් ජයවර්ධන මහතා තමන් දන්නා කියන එම ප්‍රභූ යකැදුරන් පිළිබඳ තොරතුරු කොතෙකුත් මා හා කියා තිබිණි. ඒ අතරින් පසුව දෙවිනුවර නගරාධිපති ධුරයට පවා පත් බේබි සිඤ්ඤෝ මහතා පැරණි මන්ත්‍ර ශාස්ත්‍ර මනාව ප්‍රගුණ කළ යකැදුරු පරපුරකට අයත් වූවෙකු බව මගේ මාමණ්ඩිය මා හා කීය.ඔහු මෙම මන්ත්‍ර ගුරුකම් කොතෙක් දුරට විශ්වාස කළේ ද යන්න මම නොදනිමි. එහෙත් ඔහු ඒවායින් අතිශය ආශ්වාදයක් ලැබූවකු බව නම් මට නිසැක ලෙසම කිව හැක.මේ අතර ඔය කියන මහා බලසම්පන්න මාතර යකැදුරෙකු මුණගැසී තොරතුරු කතා කිරීමේ බලවත් ආශාවක් මගේ සිත තුළද ඉපිද තිබිණි. එවිට මගේ මාමණ්ඩිය කියා සිටියේ එම යකැදුරු පරම්පරාවේ බොහෝදෙනෙකු අද වනවිට ජීවතුන් අතර නොමැති බවකි. එමෙන්ම ඒ වනවිට එම යකැදුරන්ගේ ඊළඟ පරපුර තම පාරම්පරික වෘත්තියේ නොයෙදීම මත මාතර යකැදුරු හිඟයක් පවතින බවද දැනගන්නට ලැබිණි. ඔය අතරේ දන්නා හඳුනන කිහිප දෙනෙකුට කියා තොරතුරු විපරම් කරනු ලදුව මාතර යකැදුරු පරපුරේ අන්තිම පුරුකක් පිළිබඳ හෝඩුවාවක් මට සොයාගත හැකි විය.ඒ එක් දහස් නවසිය අනූව දශකයේ මුල් භාගයේය.
මාතර නමින් හැඳින්වුවද ඔහු පදිංචිව සිටියේ ඉන් ඔබ්බට වන්නට පිහිටි උපනගරයක් ආසන්නයේය. ඔහුගේ පියා එම ප්‍රදේශයේ ප්රභූවරයෙකු වූ ඉඩම් හිමි වැවිලිකරුවෙකි. යකැදුරු වෘත්තියේ නොයෙදුණු මුත් ඔහු ද පාරම්පරික යකැදුරු පවුලක සාමාජිකයෙකි. මෙම යකැදුරාට සොයුරන් තිදෙනෙකු සහ සොයුරියෝ තිදෙනෙක් වෙති. ඒ සියල්ලන්ම දැන උගත්කමින්, සමාජ තත්ත්වයෙන්, මිල මුදල් අතින් මෙම යකැදුරුට වඩා ඉහළ තත්ත්වයක වැජඹුණහ. නමුත් මේ යකැදුරා ද ඔවුන් කිසිවෙකුටත් නොදෙවෙනි බලසම්පන්නයෙක් විය.ඒ ඔහුගේ වෘත්තියට සාමාන්‍ය ජනතාව තුළ තිබූ බිය නිසාය.ඔහුට එම යක්ෂ ආභාෂය ලැබී ඇත්තේ මව්කුසේ සිටියදීමය. ඔහුගේ මවට ඔහු ලැබෙන්නට සිටියදී බරපතළ යක්ෂ දෝෂ එල්ල වී තිබේ. ඒ අනුව ඇයට වැළඳුණු දොළදුක වී ඇත්තේ කුකුළෙකුගේ ගෙල සිඳ රුධිරය බීමය.
මගේ මාමන්ඩිය ද සමඟ අතිශය නොඉවසිලිවන්ත බවකින් යුතුව ඒ යකැදුරා හමුවීමට ඔහුගේ නිවසට යනවිට ඔහු එහි නොවීය. ඔහුගේ නිවස අතිශය අපිළිවෙලකින් යුතු වූ අතර බැලූ බැල්මට එය ‘යක්ෂ භවනක්’ම විය. ඔහුගේ බිරිඳ ද කිළිටි ඇඳුම් පැළඳුම්වලින් යුතු මැදිවිය ඉක්ම වූ කාන්තාවක වූවාය.
