මාත් දැන් අයති ටීම් එකේ.මට ඒ භාග්‍යය ලැබුණේ මගේ ඉනුජ පුතා හින්දයි සුනිල් හඳුන්නෙත්ති “පියා”කියන කතාව

සුනිල් හඳුන්නෙත්ති කියන දේශපාලනඥයා හැටියට මම ඉන්නෙ මොන “ටීම්” එකේද කියන එක අද වෙන කොට හුඟක් දෙනෙක් ඉන්නවා.නමුත් මම අපේ රටේ හුඟ දෙනෙක් නොදන්න සමහර විට අහලාවත් නැති තව ටීම් එකකත් ඉන්නවා.ඒ තමයි අයති. අයති කියන්නේ ළමා සංවර්ධන ජාතික මධ්‍යස්ථානයක්.

ඒක රාගම වෛද්‍ය පීඨයට සම්බන්ධයි අපේ ටීම් එකේ තව ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒ ටීම් එකේ රොෂාන් මහනාමත් ඉන්නවා. ලංකාවෙ ගොඩක් චරිත ඉන්නව. ඇත්තටම ඒකට මුල් වෙන්නේ මගේ පුතා ඉනුජ.එයාට දැන් අවු. 10යි.

මගේ පුතා හින්ද තමයි මට ඒ භාග්‍යය ලැබෙන්නෙ. මොකද මගේ පුතාත් Learning difficulties ඒ කියන්නෙ සාමාන්‍ය සමාජය අඳුනන විදියට ඉගෙන ගැනීමට අඩු හැකියාවක් තියෙන නොහැකියාවක් තියෙන ළමයෙක්. ඇත්තටමDisability ළමයි කියන එක අපි පිළිගන්නෙ නෑ.

නමුත් දැන් මේ එක්සත් ජාතික සංවිධානය පවා එහෙම හඳුන්වනවනෙ. Different ability   විවිධත්වය සහිත වෙනස්කම් සහිත හැකියාව. දැන් ඒක දැන් ඔබේ තියෙනවා. මගේ තියෙනවා .වෙනස්කම් සහිත හැකියාව. දැන් අපේ රටේ සාමාන්‍ය අධ්‍යාපන රටාවක් කියනවනෙ. ඒ සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමයේදීත් සාමාන්‍ය අධ්‍යාපනය ඉගෙන ගන්නෙ නැති කෙනාට කියනව මෝඩයා කියල.

සාමාන්‍ය විදියට නොහිතන කෙනාට අපි කියනව Out of track එයාලා ඇවිල්ල අපිට පිටින් හිතන කට්ටිය. එතකොට ඒගොල්ල මේ සිස්ටම් එකට ගැලපෙන්නෙ නෑ. ඒකනෙ මේ කියන්නෙ. සාමාන්‍යයෙන් අපිට ගැලපෙන්නෙ නැති වුණාම අපි කියන්නෙ “පිස්සෙක්” කියල. ඒ වගේම තමයි, මේ ආබාධිත කියන එක. ඇත්තටම ආබාධිත කියල කියන්නෙ; ඒ කියන අය තමයි ආබාධිත කියලයි මම කියන්නෙ.Disorder ඒ කියන්නෙ. දැන්, මේ විශේෂ හැකියාවන් සහිත; වෙනස්කම් සහිත අනන්‍යතාවයක් ඇති; ඒකට හොඳම නම ඒක තමයි. “වෙනස්කම් සහිත අනන්‍යතාවයක් ඇති” කියන එක.ඒ ළමයින්ට නොහැකියාවන් තියන අය කියලා අපි කියනවා නම් ඇත්තටම ඒ නොහැකියාවන් තියෙන්නේ අපිට. මමත් තාත්තා කෙනෙක් හැටියට  ගොඩාක් දුක් වින්දා; ගොඩාක් අසරණ වුණා.

