මිනිස්-අලි ගැටුමේ මුල් වරද මිනිසුන්ගේ බව ඇමති අමරවීරට තේරුණා නම් ලොකු දෙයක්

aliminis1

බොහෝ රට වල නිවැරදි ලෙස භාවිතා කරන වදන් අප රටේ වැරදි සහගත ලෙස භාවිතා වන අවස්ථා බොහොමයකි.එය ද ජාතියේ ප්‍රගමනයට අනියමින් හෝ අහිතකර ලෙස බලපාන බව අපගේ විශ්වාසයයි.ජාත්‍යන්තර වශයෙන් මිනිස්-අලි ගැටුම(Human elephant conflict ) යන ව්‍යවහාරය ද සිංහල බසින් පැවසෙනුයේ අලි-මිනිස් ගැටුම( Elephant human conflict ) ලෙසිනි.මේ ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම, වනජීවී සහ වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර පසුගිය දා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකි.

“අලි- මිනිස් ගැටුම් පිළිබඳව මේ දිනවල ඒ තත්වය වැඩියෙන් බහුල වෙනවා. ගරු කථානායක තුමනි, මේ පසුගිය සති අන්තයේ මාතලේ, පොළොන්නරුව ඒ වගේම මඩකලපුව හරහා මම එන අවස්ථාවේ විතරක් ප්‍රධාන පාරේ අයිනෙ විතරක් අලි දොලොස් දෙනෙක් හිටියා. මේ තත්වය තමයි තියෙන්නෙ. මම වන ජීවී නිලධාරීන් ගෙන්නලම කිව්වා. සමහර දිනවල මේ තත්වය දිගින් දිගටම මම විමසුවා. ඔවුන් කියන්නෙ අලි වැටවල් කොච්චර ප්‍රමාණයක් සකස් කළත් ඒව කඩාගෙන මේ අලින් එන බව . මොකද අපි බැලුවොත් මේ කාලයක් තිස්සෙ කරගෙන එන මේ සංවර්ධන කාර්යයන් වල ප්‍රතිඵලය විදියට අලින්ට තියෙන භූමි ප්‍රමාණයන් අපි අත්පත් කරගෙන තියෙනවා. ඇත්තම කතාව ඒක. සියලු සංවර්ධන කටයුතු අවුරුදු තිහක් හතලිහක් තිස්සෙ කරපුවගේ ප්‍රතිඵල නිසා තමයි ඔවුන්ට තිබුණ භූමි ප්‍රමාණය දැන් අඩු වෙලා තියෙන්නෙ.

ඒ නිසා තමයි මේ ප්‍රශ්නය මම හිතන්නෙ උග්‍ර වෙලා තියෙන්නෙ. ඒ වගේම මේ සම්බන්ධ විවිධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. දැන් මම මේ පිළිබඳව විශේෂයෙන්ම සතිපතා මේ අය මුණ ගැසෙමින් ඒ අයට මේ වෙන කොට උපදෙස් ලබා දීල තියෙනවා. මේ අලි- මිනිස් ගැටුම අවසාන කිරීම සඳහා දේශීය සහ විදේශීය කියන සියලු විශේෂඥයන්ගේ යෝජනා පිළිබඳ අවධානය යොමු කරල මේ වර්ෂය අවසාන වෙන්න ඉස්සෙල්ලා අපිට යෝජනාවලියක් සකස් කරලා දෙන්න. ඒ සඳහා අපි අලි වැටවල් ගහනවා නම් අපි අලින්ට බාධක දෙකක්වත් පනවන්න ඕන කියන අදහස ඇවිල්ල තියෙනවා. ඒ කියන්නෙ අලි සාමාන්‍ය වැට සහ ඒ කියන්නෙ එල්ලෙන වැට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ට එන්න බැරි වෙන්න අඟල් කැපීමක් වෙන්න පුළුවන් නීත්‍යානුකූල මට්ටමේ. එහෙම නැත්නම් ගස් වර්ග වැවීමේ ක්‍රමයක් වෙන්න පුළුවන්. මේ වගේ බාධක දෙකක් සහිතව ඒ කටයුතු කරන්න කියන යෝජනා වලියක් ඉදිරිපත් වෙලා තියෙනවා.

කෙසේ වෙතත් ඉදිරි අවුරුදු එකහමාරක් දෙකක් ඇතුළත මේකට ස්ථිර විසදුමක් ලබා දීමේ සැලැස්ම දැනටමත් සකස් වෙමින් යනවයි කියන එකත් සඳහන් කරන්න කැමතියි.(උපුටා දැක්වීම අවසන්) ඒ කෙසේ හෝ අමාත්‍ය වරයාගේ කතාවට අනුව වුව ඉහත සඳහන් ගැටුමට මුල පුරා ඇත්තේ වන අලින් නොව මිනිසුන් බව පැහැදිලි ය.එමෙන්ම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අවහිර වී ඇති අලි මංකඩ 16ක් නිදහස් කර ගැනීම සඳහා ලබන වසරේ සිට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.මේ වන විට අලි ගමන් කරන මාර්ග අවහිර කරමින් ජනතාව ඉදි කර ඇති නිවාස හා පවත්වාගෙන යන වගා ඉවත් කර, වන අලින්ට ගමන් කිරීමට සුදුසු පරිදි ඒවා සකස් කිරීම මේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කෙරෙන බව ඔහු පැවසීය.එහි පළමු අදියර යටතේ වන මිනිස්-අලි ගැටුම් උග්‍රව පවතින අලි මංකඩ තුනක් නිදහස් කර ගැනීමට යෝජනා වී තිබේ.

