මහින්ද අමරවීර දෙන්නට යන බයිසිකලයට නඟින්නට පෙර;

දැනට ගෝලීය වශයෙන් බල පා ඇති ඛනිජ තෙල් අර්බුදයට විසඳුමක් ලෙස හා වායු දූෂණය,ශබ්ද දූෂණය අවම කරගැනීම සහ බෝ නොවන රෝග පාලනය ඇතුළු තවත් කරුණු ගණනාවක් මුල් කොටශ්‍රී ලංකාව තුළ පා පැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව මේ වන විටත් පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කොට තිබේ.

පා පැදිවලට ගමන් කිරීම සඳහා සෑම මාර්ගයකම මංතීරුවක් වෙන් කිරීම, පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල පාපැදිවලින් පැමිණෙන සේවකයින් සඳහා යම් ප්‍රවර්ධන ප්‍රතිලාභයන් ලබාදීමේ නියාමන වැඩසටහනක් හඳුන්වා දීමට ද තීරණය කර ඇත.

ඇමති වරයා මෙහි දී පෙන්වා දී ඇත්තේ වාහන තදබදය ඇති අවස්ථාවල ධාවනය වන එක් වාහනයකින් රජයට එක් කිලෝමීටරයක් සඳහා රුපියල් 103.56ක් වැය කිරීමට සිදුවන බව සිදුකරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී බවකි.අමාත්‍ය වරයාගේ මෙම යෝජනාව සම්බන්ධයෙන් පළමුව අපගේ ප්‍රසාදය ඔහු වෙත පිරිනමමු.

මක් නිසා ද යත් මිනිසා සහ සොබා දහම යන පදනම මත පිහිටා කටයුතු කිරීම සම්බන්ධයෙන් වත්මන් රජයේ මැති ඇමති වරුන් අතරේ හිඳිනා අතලොස්සකටත් අඩු පිරිසට අමරවීර ඇමති වරයා ද අයත් වන බව ඔහු මීට පෙර කිහිප අවස්ථාවක දීම තහවුරු කොට ඇති බැවිනි. වත්මන් රජයේ ක්‍රියාකාරිත්වයන් සමාලෝචනය කරන විට”හොඳ දේවල් කරකට කිරීමට” රජයට ඇති හැකියාව මුල් තැනක් ගනී.

ඒ සඳහා ගත හැකි ආසන්නතම නිදසුන ශ්‍රී ලංකාවේ සමස්ත කෘෂිකර්මයම එක් වරම කාබනික බවට පරිවර්තනය කිරීමට රජය දැරූ අමනෝඥ උත්සාහයයි.මේ සම්බන්ධයෙන් ඉතා පහසු ලෙසම අර්ථ දැක්විය හැකි අන්දමට මෙය “අනුවර්තනය” කළ යුතු යමක් “පරිවර්තනය” කරන්නට යාම නිසා ඇති කරගත් අලකලංචියකි.

එමඟින් සිදු වූයේ ශ්‍රී ලාංකේය ජන සමාජයේ කේන්ද්‍රගතම වෘත්තිය ලෙස සැලකෙන කෘෂිකර්මය සහ ඒ හා සබැඳි ජන ජීවිතය මුළුමනින්ම පාහේ බිඳ වැටීම ය.එමඟින් අද වී,එළවළු,බඩ ඉරිඟු ඇතුළු ගොවිතැන්බත් වලින් තම දරු පවුල් රැක ගත් ගොවීහු අති මහත් දුෂ්කරතාවකට මුහුණ දී සිටිති.එමෙන්ම රටේ සාමාන්‍ය ජනතාවට ද තමන්ට කැමති අයුරින් මාළු පිණි සමඟ බතක් උයා පිහා ගැනීමට “කණ කර උගස් තියන්නට” සිදු ව තිබේ.

වත්මනේ රාජ්‍ය බලය අයුතු ලෙස යොදා ගනිමින් තම සාමාජිකත්වය වර්ධනය කොට අති විශාල සාමාජික මුදල් ප්‍රමාණයක් තමන් සතු කර ගන්නා අතරේ වෘත්තීය සමිති සීමා කුඩු පට්ටම් කොට තම පතුරුවමින් රටේ සාමාන්‍ය ජනතාවට තම වෘත්තීය”රැස්පොට්”පෙන්වන්නට යන වෛද්‍ය වෘත්තීය සමිතියක ප්‍රධානියා ආණ්ඩුවට මේ කාබනික පොහොර “දිරච්ච ලනුව” දී ඇති බවක් පැවසෙයි.