මගේ දරුවව සාමාන්‍ය අධ්‍යාපනය ඇතුලේ ඉස්සරහට යවන්න බැරි වෙයි ද කියල එතකොට ඒක මගේ නොහැකියාව.එතකොට මගේ දරුවගේ ඒ ඇත්ත හැකියාව අඳුනා ගන්න බැරි වීමේ නොහැකියාව තියෙන්නේ දරුවට නෙමේ මටනේ. ඔන්න ඔතනයි මේ ප්‍රශ්නය තියෙන්නෙ. හුඟාක් දෙමාපියන්ට වෙලා තියෙන දෙයක් තමයි තමන්ට පුළුවන්කම තියෙන්නෙ සාමාන්‍ය ක්‍රමයට, තමන් ඉගෙන ගත්තු ක්‍රමයට, තමන්ගේ ක්‍රමයට ඉන්න ළමයින්ට හුරු වෙන්න කැමතියි, ළං වෙන්න කැමතියි.

තමන්ගේ ක්‍රමයට වඩා වෙනස් කෙනෙක් හම්බුණම අකමැතියි. දැන් එතකොට දෙමව්පියන්ටත් තියෙනව ඒ ප්‍රශ්නෙ. කියන්න ලැජ්ජයි මගේ පුතා එහෙම කෙනෙක් කියල.හංගනවා. දැන් මෙතන ඇත්තටම ළමයව වැඩිපුරම පීඩාවට පත්වෙන්නෙ සමාජයෙන් සහ දෙමව්පියන්ගෙන්. මම ඒක අවංකව සහ විවෘතව කියනවා. දැන් මගේ පුතා විශේෂ දක්‍ෂතාවයක් තියෙන විශේෂ හැකියාවක් තියෙන ළමයෙක්. ඔහුට අයිය කෙනෙක් අක්ක කෙනෙක් ඉන්නව. හැබැයි අයියටයි අක්කටයි වඩා ඔහුට විශේෂත්වයක් තියෙනවා.

ඔහුගේ හැකියාව අපි අඳුනා ගන්න ඕන. අපි ඒ හැකියාව අඳුන ගත්තට පස්සෙ අපි ඔහුට ගොඩාක් ආදරේ හිතෙනවා. දැන් මම මගේ දරුවගෙන් ඉගෙන ගත්ත ලොකුම දේ තමයි පිල්ලමක් ඉගෙන ගන්න එක. අකුරක් ඉගෙන ගන්න එක. වචනයක් ඉගෙන ගන්න එක මෙච්චර අමාරුයි කියල මං ඉගෙන ගත්තෙ මගේ පුතාගෙන්. ඒක මම කැම්පස් ගිහිල්ල ඇති කර ගත්තු එකක් නෙමේ. විශ්ව විද්‍යාලයෙ ගිහිල්ලවත් ඉගෙන ගන්න බැරි දෙයක් මම ඉගෙන ගත්තෙ මගේ පුතා ඉනුජ ගෙන්.

මොකද ඉගෙන ගන්න එක මෙච්චර අමාරුයි, දැනුම මෙච්චර වටින දෙයක් කියන එක. ඒක ගන්න මගේ මොළය මෙච්චර මහන්සි වෙනව කියන එක මම දැනගෙන හිටියෙ නෑ. මම විභාගයෙන් උපාධි ගත්ත කෙනෙක් මම දැන ගෙන හටියෙ නෑ; අධ්‍යාපනය මෙච්චර අමාරු දෙයක් කියල. ඒක ඉගෙන ගත්තෙ මම ගුරුවරුන්ගෙන් නෙමේ මගේ පුතාගෙන්. අපි දේශපාලනයත් කරන නිසා අපිට ටිකක් ඉවසීම අඩුයිනෙ. අපි ඒ වේගෙන් වැඩ කරල ඉවර වෙලා ගෙදර ආවම බහින්න ඕන බිංදුවටම.