එම අලි මංකඩ තුළ හෝ ඒ ආසන්නයේ අනවසරයෙන් පදිංචිව සිටින ජනතාව ඉන් ඉවත් කිරීමට ද සැලසුම් කර ඇත.එසේ ඉවත් කෙරෙන පිරිස් සඳහා වගා කිරීමට හා පදිංචි වීමට සුදුසු ඉඩම් ලබා දීමට හා ඔවුන්ට යම්කිසි වන්දියක් ලබා දීමට තීරණය වී තිබේ.වනෝද්‍යානවලට ගවයින් නිදහස් කිරීම වැළැක්වීම, වනෝද්‍යාන තුළ ඇති අනවසර ගව ගාල් ඉවත් කිරීම, විදුලි වැට ඉදි කිරීම හා ඒ ආශ්‍රිතව සමෝධානික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම වැනි තවත් ඒකාබද්ධ වැඩසටහන් කිහිපයක් ද ලබන වසරේ සිට ක්‍රීයාවට නැංවීමට සැලසුම් කර තිබෙන බව වන ජීවී අමාත්‍යවරයා පැවසීය.වන මිනිස්-අලි ගැටුම්වලට මූලික හේතුවක් වී ඇත්තේ, මිනිසුන් අලි මංකඩවල පදිංචි වීම හා වගා කිරීම බව හඳුනා ගෙන ඇතැයි ද ඇමතිවරයා කීය.

අලි හුවමාරු වන මංකඩ 16ක් පමණ හඳුනා ගෙන ඇතත් ඒ සියල්ල ම මිනිස් ක්‍රියාකාරකම් නිසා තර්ජනයට ලක්ව තිබෙන බව ද ඔහු පැවසීය.අලි මංකඩවල අවහිර කරමින් මිනිසුන් අනවසරයෙන් පදිංචි වීම, නිවාස හා විවිධ ව්‍යාපාරික ස්ථාන ඉදි කිරීම මෙන් ම වගාව භුමි පවත්වා ගෙන යාම නිසා වන අලි ගම්වැදීම හා මිනිසුන්ට පහර දීමට පෙළඹී ඇතැයි ද පැවසේ.විශාල ජලාශ ඉදි කිරීමේදී වන අලින්ගේ වාස භූමි නොසලකා හැර කටයුතු කිරීම මෙන් ම එහි දී වන අලින් ආරක්ෂා කර ගැනීම සඳහා යෝජනා කෙරෙන තීරණ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ද මිනිස්-අලි ගැටුම් ඉහළ ගොස් තිබෙන බව සඳහන් වේ.ඉහත සඳහන් යෝජනා ක්‍රියාවට නැංවීම හා එමඟින් සාධනීය ප්‍රතිඵල ලැබීම කෙසේ හෝ අමාත්‍ය වරයාගේ ඒ සම්බන්ධ මැදිහත් වීම අප ගේ විශේෂ අවධානයට යොමු විය යුතුය.

එමෙන්ම හිටපු කෘෂිකර්ම අමා‍ත්‍යය මහින්දානන්ද අළුත්ගමගේ මෙන් ගොවියා නොමරා මරණ අත්තනෝමතික අඥාන තීන්දු තීරණ නොගෙන මෙවන් සංවේදී විෂය පථයන් දෙස සහනශීලී ලෙස බැලීම සම්බන්ධයෙන් ද අමාත්‍ය මහින්ද අමරවීර අපගේ විශේෂ අවධානයට යොමු වනු ඇත.නමුදු මෙහි දී මේ සම්බන්ධ විසඳුම් සෙවීමේ දී නිලධාරීන්ගේ සේම එම ප්‍රදේශ වල ගැමියන්ගේ සහභාගීත්වය ද ඉතා වැදගත් ය.ඊට හේතුව මෙම මිනිස් අලි ගැටුමට විසඳුම් සෙවීමේ දී නිලධාරීන් සහ ගැමි ජනතාව අතරේ ගැටුම් බහුල වීමය. ඒ සමබන්ධයෙන් මැදිහත් ස්ථාවරයක සිට නිවැරදි තීරණ වලට එළඹීමට ඇමති වරයාට හැකි වනු ඇත.මෙහි දී අප යෝජනා කරනුයේ මෙම මිනිස් අලි ගැටුමට මූලෝත්පාදක හේතුව මිනිස් ක්‍රියාකාරිත්වයන් මිස වන අලි ක්‍රියාකාරීත්වයන් නොවන බව තේරුම් ගෙන ඒ අනුව කටයුතු කිරීම අප්‍රමාදවම ඇරඹිය යුතු බවය.

නොඒසේ නම් එය කැඩුණු ඔරුලෝසුවකින් හරි වෙලාව බලා ගැනීමක්ම වනු ඇත.නමුත් ඉහත සඳහන් ප්‍රකාශ අනුව වැටහී යනුයේ එම යථාර්ථය ඇමති වරයා එය තේරුම් ගෙන ඇති බව ය.එසේ නම් එය මෙම මිනිස්-අලි ගැටුමට සාධනීය විසඳුමක් දක්වා යන ගමනක ආරම්භයක් වනු ඇත.

දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර