මහින්ද පන්සල් කෝවිල් වල දී දකින පොහොට්ටුවේ තරුණ නායකත්ව සිහිනය කුමක්ද ?

උන්හිටි ගමන් ආගම මතක් වී පන්සල්,පල්ලි කෝවිල් යාමට පටන් ගන්නා අප රටේ දේශපාලනඥයන් ගෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හිමි වනුයේ මුල් තැනකි.ඔහුගේ එම චර්යා රටාව සියුම් ලෙස නිරීක්ෂණය කරන අපට පැහැදිලිව පෙනී යන දෙයක් තිබේ.එනම් තමන් විසින් සමාජයට පැවසිය යුතු විශේෂ යමක් ඇති විට පුවත් පත් නිවේදන මාධ්‍ය හමු පවත්වනු වෙනුවට මාධ්‍ය වලට කලින් දන්වා පන්සල් යාම ඔහුගේ පුරුද්දක් බව ය.එහෙත්, ඔහු කෝවිල් යනුයේ බොහෝ විට මානසික බිඳ වැටීමක දී බව ද පෙනී යයි.එමෙන්ම ඒ කෝවිල් ගමන් සමහරක් ප්‍රසිද්ධියේ සිදු කරන අතර තවත් කොටසක් අප්‍රකට ව සිදු කර ගැනීම ද ඔහුගේ සිරිතකි. 2019 ජනපතිවරණයකට මුල තිබිය දී අන් කිසිදාක නොකළ ලෙස විහාරය වැඳ පුදා ගැනීමට ආ සැදැහවතුන්ට රට ජාතිය වෙනුවෙන් පූජා කරන්නැයි කියමින් නෙළුම් පොහොට්ටු බෙදූ භික්ෂූන් හිඳින හා ඒ දිනවලම ජනකාන්ත “කැලණි නයා” හඳුන්වා දීමෙන් සමස්ත ජාතියටම අති මහත් විනෝදාස්වාදයක් ලබා දුන් කැලණි රජමහා විහාරයට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වරයා ඉකුත් 29 වන දා ගොස් තිබිණ.ඒ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වීමට තමන් සූදානම් බවත් නායකත්වයට සුදුසු අය ඕනෑ තරම් පක්ෂයට සිටින බවත් ය.එහි දී ඔහු මාධ්‍යවේදීන් සමඟ කළ කතා බහ මෙලෙසිනි.

“ඔබතුමා ගැන මේ සමාජ මාධ්‍ය ජාලවල කියනවා අසනීපයි කියලා ?”එක් මාධ්‍යවේදියෙක් ඇසීය.

“පේනවා නේද අසනීපයිද, නැද්ද කියලා මට ? ඕවා ඔහොම තමයි. ඒවා ඉතින් ගණං ගන්න නරකයි”ඊට මහින්ද රාජපක්ෂ දුන් පිළිතුර එය විය.

දැන් ඔබතුමාලාගේ පක්ෂයේ ඉදිරි වැඩකටයුතු මොන ආකාරයෙන්ද කරන්න යන්නේ ? පොහොට්ටුවේ නායකත්වය ගන්න ඉන්නේ ඔබතුමාමද ?එකෙනෙහිම තවත් මාධ්‍යවේදියෙක් ඇසීය.

“නෑ, නෑ … පොහොට්ටුවේ නායකත්වයට ඕනේ තරම් ඉන්නවා කට්ටිය. මම විතරක් නෙවෙයි. නායකත්වයට අලුතින් හදන්න ඕනේ කට්ටිය. හැමදාම අපි ඉඳලා බැහැනේ”මහින්ද පිළිතුරු දුන්නේ ය.

“ඒ කියන්නෙ මෙවර පොහොට්ටුවේ නායකත්වයට තරුණ කෙනෙක්ද පත් කරන්න හිතන් ඉන්නෙ ?”එකෙනෙහිම මාධ්‍යයෙන් තවත් පැනයක් නැඟුණි.

“පුළුවන් තරම් තරුණ එක්කෙනෙක් තමයි”මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඊට දුන් පිළිතුර එයයි.