දැන්, මට තියෙන දේ තමයි දැන් පරාස දෙකක් අතරෙ කියල හිතුවොත් එහෙම පුතා එක්ක වැඩකරන කොට ඉතාම පහළට එන්න ඕන. හැබැයි එන්න මට නොහැකියාවක් තියෙනව නම් ඒක පුතාගෙ නොහැකියාව නෙමේ. ඒක මගේ නොහැකියාව.දැන් පුතාට ඕන විදියට එයාට කියා දෙන්න, ඉවසීම ඒ හැම දෙයක්ම තියෙන්න ඕන. දැන් මම කලබලවෙලා මගේ වැඩ අස්සෙ ඒකට බෑ කියල කිව්වොත් ඒක පුතාගෙ ප්‍රශ්නයක් නෙමේ ඒක මගේ ප්‍රශ්නයක්.

ඇත්තටම මේ දරුවන්ගේ දක්‍ෂතාවයන් හැකියාවන් අඳුනා ගන්න ඕන මුලින්ම පවුලෙන්. සහෝදර දහෝදරියො සහ දෙමව්පියො. අපි දරුවගෙ මේ දේ දැන ගන්නෙ ඔහු ඉස්කෝලෙත් ගියාට පස්සෙ. මේකෙ ලොකු දෙයක් තියෙනව විශේෂයෙන්ම මෙවැනි ළමයින්ව සමහර දෙමව්පියො හිතනව මේක දෙමව්පියන්ගෙ වැරැද්දක් කියල .ජානමය ප්‍රශ්නයක් අපිට හොඳ ළමයෙක් හම්බුනෙ නෑ කියලා. අපිට බය නෙමේ ඇතිවුණේ මේකට උත්තරයක් හොයන්න ඕන කියල හිතුණා.

මොකද මට මෙවැනි අත්දැකීම් තිබුණ. ඒ කියන්නෙ වෙන අයගෙන් දැකල. සමාජය ඇසුරු කරල. මේකට කලබල වෙන්නෙ නැතිව උත්තරයක් හොයන්න ඕන කියල හිතුව. ඉනුජගෙ අම්ම ටිකක් කලබල වුණා. මොකද එයා ගුරුවරියක්. අපි තැන් කීපයකට ගියා. විවිධ අය හම්බු වුණා. මේ ලැජ්ජාවක් කියල හිතුව නම් ඉනුජට උත්තරයක් හම්බු වෙන්නෙ නෑ.

ඉනුජ වගේ ඉන්න අනිත් ළමයින්ටත් උත්තරයක් හම්බු වෙන්නෙත් නෑ. . මම පුතාගෙන් කවදාවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ, තරගකාරී ජීවිතයක් . මම අනිත් දෙන්න ගෙන් වුණත් බලාපොරොත්තු වෙන්නෙ නෑ තරඟයක්. මම දුවට වුණත් කිව්වෙ ශිෂ්‍යත්ව විභාගයට වුණත් ලියන්න ගොඩාක් මහන්සිවෙන්න එපා කියල. වෙන තාත්තල නම් කියන්නෙ පාඩම් කරන්න කියල. මම කිව්වෙ ගොඩක් මහන්සි වෙන්න එපා ඔයා නිකන් ඉන්නකො ටිකක් කියල.

වෙන තාත්තල කියන දේ නෙවෙයි මම කිව්වෙ මට දරුවන්ගෙ ලෝකය ඉතුරු කරන්න ඕන. දුව ශිෂ්‍යත්වය ලිව්වා මේ පාර. එයා බයයි මොකද එයාගෙ යාළුවො පාඩම් කරනව. රැල්ලටනෙ තියෙන්නෙ. අපි ශිෂ්‍යත්වෙ විභාගයෙන් අයින් කරන්න බෑ ළමයෙක්.හැබැයි මම දුවට කිව්වෙ ඔයා කලබල වෙන්න එපා. ඇයි මේ අපි ඉගෙන ගන්නෙ මොකටද? ජීවත් වෙන්නනෙ. දැන් ඔය ඔක්කොම විභාග පාස් කරල උපාධියක් අරන් මටත් රස්සාවක් නෑ නෙ. එතකොට මේ මම ඉන්නෙ. ඉනුජ නිසා මම නොදැකපු ලෝකයක් දැක්ක.

