“නැවත විදුලි බිල වැඩි කරන්න ඉඩ දෙන්න” විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලයි

නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට අවසර දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල පනාන්දු මහතා සඳහන් කරනුයේ ඉදිරියේ දී එම ඉල්ලීම සලකා බැලීමට නියමිත බවයි.මේ වසරේ ජාතික අවශ්‍යතාව සපුරාලිය හැකි මට්ටමට ජල විදුලිය නිෂ්පාදනය කිරීම්ට නොහැකිවීම හේතුවෙන් විදුලි නිෂ්පාදනයට අතිරේක පිරිවැයක් දැරීමට සිදු වූ බවත් මෙම අතිරේක පිරිවැය පියවාගැනීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් මේ ඉල්ලීම කළ බවත් විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබේ.මේ වසරේ ජල විදුලි ධාරිතාව ගිගාවොට් පැය 4500ක් අපේක්ෂා කළ නමුත් ගැනීමට හැකිවූයේ ගිගාවොට් පැය 3750 ක් පමණක් බවද සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කොට ඇත.මේ නිසා ගිගාවොට් පැය 750ක් අතිරේකව තාප බලාගාරවලින් ගැනීමට සිදු වූ බවද ඔහු සඳහන් කොට ඇති අතර පිළිබඳ සවිස්තරාත්මක දත්ත මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලබන 02 වනදා ලබාදීමට තීරණය කර ඇති බව ද පවසා තිබේ.මේ අතර මෙම පරතරය පියැවීම පිණිස පුනර්ජනනීය බල ශක්තිය උපයෝගී කර ගෙන මහජනතාවට සිදුවන පීඩාව අවම කළ හැකි පසුබිමක වගකිව යුතු අංශ ඒ සම්බන්ධයෙන් මුණිවත රැකීම ජාතික ඛේදවාචකයක් බව ද ඇතැම්හු කියති.

කාලීන පුවත්