මහින්ද ගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ නායකත්ව කතාව එදිනට පමණක් සීමා වූයේ නැත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ඉදිරියේදී වෙනසකට ලක්වන බවත් හැමදාමත් තමන්ට බලයේ සිටිය නොහැකි බවත් අලුත්,තරුණ අය ඉදිරියට පැමිණිය යුතු බවත් මහින්ද රාජපක්ෂ ඊයේ අලුත්ගම කන්දේ විහාරය වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කීය.එම විහාරය පසුගිය දා දැඩි කතා බහකට ලක් වූයේ තායිලන්තයෙන් අපට ලැබුණු “මුතු රාජා” හස්තියා නැවත තායිලන්තයට රැගෙන යන තුරුම කෲර වද හිංසා පැමිණවීම් සම්බන්ධයෙනි.ඒ අතරේ පසුගියදා මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලට ගිය හිටපු ජනාධිපතිවරයා එහිදී ද තම තරුණ නායකත්ව අපේක්ෂාව පිළිබඳ අපේක්ෂාව මාධ්‍යවේදීන් හමුවේ හෙළිකොට සිටියේ ය.එහිදී ඔහුගේ එම සිද්ධස්ථාන වන්දනාවේ අරමුණ කුමක් දැයි අසා සිටි මාධ්‍යවේදියකුට මහින්ද රාජපක්ෂ කියා සිටියේ තමන් “පින් සිදු කර ගැනීමට” එහි පැමිණි බවකි.එහෙත් බෞද්ධයකුට හින්දු කෝවිලකට ගොස් පින් සිදු කර ගත හැකි ආකාරයක් අප නම් දන්නේ නැත.හින්දූන් කෙසේ වෙතත් බෞද්ධයන් හින්දු කෝවිල් වෙත යනුයේ තම ලෞකික ලාභාපේක්ෂාවන් අරමුණු කොට බව අමුතුවෙන් කිව යුතු නැත.

දැන් අප හමුවේ මතු වන ඊළඟ පැනය වනුයේ ඔහු මෙලෙස පවසන තරුණ නායකත්ව කතාවේ යටි අරුත කුමක්ද යන්න ය.

වත්මන් පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නවක මන්ත්‍රීවරු පෙරට වැඩි පිරිසක් සිටිති.පොදුවේ ගත් කළ වත්මන් පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරුන්ගේ නියෝජනය ප්‍රතිශතයක් ලෙස 13%කි.ඔවුන් අතරේ වෘත්තීයවේදීහු ද දක්නට ලැබෙත්. මෙවර මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ළාබාලම මන්ත්‍රීවරයා වන්නේ වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් කුමරවෙල් තොන්ඩමන් ය. විසි නව හැවිරිදි ඔහු වත්මන් අමාත්‍ය මණ්ඩලයේ සිටින ළාබාලම අමාත්‍යවරයා ද වේ.
ඒ අතරේ අවුරුදු 25-30 අතර වයසේ දී පාර්ලිමේන්තුවට තේරීපත් වු පස් දෙනෙක් සිටිති. ඔවුන් සියලුම දෙනා උපාධිධරයන් වීම විශේෂත්වයකි. ඉන් දෙදෙනෙක් මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරති. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සදාසිවම් වියලේන්ද්‍රන් සහ ඉලංගෙයි තමිල් අරුසු කච්චි හි සානක්‍ය රාහුල් ය. මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන නිපුණ රණවක, මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන වෛද්‍ය ගයාෂාන් නවනන්ද ද අවුරුදු 25-30 වයස් කාණ්ඩයට අයත් වෙති.නමුත් මහින්ද රාජපක්ෂ පවසන මේ තරුණ නායකත්වය එම තරුණ මන්ත්‍රීවරුන් ඉලක්ක කර ගත් එකක් බව තහවුරු කරවීමට නම් අප”කොණ්ඩේ බැඳි චීනෙකුම “සොයාගත යුතු වේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නායකත්වයට හුරු කිරීම අරඹන ලද්දේ 2011 වසරේ ය.ඒ 2011 අංක 7 දරණ පාර්ලිමේන්තු පනතින් ස්ථාපිත “තාරුණ්‍යයට හෙටක්’ සංවිධානයෙනි. නමුත් තාරුණ්‍යයට හෙටක් සංවිධානය මුල සිටම ක්‍රියාත්මක වූයේ තරුණ තරුණියන් සමාජ හෝ දේශපාලන නායකත්වයට හුරු කිරීමට නොවේ.එම පනතේ දැක්වෙන අන්දමට “තාරුණ්‍යයට හෙටක්” සංවිධානයේ පරමාර්ථ අතර එවැන්නක් ගෑවී හෝ නැත.එහි පරමාර්ථ වල දැක්වෙනුයේ තරුණ තරුණියනට ස්වයං රැකියාවක් සඳහා කුශලතා හැකියාවන් වර්ධනය කරවීම තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ එක් පරමාර්ථයක් බවකි.එහෙත්, දේශපාලනය යනු ස්වයං රැකියාවක් හෝ රාජපක්ෂ පවුල සිතන ආකාරයට එක් පවුලට සීමා වූ දේශපාලන නින්දගමක් හෝ බූදලයක් ද නොවේ.අප එසේ පවසනුයේ ඉන්දියානු ආර්ය ඇඳුමේ එන “ෂෝලය” ඇසුරින් ශ්‍රී ලංකාවේ ජාතික ඇඳුමට එක් කරගත් සාටකය තම පරම්පරා සාටකය වශයෙන් නිශ්චිත වර්ණයකින් යුතුව රාජපක්ෂ පවුල ප්‍රති නිෂ්පාදනය කරගැනීමත් ඒ සම්බන්ධයෙන් හයක් හතරක් හොදත් නාමල් රාජපක්ෂ එය ටී ෂර්ට් උඩින් පවා දමා ගෙන තම ගෝත්‍රික දේශපාලන නිරුවත නූතන බුද්ධිමත් සමාජය හමුවේ නිරාවරණය කිරීමත් නිසා ය.