මේ සමාජයෙ කොච්චර දෙමව්පියො පීඩාවට පත් වෙනවද? කොච්චර ඒගොල්ලො බයෙන් ඉන්නවද? දුකෙන් ඉන්නවද? සමහර අයගෙ උවුරුදු විස්සෙ විතර දරුවො මට හම්බු වුණා. දැන් මගේ යාළුවන්ගෙ තැන් වලට ගියාම ඒ වගේ ළමයි මට දකින්න ලැබෙනව. ඒගොල්ලන්ට හරි ප්‍රතිකාර ක්‍රමයක් හම්බු වෙලා නෑ. හොඳ තෙරපියක් හම්බු වෙලා නෑ.වෛද්‍ය පහසුකම් ලැබිල නෑ. සල්ලි තියෙනව.

සමහර සල්ලි තියෙන පෝසත් දෙමව්පියො මේ වගේ ළමයිව එළියට දාන්න බයයි ;ලැජ්ජාව නිසා. තමන්ගෙ සමාජ මට්ටමට කැළලක් හිටියි කියල. දුප්පත් අය හිතනව මේක ලෙඩක් කියල. එතකොට ඒගොල්ල යාග හෝම කරනව; සාස්තර අහන්න යනව. විවිධ ප්‍රශ්න. ඒ දෙකෙන්ම හැබැයි පීඩාවට පත් වෙන්නෙ ළමය. ඒ ළමයට වෙන පීඩනය ගැන කවුරුත් හිතන්නෙ නෑනෙ. ඒ ළමයින්ගෙ තියෙන අපහසුතාවය තව වර්ධනය කරනව ඒගොල්ල. ඊළඟට පාසල.

මෙතන මට තිබිච්ච විශේෂත්වය තමයි මට ඩී.එස් සේනානායක විද්‍යාලයෙ ගැටලු ඇති වුණා නෙවේ.ඒත්, ඒ අය මට උදව් කළා. ඒ මම දේශපාලනඥයක් හැටියට නෙමේ. තාත්තා කෙනෙක් හැටියට. ඒක මගේ පුතා වෙනුවෙන් නෙවේ. අනිත් අය වෙනුවෙනුත් මම ඒ ෆයිට් එකේ ඉන්නව. මම මේව ගැන පාර්ලිමේන්තුවෙ කතා කළා. නීතියෙන් වෙනස් වෙන්න ඕන ගොඩක් දේවල් තියෙනව.අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලෙ මේ ළමයින්ට තියෙන තැන මොකක්ද? විශේෂ හැකියාවන්ට තියෙන ඉඩ කඩ මොකක්ද? සාමාන්‍ය ප්‍රශ්න පත්තරේමයි.

දැන් මගේ පුතා සාමාන්‍ය ප්‍රශ්න පත්තරේ ලියන්න ඕන. හැබැයි අධ්‍යාපන විෂය නිර්දේශය ඇතුලෙ ඒ ළමයගෙන උත්තර ගන්න වෙන ක්‍රමයක් නැද්ද? දැන් ඔන්න ප්‍රශ්නයකට උත්තරයක් දෙනව. මේ අතරෙන් සිවුපාවුන් නොවන්නේ කවුද? බල්ල, හරක, පූසා, කපුට කියල හිතන්නකො.ළමයට දැන් අකුරු ලියන්නත් බෑ; කියවන්නත් බෑ. හැබැයි සිව්පාවට කකුල් හතරයි.