ටික වෙලාවකින් සුදු සරමකින් සහ කමිසයකින් සැරසුණු තද කාල වර්ණ මිනිසෙක් කොහේදෝ සිට අප ඉදිරියේ ප්‍රාදූර්භූත විය. ඔහුගේ දෙනෙත සහ දෙතොල තද රන් පැහැයෙන් යුතු වීම නිසා ඔහු කෙරෙන් දිස්වූයේ බියකුරු පෙනුමකි. මතක ඇති කාලයක පනාවක පහසක් නොලැබූ ඔහුගේ හැඩපළු ගෙතුණු කෙස් කළඹ කර තෙක් පහළට වැටී තිබිණ.
“ගම්පහ කිට්ටුව ගෙදරකට භූමි දෝෂයක්. බරපතල හූනියමක් වළලලා කියලා තමයි අංජනමින් කියවුණේ”.
මම එම යකැදුරා කතාවට අල්ලාගනු පිණිස අප පැමිණි කරුණ වශයෙන් ඔහු හමුවේ කෙබරයක් ඇද බෑවෙමි. ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ ඔහු අප ගෙනගොස් ඔහුගේ ආලින්දයේ කනප්පුව මත තැබූ කෙසෙල් ඇවරියෙන් ගෙඩියක් ගෙන එක්වරම කටේ ඔබාගෙන එහි ලෙල්ල මගේ හිසටද ඉහළින් මිදුලට විසිකොට දැමීය.
‘මූ නම් යකාගෙම මිනිහෙක් තමයි.’ඔහුගේ එම සම්මත සදාචාරයෙන් පරිබාහිර ක්‍රියාව දුටු මට සිතිණි.
“මට ඕවා කියන්න එපා. ඔය ඉස්සරහ දෙවෙනි වංගුව ළඟ වම් පැත්තේ තියෙන ගෙදර ඉන්නවා අපේ කොට්ටෝරු මහත්තයා. සේරම විස්තර එයත් එක්ක කතා කරන්න.” ඒ සමඟම ඔහු කීයේ අප පිළිබඳ කිසිදු තැකීමක් නැතිවය. ඒ අනුව එම නිවසින් පිටවීම පිණිස මාමණ්ඩියත් මමත් අසුන්වලින් නැගී සිටියෙමු.
“තුන් මාසෙකින් ඔය හතරමායිමේ මළ කිල්ලක්, වැදුම් කිල්ලක් වෙලා නෑනේ? ඒ වගේම හත් දවසකින් මාස කිල්ලක් වෙන්නත් බැහැ. එහෙම වුණොත් සේරම කම්මුතුයි.මේවා සෙල්ලං වැඩ එහෙම නෙවෙයි”අප දෙදෙනා ආපසු ඒමට ගෙමිදුලට බැසගත් පසුව යකැදුරා මහහඬින් කෑගසා කීයේ නියෝගාත්මක ස්වරයකිනි.
පසුව ඔහු කී අන්දමට එම තොවිලයේ කළමනාකරු හෙවත් කොට්ටෝරු උන්නැහේගේ නිවසට ගොස් තොවිලය සඳහා අප විසින් කළ යුතු දේ පිළිබඳව විස්තර විමසා සිටින අතරේ, මම හීන් සීරුවේම එම යකැදුරාගේ පවුල් පසුබිම පිළිබඳ විස්තර ද විමසා සිටියෙමි.එහෙත් ඒ යකැදුරුට වඩා බෙහෙවින් ආචාරශීලීබවක් පළ කළ ඒ කොට්ටෝරු උන්නැහේ ඒ වනවිට අධ්‍යාපන ක්ෂේත්රයේ ඉහළ නිලයක් දරණ, ඊට ආසන්න ප්‍රදේශයක පදිංචි එම යකැදුරාගේ බාල මලනුවන් පිළිබඳ තොරතුරු ද අප හමුවේ ගෙනහැර දැක්වීය. පසුව තොවිල් කතාව මුළුමනින් අතහැර දැමූ මම පසුදිනෙක එම අධ්‍යාපන ක්ෂේත්රයේ ඉහළ නිලයක් දරන්නාගේ හිතවතෙකුගේ මාර්ගයෙන් ඔහු හමුවීමට ගියෙමි.
“ඔය මනුස්සයා මගෙ ලොකු අයියා තමයි. ඒත් ඒ කාලේ ඉඳලම මහ එපා කරපු වැඩමයි කළේ. පස්සේ ඔය මනුස්සය ඉඩකඩම් ටිකත් විකුණගෙන ජීවත්වෙන්න විදිහක් නැතිකමටම තමයි ඔය යකැදුරු රස්සාවට බැස්සේ. එහෙම නැතුව අපේ සීයා කළාය කියන යකැදුරුකම් ගැන ලොකු අයියා මෙලෝ දෙයක් දැනගෙන නෙවෙයි. අනික ඉතින් ඔය යකැදුරුකම් කියන්නේ මානසික විජ්ජාවල්, ඇස්බැන්දුම්නේ.ඒවයින් පිහිටක් තියනවා කියලා කියන්නේ ඒවට වසඟ වුණු මිනිස්සු විතරනේ”අප සමඟ කතාබහකොට තරමක් සුහද වූ පසු ඔහු කීය.
“අනික ලොකු අයියගේ පෙනුම, කතාබහ, හැසිරීම්වල තියෙන දඩබ්බර බවේ හැටියටයි, එයාගේ ඔය යකැදුරු රස්සාවේ හැටියටයි හැමෝම හිතන් ඉන්නේ එයා එහෙම හැසිරෙන්නේ යක්කු එක්ක වැඩ කරන හින්දා කියලා. අනික ඒවායින් වැඩි කොටස එයාගේ මවාපෑම්.ලොකු අයියා අපි වගේ ඉගෙන කියා නොගත්තට මොකද වැඩක් හොඳට ප්ලෑන් කරලා කරන්න දන්නවා.ඒත් අයියා හැසිරෙන්නේ මේ ලෝකෙ දෙයක් ගැන වගේ වගක් නැතුව වගේ.ඒකත් එයාගේ එක උපක්‍රමයක්.ඒකට ඕනෙ කෙනෙක් රැවටෙනවා.අනික ලොකු අයියා ඔය යකැදුරුකම්වලට යනකොට එක්ක යන කට්ටියම තමයි එයා ගොඩදාන හූනියම් කලින් ගිහින් වළලන්නේ. ඒ වගේම එයාගෙ තොවිල් වලදී පාන්දරට ගස් අතු කඩාගෙන යක්කු යනවය කියන්නෙත් ඒ අයගේ උප්පරවැටියක්. අයියා පාන්දර ජාමේ ඒ තොවිලේ කරනකොට ඒ කට්ටියේම කීපදෙනෙක් හොරෙන්ම ගිහින් ඒ කිට්ටුව තියෙන කොස් ගහක අත්තකට බරවෙලා ඒ අත්ත කඩා දාලා හීන්සීරුවේ මාරුවෙනවා.” තම සොයුරා මුල්කොට වුව අසත්‍යය වැපිරවිය යුතු නැතැයි සිතූ නිසාදෝ ඔහු කීය. එමෙන්ම ඔහු කීයේ ලොකු අයියා ලැබෙන්නට සිටියදී තම මවට වැළඳුණු යක්ෂ දෝෂ කතාවද අමූලික බොරුවක් බවකි.”අපේ අම්මට එහෙම දෙයක් වුණා නම් අපි ඒක පුංචි කාලෙම දැන ගන්න එපායැ.ඒත් අපි ඒක දැන ගත්තෙත් ලොකු අයියා ඔය වැඩ කරන්න පටන් ගත්තට පස්සේ පිට මිනිස්සුන් ගෙන්.අනික අපේ ලොකු අයියා අසීමාන්තික විදිහට බොනවා. ඒත් එයා යක්කුත් එක්ක වැඩ කරන හින්දා ඒකට මිනිස්සුන්ගෙන් විශේෂ සමාවක් තියෙනවා. ඒත් ලස්සනම වැඩේ ඒක නෙවෙයි. අයියට ඒ ගමේ පිට ගෙවල්වල ළමයි දහ පහළොස් දෙනෙක් ඉන්නවා. ඒත් ඉස්සර ගම්මු ඒකටත් මුකුත් නොකිව්වේ ඒවත් යක්කුන්ගේ වැඩ හැටියට විශ්වාස කරපු නිසා.ඒ විදිහට බලනකොට නම් අපේ ලොකු අයියා යකාගෙ මිනිහෙක්ම තමයි”එම විද්වතා සිනාසෙමින් කීය.තිලක් සේනාසිංහ