ඒ සම්බන්ධයෙන් කෘෂි ආර්ථික විද්‍යා විශේෂඥයකු පසු ගිය දා කියා සිටියේ දොස්තරලාටම තේරෙන බසින් කිවහොත් මෙය සිරුරේ ආලේප කළ යුතු බෙහෙතක් බොන්නට දීමටත් වඩා අමන මරි මෝඩ වැඩක් බවය. හැත්තෑවේ දශකයේ අවසානය තෙක් මෙරට “පොඩි මිනිසාගේ වාහනය” වශයෙන් සැළකුණු පාපැදිය අද වන විට අප රටින් තුරුදන් වන මට්ටමකට පත් ව තිබේ.

ඒ පා පැදියේ අවශ්‍යතා සඳහා ඊට වඩා පහසු වේගවත් යතුරු පැදි භාවිතයට ඒමත් සමඟිනි.හැත්තෑව දශකයේ ජපානයේ තැපැල් සේවා සඳහා යොදා ගත් බව කියන “තැපැල් නයින්ටි” නමින් මෙරට දී හඳුන්වනු ලැබූ අඩු අශ්ව බල ධාරිතාවයකින් යුතු රතු සහ සුදු පැහැති යතුරු පැදි විශේෂය මීට වසර හතලික පමණ සිට අහිංසක පාපැදි අප රටින් තුරන් කර දැමීමට තරම් බල සම්පන්න විය.

ඒ පා පැදියකින් සේම අත් කරත්තයකින් සිදු කළ හැකි වැඩ කොටසට තනිවම කර ගහන්නට “තැපැල් නයින්ටි “යට හැකි වූ බැවිනි.එම සීමාවේ සිය පදින්නාට අමතරව තවත් අයකුට පහසුවෙන් ගමන් කළ හැකි නානා ප්‍රකාර මෝටර් සයිකල් අප රටට පැමිණීම මත පා පැදිය කිසිවකුත් තුට්ටුවකට වත් ගණන් නොගන්නා වාහනයක් බවට පත් විය.

ඒ අනුව අද වන විට මෝටර් වාහන වලින් පිරී පවතින අප රටේ ප්‍රධාන මාර්ග වල නිරුපද්‍රිතව සයිකලයක් පැද යා හැක්කේ පළපුරුදු සර්කස් කරුවකුට පමණි.අප රටේ තත්වය එසේ තිබිය දී මීට දශක කිහිපයකට ඉහත සී.ටී ප්‍රනාන්දු ගායන ශිල්පියාගේ මුවින් ගැයුණු “:දුප්පත් අපගේ බයිසිකලේ”නම් ගී පදය අද වන විට නව ගෝලීය ප්‍රවණතාවයන් හමුවේ උඩු යටිකුරු වී තිබේ.

ඒ අදවන විට ලොව දියුණුම සමාජ ආර්ථික දේශපාලන ක්‍රමය ලෙස සැළකෙන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් බොහොමයක මෝටර් වාහන අභිබවා පා පැදි පෙරමුණ ගෙන තිබීම නිසාය.එහිදී ප්‍රධාන වශයෙන් වායු දූෂණය හා ශබ්ද නිසා ඇති වන බරපතල පාරිසරික ගැටළු අවම කිරීම අරමුණු කෙරෙන අතර පා පැදි භාවිතාව මඟින් ජනතාවගේ ශාරීරික යෝග්‍යතාව වර්ධනය කිරීම ද එහි සෙසු අරමුණු අතර වෙයි.

ලොව දියුණුතම බව පැවසෙන ඇතැම් රටවල අද වන විට පාපැදි භාවිතය කෙතරම් ව්‍යාප්ත වී තිබේ ද යත් කලින් මෝටර් වාහන සඳහා යොදා ගත් මාර්ග මේ වන විට පා පැදි සඳහා පමණක් වෙන් කොට තිබේ.ඉතා සුළු මුදලක් ගෙවා ඒ මාවතක් ආරම්භයේ දී පා පැදියක් කුලියට ගෙන ගමනාන්තයේ දී ක්ෂණිකවම එය ආපසු බාර දී යාමේ ක්‍රම ද ඒ බොහෝ රටවල ක්‍රියාත්මක කෙරේ.

පා පැදි කරුවන්ට ඉතා පහසුවෙන් ළඟා විය හැකි මෙම ගමනාන්තයන් වෙත මෝටර් රථයකින් ගමන් කිරීමට නම් ඒ සඳහා විකල්ප මාර්ග භවිතා කළ යුතු වෙයි.එමෙන්ම ඒ සඳහා අතිරේක මුදලක් සහ කාලයක් වැය කිරීමට ද සිදු වෙයි.මේ නිසා ඒ අහිතකර තත්වයන්ගෙන් අත් මිදීම පිණිස විවිධ ක්ෂේත්‍ර වලට අයත් විද්වත් වෘත්තිකයන්, ආයතන ප්‍රධානීන්,සරසවි ආචාර්ය,මහාචාර්ය වරුන් සේම අධිකරණ විනිසුරු වරු පවා තම ගමන් බිමන් සඳහා මෝටර් වාහන වෙනුවට යතුරු පැදි යොදා ගනිති.