පක්ෂීන්ට කකුල් දෙකයි කියල දන්නව. කපුට පියාඹන සත්වයෙක් කියල එයා දන්නව නම් මේකට කටින් උත්තරේ දුන්නොත් වැරදිද? කටින් කිව්වොත් වැරදිද? දැන් හැබැයි කටින් ඒ දැනුම ගන්න ක්‍රමයක් ලිඛිත නොවන ක්‍රමයට දැනුම ගන්න ක්‍රමයක් අධ්‍යාපන රටාවෙ නෑ. අපේ විභාග ක්‍රමයෙ නෑ.හැබැයි දැනුම නම් හොයන්නෙ විභාගෙන දැනුම කොහොම ගත්තත් එකයි. ලියල ගත්තත් එකයි කටින් කියල ගත්තත් එකයි. හැබැයි ඒකට ඉඩ නෑනෙ. එතකොට ඒ ළමයා කරදර කාරයෙක්. පීඩා කාරයෙක්. එයාව පැත්තකට කරන්න උත්සාහ කරනව. මම නම් කියන්නෙ විශේෂ හැකියාවන් තියෙන ළමයි සාමාන්‍ය ළමයි අතරෙම ඉගෙන ගන්න ඕන .උගන්නන්න ඕන.

ඉතින් මට මගේ පුතාට හම්බ වෙච්ච ගුරුවරු හැමෝටම ස්තුතිවන්ත වෙනව. මම ඒ උත්සාහය අදත් ගනිමින් ඉන්නව. මට අයති එකෙන් දීපු මුල්ම ටාස්ක් එක තමා ළමයව එක තැන විනාඩි අටක් තියන්න කියන එක. අද එයා සම්පූර්ණයෙන් තනියම ගිහිල්ලා එයාගෙ පාඩම් වලට සහභාගී වෙනව. පන්ති කාමරයෙ.තනියම ඉන්නව ප්‍රශ්න නැතිව.

ගෙදර එයා තනියම ඉන්නව. මම සමහර වෙලාවට එයාට ටෙලිෆෝන් කරල අහනව එතකොට එයා කියනව මම ටීවී බලනව, සෙල්ලම් කරනව කියල.එයා වොෂ් කරගන්නෙ සාමාන්‍යයෙන් ඇඳුම් මාරු කරගන්නෙ තනියම. දැන් ගෙදර තනියම හිටියම සාමාන්‍ය ළමයි අනතුරු කරගන්නෙ නැද්ද? දැන් බලන්න ආබාධිත කියන කෙනෙක් අතින් වාහනයක් ඇක්සිඩන්ට් වෙලා තියෙන්නෙ කොහෙද? ඇස් දෙක පේන්නෙ නැති අයට කොහොමත් එලවන්න බෑ තමයි.

මම කියන්නෙ කන් ඇහෙන්නෙ නැතිව ගිහින් හරි වාහන හැප්පිච්ච ප්‍රමාණයන් කීයක් තියෙනවද හැබැයි ඇස් කන් පේන අය ගිහිල්ල කොච්චර වාහන හප්පගන්නවද? අපේ ගෙදර යතුරක් නැති වුණොත් මම වෙන කාගෙන්වත් අහන්නෙ නෑ මම ඉනුජගෙන් තමයි අහන්නෙ. අපට හොයා ගන්න බැරි දෙයක් හොයා ගන්න මට හොඳම උපකාරය ඉනුජ.

එයාට ටක් ගාලා ගේනව ඒක. එයාගෙ විශේෂ හැකියාවක් ඒක. ඉතින් ඒක ඉස්කෝලෙ ගිහිල්ල අහුවෙන්නෙ නෑනෙ. දැන් ඕන දෙයක් නැතිවුණොත් හොයා ගන්න පුළුවන් මතකයක් එයාට තියෙනව. වෙන අයට වගේ එයාට මතය ඉදිරිපත් කරන්න ගන්න බැරි ගැටලුවක් තියෙනව.

එයාට ඒක පාසලෙන් සකස් කරල දෙනව. එයාගෙ ටීම් එකත් එයාට උදව් කරනව. අයියයි අක්කයි එයාට ගොඩක් ආදරෙයි. ඒගොල්ලො සාමාන්‍ය අය වගේ රණ්ඩු වෙනව. ගහගන්නව .යාළු වෙනව ඔය ඔක්කොම ටික තියෙනව. එයාට ගොඩක් ආදරේ ඕන. දැන් අපට වුණත් ආදරේ ඕන. එයාට ආදරේ දෙන තරමට එයා අපට ආදරේ දෙනව.

එයා ලෙඩෙක් එයා කරදරයක් කියල එයාව පැත්තකට කළොත් එයත් අපිව පැත්තකට කරයි. එතකොට අපි තේරුම් ගන්නDisorder  එක අපේ ද එයාගෙද කියල. මේ සමාජෙ ඒ හැමෝටම සාමානත්මතාවයක් තියෙන්න ඕන.

ඒගොල්ලොන්ට බස් එකේ යන්න ද? තැනකට යන්න ද?ඉස්කෝලෙ යන්නද? නැත්නම් වෙනත් තැනකට යන්නද ඒ හැම දේකටම අයටත් අයිතිය තියෙන්න ඕන. මමත් මේකට හැමදාම පෙනී ඉන්නෙ නෑ. එයාට හැකියාව ආවම එයා තනියෙන් ඉන්න ඕන විදිහට පෙනී සිටිනව. දැන් හුගක් දෙමව්පියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි අපෙන් පසුව මේ දරුවට මොකක්ද වෙන්නෙ. අනෙක් එක තමයි ඒ අපේ සමාජය අපි ඉක්මනින් හුරු කර ගන්න ඕන ඒ අපේ සමාජය එවැනි අයට නොසැලකීමට ලක් නොවන විදියට.

සියල්ලන්ට එක විදිහට සලකන්න. “එක ලෙස සලකමු”. අපේ අයති එකේ තේමාවක්.එතකොට එක ලෙස සලකන සමාජයක් තියෙනව නම් ඔය ප්‍රශ්නෙ එන්නෙ නෑනෙ. මොකද අපේ සමාජයෙ ඇතුලේ නීති හැදිල නෑ. ප්‍රතිපත්ති හැදිල නෑ. පාර්ලිමේන්තුවෙ මේක ගැන කතා කරන්නෙ නෑ. මාධ්‍ය වල සාකච්ඡාවක් නෑ.විවෘතව කතා බහක් නෑ අපි කවුරුත් අතරෙ. මෙවැනි ළමයින්ට ඔවුන් ලොකු වැඩිහිටියන් වුණාම ඔවුන්ට තියෙන සමාජ ආරක්ෂාව මොකක්ද ? ඒක වෙනම ප්‍රශ්නයක්.

මම හැබැයි එක දෙයක් පිළිගන්නව.අපිට පුළුවන් නම් මේ දරුවන්ගේ විශේෂ හැකියාවන් වෙන් කරලා හඳුනා ගන්න, ඔවුන්ට ද එක සේ සලකන්න. මේකෙන් ලංකාවට ලෝකෙට දෙන්න පුලුවන් වටිනාම දේ දෙන්න වැඩපිළිවෙලක් හදන්න එතකොට ඒ අය තනි වෙන්නෙ නෑ. මට නම් එක දෙයක් හොඳටම විශ්වාසයි; අපි වගේ අය තනි වුණත් ඉනුජ වගේ අය තනිවෙන්නෙ නෑ කියල ඒක හරි පැහැදිලියි.

පාර්ලිමේන්තුවෙදි මම මේ ගැන කතා කළා. මේ අයගෙ වයස සීමාව අනුව තමයි මේ ළමයින්ව පාසලෙන් ඉවත් කිරීම තියෙන්නෙ. එතකොට මේ ළමය සාමාන්‍ය පෙළන් පාස් වෙලා යන ළමයෙක් වගේ නෙවෙයි මේ ළමයි යන්නෙ. ඊට වඩා වයස වැඩියි. වැඩිවෙන්න ඕන තමයි. හැබැයි එයාලත් පාසලෙන් අර වයසෙදිම ඉවත් කළෝතින් අසාධාරණයක් වෙනවනෙ.

මම මේ පාර්ලිමේන්තුවෙ අයවැයේ දි කතා කළා එතකොට අකිල විරාජ් අධ්‍යාපන ඇමති වරය හැටියට හිටියෙ.අකිලට කියල අපි මේ ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙ කමිටුවක් පත් කළා. මමත් ඒ කමිටුවට ගියා,. අපි යෝජනා කළා විභාග දෙපාර්තමේන්තුවයි අධ්‍යාපන විද්‍යා පීඨ වල අය ඊට පස්සේ ගුරු අධ්‍යාපන ආයතනයෙ අය ඒ අය එකතු කරල සාකච්ඡා වටයක් ගෙනිච්ච මේ අයට විශේෂත්වය දෙන්නෙ කොහොමද?කියන එක ගැන.

මොකද මේ විශේෂ හැකියාවන් සහිත ළමයින්ගෙ අංශ වල ඉන්න ගුරුවරුත් හරි විශේෂයි. ඒ අය අමතර මහන්සියක් දරනව. සාමාන්‍ය ගුරුවරු වගේ නෙවේ. ඒ ගුරුවරු වෙනම ඇගයීමට ලක් කරන්න ඕන. මේ වෛද්‍ය කණ්ඩායම් වෙනම ඇගයීමට ලක් කරන්න ඕන.

ඒගොල්ලො අසීමිත මහන්සියක් දරනව. ඔබ අයති ආයතනයට ගිහිල්ල බලන්න. ඒකෙ ඉන්න අය. අපි තාත්ත කෙනෙක් එක දරුවෙක්ගෙ. අපිට හුරුයි දරුව. ඒ අයට හුරු නැති දරුවො ගොඩක් එක්ක දවසක් ගත කරන කොට. ඒ එක්කම ප්‍රිය මනාප භාවයකින්. මොකද එක ළමයෙකුටයි තව ළමයෙකුටයි වෙනස් කමක් කරන්න බෑ. කොහොමත්.

ඒ අය ඇගයීමට ලක් කරන්න ඕන. මොකද්ද දෙන වැටුප් වැඩිවීමක් දෙනවද නෑනෙ. ඒ හින්ද අපි ඒ විෂය නිර්දේශ වෙනස් වෙන්න ඕන ඒ අයගෙන් උත්තර ගන්න ක්‍රමය වෙනස් වෙන්න ඕන. විභාග වලට වාඩි කරන ක්‍රමය වෙනස් වෙන්න ඕන.තව ගොඩක් දේවල් තියෙනවනෙ.නීතිමය පැත්තෙන් වෙනස් වෙන්න. ඉතින් අපි පාර්ලිමේන්තුවෙදිත් කළා. ඒ කමිටුවත් ඊට පස්සෙ පාර්ලිමේන්තුව විසිරිලා; වෙනත් තත්වයක් ඇති වුණාට පස්සෙ මටත් ඒකට සහභාගී වෙන්න බැරි වුණා.

නමුත් මේක අත අරින්නෙ නෑ ඒ හින්ද අපි දැනටමත් අපි මේ කණ්ඩායමට තෝරගෙන තියෙනව ප්‍රතිපත්තිමය වශයෙන් මේකට මැදිහත් වෙන්න පුළුවන් අය. මාධ්‍යවල මේකට මැදිහත් වෙන්න පුළුවන් අය. ඔබත් එක්කත් මම කතා කරන්නෙ ඒකෙ ප්‍රතිඵලයක් හැටියට. අපේ කණ්ඩායමේ ප්‍රතිඵලයක් හැටියට. කලාකරුවන් සම්බන්ධ කරගෙන තියෙනව. මම මේකට දමිතා අබේරත්න, රොඩ්නි වගේ ළමයිත් එක්ක ඉන්න අය. මොකද? ළමයිත් ආස කරන නලු නිලියො ඉන්නව.

අපි ඒගොල්ලන්ට විවෘතව ආරාධනා කරනව එන්න අපි එක්ක අයති එකට. ඇවිත් ටිකක් බලන්න. අයති එක කියන්නෙ ජාතික මධ්‍යස්ථානයක් ඒ විතරක් නෙවේ; රට පුරාම මේ තැන් හැදෙන්න ඕන. රජයෙන් අනුග්‍රහ දක්වල අපි කියන වෙනත් දිස්ත්‍රික්ක හැම එකකටම එක සෙන්ටර් එකක් ගානෙ හදන්න ඕන. මොකද මේ ළමයෙක් එක්ක ගෙන එන්න හරි අමාරුයි. ළමයෙක් එක්ක ගෙන එනව නම් අම්ම තාත්තා වෙනම මහ විශාල මුදලක් වැය කරනව.

ඈත පළාතක ඉඳල එක්ක ගෙන එන්න බෑනෙ. ඒ හින්ද වෙන වෙනම මධ්‍යස්ථාන වෙනම වෙනම හදන්න ඕන. ඒකට වෛද්‍යවරු ඕන සහායක කණ්ඩායම් ඕන.මේක ලොකු මිෂන් එකක්. හැබැයි, අපි හිතනව මේ විශේෂ හැකියාවන් සහිත විශේෂ අනන්‍යතාවයන් සහිත ළමයි වෙනුවෙන් ලොකු වැඩක් කරන්න තියෙනව. ඉතින් ඒකට උදව් කරන අය මම හිතන්නෙ පිටරටවල් වල ඉන්න මගේ මිත්‍රයො අපි මේකට සම්බන්ධ කර ගත්ත. ඔවුන් කිසි කෙනෙක් මේක බෑ කිව්වෙ නෑ.

දැන් මගේ පුතාගෙ නමින්ම මං මේ ගැන වට්සැප් ගෲප් එකක් හදල තියෙනව. ඒකට එකතු වෙච්ච හුඟක් දෙනෙක් ස්වෙච්ඡාවෙන් එකතු වෙලා අහනව මොකක්ද අපෙන් කෙරෙන්න ඕන. මුදල් නෙවේ වැදගත් වෙන්නෙ මේ මානව දයාව මේ බැඳීම. අපි ඔවුන්ට එක ලෙස සලකන්න ඕන කියන පණිවිඩය මම හිතන්නෙ අයති නමින්ම කිව්වොත් අපිට ඒක ඉෂ්ට කරන්න පුළුවන්. මේ වගේ ගෙවල් වල හංගලා තියාගෙන ඉන්න එපා.මොකද මේ ළමයිගෙ අවශ්‍ය වයස සම්පූර්ණ වුණාම මොකුත් කරන්න බෑ.

විශේෂයෙන් මම දෙමව්පියන්ගෙන් ඉල්ලන්නෙ මේ ගැන තමන්ට තියෙනව නම් මොනව හරි සැකයක් බයක් දුකක් ඒක ඔක්කොම පැත්තකින් තියන්න. ඒක ඔයාගෙ හිතේ තියෙන දෙයක් ඒක ළමයට සාධාරණ නෑ. ඉක්මනින්ම අපිට මේක කියන්න බෑ. අපේ සෙන්ටර් එකේ ඉඩ කඩ ප්‍රශ්න නිසා නමුත් වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න. විශේෂයෙන්ම අයති වැනි ආයතනයකට සම්බන්ධ කරන්න. දිස්ත්‍රික්කවලටත් තියෙනව මම දන්න තරමට මේ වගේ සායන තියෙන තැන්.

ඒවට දරුවව එක්ක යන්න. මේක විවෘතව කතා කරන්න. විවෘතව අපි හම්බ වෙච්ච වෙලාවක කතා කරන්න. දැන් මගේ පුතාගෙ ප්‍රශ්න මම විසඳගෙන ඉවරයි. හැබැයි එවැනි දරුවන් වෙනුවෙන් හැම දෙමව්පියෙකුටම මම හිතන්නෙ ලොකු වගකීමක් තියෙනව.මමත් දිගටම පෙනී ඉන්නවා ඒ වෙනුවෙන්.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති (අන්තර් ජාල සාකච්ඡාවක් ඇසුරිනි)

 

එතෙර - මෙතෙර