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව දේශපාලනික වශයෙන් සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් තාරුණ්‍යයට හෙටක් ඇරඹූ 2011 වසරේදීම ස්ථාපිත කළ ශ්‍රී ලංකා ජාතික තරුණ පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා රජයේ යෞවන කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. මෙම යොවුන් පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සභාව විසින් සපයනු ලබයි.ජාතික යොවුන් පාර්ලිමේන්තුවේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධන ව්‍යාපෘති රැසක් සිදු කර ඇති අතර ශ්‍රී ලංකාවේ හිටපු යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් මේ වන විට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වගකිවයුතු තනතුරු වලට පත්වී සිටිති.නමුත් නාමල් රාජපක්ෂගේ නම ඒ ලැයිස්තුවේ ද නැත.ඒ ඒම තරඟවලදී තම පුතු පිළිබඳ සැබෑ වැටහීමක් සෙසු තරුණ පෙළ වෙත සාන්ද්‍රණය වෙතැයි යන සැකයක් මහින්ද රාජපක්ෂ නම් පියා තුළ තිබූ නිසා ද විය හැක.ඒ කරුණ මතම ඔහුගේ පාලන සමය තුළ ඔහු නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කුණු මුල්ලට දමා තිබූ තරුණ දේශපාලන නායකත්ව පදනම වූ ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණ යළි ඔසවා තැබීමට හිටපු ජනපති මෛතීපාල සිරිසේන ද 2017 වසරේ මහත් උත්සාහයක් දැරීය.එහෙත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමඟ අද එය වල පල්ලට ගොසිනි. මේ යටතේ ජාතියේ අප්පච්චි නමින් ඇතැමුන් ගෙන් විරුදාවලී ලත් මහින්ද රාජපක්ෂගේ මෙම කල්ක්‍රියාව තුළින් මනාව ගම්‍ය වන එක් දෙයක් තිබේ.ඒ ඔහු ජාතියේ කෙසේ වෙතත් නාමල් රාජපක්ෂගේ නම් අප්පච්චි බව ය.එමෙන්ම මෙම සටහනේ සමාප්ති වාක්‍යය ලෙස අපි කලක් රාජපක්ෂ පවුලේ සමීපතමයකු හා අන්තේවාසිකයකුව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගෙන හැර දක්වමු.එනම් “මහින්ද ගම් කුකුළෙක් නාමල් බ්‍රොයිලර් කුකුළෙක්” යන්න ය.

දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර