මහින්දානන්ද අලුත්ගමගේ රාවණා සහ රාමම්මා

අයහපතට එරෙහිව යහපත ජයග්‍රහණය කිරීම සංකේතනය කිරීම පිණිස පුද්ගල අනුරූ පුළුස්සා දැමීම දුරාතීතයේ සිට පැවතෙන මානවීය ලක්ෂණයකි.යම් පුද්ගලයකු,පුරාණෝක්තියක එන චරිතයක් හෝ යමකු ගේ චරිත ලක්ෂණයක් කෙරෙහි පවත්නා වෛරය ද්වේෂය,පිළිකුල සහ කලකිරීම ප්‍රකාශ කරන මාධ්‍යයක් ලෙස ද මෙම යොදා ගනු ලැබේ.

මෙරට දේශපාලන ඉතිහාසය පසෙක තිබියදී මානව ඉතිහාසය ගෙන බැලුව ද කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ තරම් තම රූපකාය ගිනි තබා විනාශ කිරීම් වලට ලක් කරගත් වෙනත් පුද්ගලයකු අප රටේ නොමැති බව මගේ වැටහීම ය.ඉන්දියානු හින්දු සමාජයේ දුසරා නම් ආගමික සංස්කෘතික උත්සවයක් තිබේ.

එම දුසාරා දිනයේදී,ඔවුන් අසුරයන් සේ සළකන රාවණා, මේඝනාද සහ කුම්භකර්ණ යන අයගේ ප්‍රතිමා සාමාන්‍යයෙන් පුළුස්සා දමනු ලබන්නේ නපුරට එරෙහිව යහපත ජයග්‍රහණය කිරීම සනිටුහන් කිරීම සඳහා සිදු කරන සංකේතාත්මක චාරිත්‍රයක් ලෙසිනි.ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ,සහ රාවණා එක තැනකින් තැබීමට අපට පුළුවන.නමුත් මහින්දානන්ද රාවණා පිළිබඳව දන්නා බොහෝ දෙනකු නොදත් සිය වසකටත් වඩා කාලයක් තිස්සේ එලෙස යළි යළිත් ගින්නට බිළිවන ඉන්දියානු කාන්තාවක පිළිබඳ පුවතකි මේ.

දකුණු ඉන්දියාවේ ප්‍රධානතම නගරයක් වන හයිද්‍රාබාද් ආසන්නයේ කෘෂිකාර්මික ගම්මානයක දහ නව වැනි සියවසේ රාමම්මා නම් ධනවත් කාන්තාවක් විසුවා ය. ඉඩම් අක්කර සිය ගණනක හිමිකාරියක වූ ඇය යටතේ සේවක කාරකාදීහු ද සිය ගණනක් සේවය කළහ. මේ අතර ඇගේ සැමියාගේ මරණයෙන් පසු තනිව තම දේපළ වතුපිටි මගින් ආදායම් හිමි කර ගනිමින් සිටි ඇය වෙත ඒ පිරිසේ එක් සේවක තරුණයෙක් සමීප විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඔවුන් දෙදෙනා අතරේ සබඳතාවක් ගොඩ නැගීම ය. මේ අතරේ මෙම අසම්මත සබඳතාව කෙරෙහි ඇය යටතේ සේවය කරන පිරිස සේම අවට වැසියෝ ද විරුද්ධ වූහ.

ඒ අතරේ තම මියගිය සොයුරා සතු දේපළ පිටස්තරයකු විසින් කොල්ල කෑම සම්බන්ධයෙන් රාමම්මාගේ සැමියාගේ ඥාතීහු බලවත් සේ විරුද්ධ වූහ. ඔවුන්ගේ විශ්වාසය වූ‍යේ රාමම්මාගේ මෙම දුසිරිත් ක්‍රියා කලාපය තම මියගිය සොයුරාට ද බලවත් නිග්‍රහයක් බව ය.මේ අතර එක්තරා රාත්‍රියක රාමම්මාගේ දේපළ සහිත පරිශ්‍රයට කඩා වැදුණු නාඳුනන පිරිසක් විසින් රාමම්මා සහ ඇගේ අනියම් සැමියා නිවස තුළම මරා දමා ඔවුන්ගේ නිවස සහ අක්කර සිය ගණනකින් එක්රැස් කර ගත් කෘෂි අස්වැන්න ද ගිනි තබා විනාශ කොට තිබුණි.

පසුව එම පරිශ්‍රය මුළුමනින්ම පාළුවට ගිය අතර ඒ බිහිසුණු සාහසික ක්‍රියාව සම්බන්ධයෙන් වගකිවයුත්තකු සොයා ගැනීමට ද නොහැකි විය.ඊට මඳ කලකට පසු ප්‍රදේශය පුරා ගව රෝගයක් පැතිර ගිය අතර එම ප්‍රදේශයේ ගව සම්පත ශීඝ්‍රයෙන් වඳ වී යාම එහි කෘෂිකාර්මික පැවැත්මට ද දැඩි ලෙස බලපෑවේය. ඒ සමගම ප්‍රදේශය පුරා පැතිර ගිය නියඟයක් හමුවේ වැසියෝ ආහාර සේම බීමට ජලය පවා නොමැතිව මහත් දුෂ්කරතාවන්ට පත් වූහ.ඒ අතර මේ සියලු ව්‍යසනයන්ට හේතුව ඝාතනයට ලක් වූ රාමම්මා බලවත් දේවතාවියකව ඉපිද එම ප්‍රදේශයට සහ වැසියන්ට ශාප කිරීම බවට කතාවක් ප්‍රදේශය පුරා පැතිර යන්නට විය.

ඒ අනුව ඊට බිය වූ පිරිස් ප්‍රදේශය හැර ගිය අතර ඉතිරි වූ පිරිස් එහි සිටි හින්දු පූජකයන්ගේ ද මගපෙන්වීම අනුව රාමම්මාගේ ශාපයෙන් අත්මිදීමේ ක්‍රමයක් සොයන්නට වූහ. එහි දී ඔවුන් මූලිකව සම්මත කරගනු ලැබූ පූජාවක් වූයේ අඩි දෙකක් පමණ උසට රාමම්මාගේත් ඇගේ අනියම් සැමියාගේත් දැව පිළිරූ දෙකක් තනා ඊට යම් කිසි කාලයක් පුද සත්කාර කළ යුතු බව ය. පසුව ඉතා ගරුසරු සහිතව පූජා කරත්තයක තැන්පත් කරන ඒ දැව පිළිරූ දෙක ගම් සීමාවෙන් පිටතට ගෙන ගොස් ගෞරව සම්ප්‍රයුක්තව පුලුස්සා දැමීමෙන් රාමම්මාගේ ශාපය එම ගම්මානයෙන් ඉවත් වන බවට එහි ගැමියෝ විශ්වාස කළහ.

පසුව ඔවුන් අදහස් කළ අන්දමටම එම ක්‍රියාවෙන් පසු ප්‍රදේශයේ ගව වසංගතය දුරු වී නිසි කලට වැසි ලැබී එහි අටුකොටු සරු වී ගැමියන්ගේ ජීවිත සෞභාග්‍යමත් විය. ඒ අනුව සෑම වසරකම රාමම්මා ඇදහීම සම්බන්ධ මෙම පූජා චාරිත්‍රය අඛණ්ඩව පවත්වාගෙන යන ලද්දේ එය නතර කිරීමෙන් යළිත් තමන් රාමම්මාගේ ශාපයට ලක් වෙතැයි යන බිය නිසාය.ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඉන්දියාව එරට ජන ජීවිතය සම්බන්ධයෙන් ගැඹුරු විද්‍යාත්මක හැදෑරීම් කරන රටකි.

ඒ අනුව මෙම ජන ඇදහීම පිළිබඳව ද හයිද්‍රාබාද් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා විද්‍යායතනයේ ශිෂ්‍ය කණ්ඩායම් විසින් විවිධ පර්යේෂණ සිදු කොට තිබේ. ඒ සඳහා ඔවුන් මූලෝත්පාදක කොට ගෙන ඇත්තේ ප්‍රදේශයේ ජනශ්‍රැතින් සහ ඒ සම්බන්ධ පැරණි ලේඛනයන්ය.මෙම කතා ප්‍රවෘත්තිය දහ නව වැනි සියවසේ අවසාන භාගයේ සහ විසි වැනි සියවසේ මුල් භාගයේ විසූ ඇන්ග්ලිකානු නිකායික රදගුරුවරයකුව සිටි හෙන්රි වයිට්හෙඩ් විසින් ලියන ලද The village Gods of India කෘතියේ ද සඳහන් වෙයි.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්, සර්බෝන් සහ ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලත් හෙන්රි වයිට් හෙඩ් 1879 වසරේ පැවිදි බිමට පත් වූ අතර 1883 වසරේ ඉන්දියාවට පැමිණි එතුමා 1899 තෙක් කල්කටාවේ බිෂොප් විද්‍යාලයේ ආයතනාධිපති ධුරය හෙබවීය. පසුව එහි ඇන්ග්ලිකානු රදගුරු පදවියට පත් කරනු ලැබූ එතුමා මදුරාසියේ පස්වැනි රදගුරුවරයා විය. ඉන්දීය ජන සමාජයේ ඇදහීම් සහ ජන විශ්වාස පිළිබඳ ගැඹුරු හැදෑරීමක් කළ විද්වතකු ලෙස ප්‍රකට වූ එතුමා 1947 වසරේ අප්‍රේල් 14 දින ස්වර්ගස්ථ වූ අතර “දේවත්වය පිළිබඳ ආචාර්යවරයකු” ලෙස අද දක්වාම ප්‍රකට වී තිබේ.

ඒ කෙසේ හෝ මෙරට කෘෂිකාර්මික සමාජයේ බරපතලම දෝෂ දර්ශනයට ලක් වූ කෘෂිකර්ම ඇමති වරයා ද මෙම මානව ලක්ෂණය අනුව රාවණාගේ සහ රාමමාගේ ගොඩට වැටී ඇති බව පැහැදිලි ය.

තිලක් සේනාසිංහ

එතෙර - මෙතෙර