දේශගුණික වශයෙන් වියළි සහ අන්තර් කලාප වශයෙන් හා සම භූමි සහිත අගනුවරින් දුර බැහැර ප්‍රදේශ වල මහජන සේවා සපයන රාජ්‍ය,අර්ධ රාජ්‍ය සේම පෞද්ගලික ආයතන ඉදිරිපිට සතියේ වැඩ කරන දින වල දිවා කාලයේ දක්නට ලැබුණු පා පැදි අද වන විට මුළුමනින්ම පාහේ අතුරුදන් ව තිබේ.

ඒ වෙනුවට අද ඒවා විවිධ මාදිලියේ යතුරු පැදි වලින් පිරී තිබෙනු දැකිය හැක.නමුදු බැලූ බැල්මටම සමාජ ආර්ථික ප්‍රවර්ධනයක් සේ පෙනෙන මෙහි පොදු සමාජය නොදන්නා ඛේදනීය පක්ෂයක් ද තිබේ.

ග්‍රාමීය සමාජ කරා වේගයෙන් සම්ප්‍රේෂණය වී ඇති ක්ෂුද්‍ර මූල්‍ය නම් වන අධික පොලියකින් යුතු ණය ක්‍රමය නිසා අප රටේ ග්‍රාමීය සමාජ ආර්ථිකයට සිදු ව ඇති බලපෑම නිරීක්ෂණය කරනු පිණිස මම 2019 වසරේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් නිකවැරටිය,කොටවෙහෙර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මුල් කොට විමර්ශනයක් සිදු කළෙමි.එහි දී එම ණය ක්‍රමයට නතු වී තිබූ පිරිසෙන් සියයට අසූවක් පමණම කාන්තාවන් වූ අතර ඔවුන් එම ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගෙන තිබුණේ “ස්කූටි” නමින් හඳුන්වන හඳුන්වන කුඩා යතුරු පැදි මිලට ගැනීම පිණිස වන මූලික ගෙවීම සිදු කිරීම පිණිස ය.

එහෙත්,එම මිල දී ගැනීමත් සමඟ එම ක්ෂුද්‍ර මූල්‍ය ණය වාරික සේම එම “ස්කූටි” මිල දී ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු ඉතිරි වාරික ගෙවා ගැනීම ඔවුන්ගේ නොවිධිමත් ආදායම් රටාව හමුවේ මහත් අභියෝගයක් වී ඇති බව මෙම විමසුමේ දී මා හට නිරීක්ෂණය විය.

ඒ ඔස්සේ එම කතුන් මුහුණ දුන් දැඩි මානසික බිඳ වැටීම් ඔස්සේ ඔවුන්ගෙන් කිහිප දෙනකුට තම පෞරුෂ,පවුල් ,ප්‍රජා සහ සමාජ සබඳතා බිඳ දමා ගැනීමටත් නීති සහ සදාචාර විරෝධී ක්‍රියාවන්ට පෙළඹීමටත් සිදු වූ බව මෙහි දී නිරීක්ෂණය විය.

ඒ ඔවුන්ගෙන් කිහිප දෙනෙකුට එම යතුරු පැදිය මුල් කොට ගෙවන්නට වූ එමෙන් හත්-අට ගුණයක් තරම් වන මුදල සෙවීම පිණිස යතුරු පැදිය නිවසේ දමා නගරයට සේන්දු වීමට සිදු වූ පසුබිමක් ද එහි පැවැති බැවිනි.

අමරවීර ඇමති වරයාගේ මෙම පා පැදි ප්‍රවර්ධන ක්‍රියාවලිය ක්‍රියාවට නැංවිය යුත්තේ කාටත් වැටහෙන ලෙසින් කිවහොත් “පස් මහ බැලුම්” වලින් පසුව ය.

ප්‍රධාන වශයෙන් එය නාගරික කලාප ඉලක්ක කර ගත යුතු වුව ද දැනට බොහෝ නාගරික ප්‍රදේශ වල මංමාවත් වලට නොසරිලන ප්‍රමාණයෙන් වාහන ධාවනය කිරීම,දැනට ක්‍රියාත්මක වන රථ වාහන නීති උල්ලංඝනය කරමින් පෞද්ගලික බස් රථ රියැදුරන් විසින් ගොඩ නඟා ගෙන ඇති ඔවුන්ටම ආවේණික තරඟයට රිය පැදවීමේ සංස්කෘතිය ද වටහා ගත යුතු ය.

එමෙන්ම මීට දශක කිහිපයකට ඉහත කොළඹ නගරයේ වීදි දිගේ එක දිගටම සීනු හඬ හෝ මුවින් කුරුළු ශබ්ද නංවමින් වෙට්ටු දමමින් පා පැදි පැද ගිය පා පැදි කරුවන් මේ වන විට මහා මාර්ග වලින් අතුරුදන් වීමට බලපාන බහු විධ හේතු සාධක ද විමසා බැලිය යුතු ය.

අප දන්නා පරිදි කලබලකාරී නාගරික පරිසරයන් තුළට පිවිසෙන අනේක විධ වාහන අතරේ ඉතා සීමිත පා පැදි ප්‍රමාණයක් තිබේ.මේ සියළු කටයුතු වලට පූර්වගාමීව මේ වන විට ඒ පාපැදි කරුවන් නාගරික මංමාවත් වල දී මුහුණ දෙන ගැටළු අර්බුද වටහා ගත යුතු ය.ඊට අමතර ව අප රටේ නාගරික රිය අනතුරු පිළිබඳ මූලාශ්‍ර සම්පිණ්ඩනය කිරීමෙන් එම අනතුරු වලින් පා පැදි කරුවන් මුදා ගැනීමේ උපාය මාර්ග පිළිබඳව නිවැරදි අධ්‍යයනයක් කළ යුතු ය.

ඒ අතරේ දැනට ලොව පුරා ශීඝ්‍රයෙන් වර්ධනය වන පා පැදි සංස්කෘතිය පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් මාධ්‍ය ඔස්සේ ජනතාව තුළ ජනිත කළ යුතු ය. දේශීය විදේශීය කලා කරුවන්,ක්‍රීඩකයන් වැනි සමාජ ප්‍රියතාවට ලක් වූ ප්‍රකට පුද්ගලයන් පා පැදි කෙරෙහි නැඹුරු වීම් පිළිබඳ පුවත් වාර්තා ජනතාව අතරට පත් කරවීම ද ඒ සඳහා ගත හැකි වැදගත් පියවරකි. නමුදු මේ සියළු තත්වයන් තුළ වෙනත් වාහන වල ගමන් ගන්නවුන් පා පැදි කෙරෙහි නැඹුරු වනුයේ ඒ සඳහා වන නිදහස් පරිසරයක් අවකාශයක් ලද හොත් පමණි.

එබැවින් ඒ සම්බන්ධයෙන් නියාමන ව්‍යාපෘතියක් සඳහා සුදුසු මාර්ග කිහිපයක් පළමුව තෝරා ගැනීම ද වැදගත් පියවරකි.මේ සියළු තත්වයන් හමුවේ මෙම නව සංකල්පය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතුළතින් සහ පිටතින් මතුවන අවලාද චෝදනා ගැන පූර්ව දැනීමක් ඇමති වරයා සතුව තිබීම වැදගත් ය.

යම් හෙයකින් මෙම නව සංකල්පය ක්‍රියාත්මක වන අතරේ පා පැදි කරුවකුගේ ජීවිතයට හානියක් සිදු වුව හොත් ඒ සම්බන්ධයෙන් ජනතාව,මාධ්‍ය සහ ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ දේශපාලනඥයන් මොනවා නොකියන්නේ දැයි යන්න ද ඇමති වරයා කල් තියා දැනුවත් ව සිටිය යුතු ය.කෙසේ හෝ ඉන්ධන පිරිමසා ගැනීමට අමතර ව නාගරික කලාප තුළ වායු,ශබ්ද යන පාරිසරික දූෂණ අවම කෙරෙන මෙම පා පැදි ප්‍රවර්ධන වැඩ සටහනට මූලික වශයෙන් අපි මහින්ද අමරවීර ඇමති වරයා සමඟ එකඟ වෙමු.

නමුත් ඒ ඒ රසායනික පොහොර නිසා පැතිර යන වකුගඩු රෝගය මෙරටින් අතුරුදන් කරවීමට කියා කාබනික පොහොර ප්‍රවර්ධනයේ නාමයෙන් රටේ ජතාව කබලෙන් ලිපට ඇද දැමූ රජය අප රටේ ජතතාවට රටින් ගෙනා රසායනික පොහොර යෙදූ සහල් බෙදන්නට යාම වැනි තුට්ටු දෙකේ බසින්ම කීවොත් “ගොන් පාට්”: නොදාන තෙක් පමණි.

තිලක් සේනාසිංහ

 

හරිත දනව්ව