“මීට පස්සෙ වත් වැරදි බස් වලට නගින්න එපා”අමාත්‍ය නාලක ගොඩහේවාට සුහද ආමන්ත්‍රණයක්

ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වන මහජන නියෝජිතයන් හට ඊට පසුව තමන් වෙත එල්ල වන ජනතා ප්‍රතිචාරය හරි හැටි බලාගත හැක්කේ නැවත පැවැත්වෙන මැතිවරණයකිනි.

එහෙත්, ඒ අතරතුර තමන් වෙත එල්ල වන ජනතා ප්‍රතිචාර ඉතා අහඹු ලෙස නිරීක්ෂණය කිරීමේ අවස්ථා ද ඔවුන්ට ඉඳ හිට හිමි වෙයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ‘වියත් මඟ’ විද්වත් සංසදයේ මුල් පෙළේ සාමාජිකයකු වන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවාට පසුගිය පෙබරවාරි 01 දා එවන්”අනගි” අවස්ථාවක් උදා විය.

ඒ පෑලියගොඩ මැනින් වෙළඳපල තෙක් පොදු ප්‍රවාහන සේවයක් නොමැති අඩු පාඩුව සපුරාලමින් එහි සිට විවිධ ප්‍රදේශ දක්වා නව බස් රථ සේවයක් ආරම්භ කිරීමට එහි ගිය අවස්ථාවේ ය.

එසේ එම බස් රථ සේවාව ආරම්භ කරමින් ඒ සම්බන්ධයෙන් මගී ජනතාව ගේ ප්‍රතිචාර දැන ගනු පිණිස අමාත්‍යවරයා ගමන් ආරම්භ කිරීමට සූදානම් කොට තිබූ බස් රථයකට එහි ඉදිරිපස දොරටුවෙන් පිවිස රියැදුරු අසුන සමීපයේ සිට එහි හුන් මගීන්ට දෑත එක්කොට ආයුබෝවන් කීයේ සාමාන්‍යයෙන් බස් වලට නඟින සංචාරක වෙළෙන්දෙකු හෝ යාචකයකු ගේ විලාසය දක්වමිනි.

ඔහු සමඟ තවත් නිලධාරීන් කිහිප දෙනකු ද බසයට නැඟ ගත් අතර ඒ අවස්ථාව රූපගත කිරීම පිණිස වීඩියෝ සහ නිශ්චල කැමරා සේම මයික්‍රෆෝන් ගත් මාධ්‍යවේදීන් දෙතුන් දෙනෙක් පිටුපස දොරටුවෙන් බසයට නැඟ ගත්හ.

මැනින් වෙළෙඳපලට පැමිණෙන ජනී ජනයාට ගමන් පහසුව සැළසීම පිණිස තමන් විසින් අනුගමනය කළ මේ ‘පහසු උපක්‍රමය” බසයේ සිටි ජනතාව බෙහෙවින් අගැයුමට ලක් කරනු ඇතැයි අමාත්‍ය ගොඩහේවා සිතන්නට ඇත. එහෙත්, සිදු වූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.

තමන් කළ හපන්කම ගැන ජනතාවගෙන් කරුණු විමසීමට අමාත්‍ය ගොඩහේවාට අවස්ථාවක් නොදුන් බසයේ සිටි මගීහු ඉතා නොසන්සුන් ලෙස හැසිරෙමින් ‘අපිට පරක්කු වෙනවා බහින්න’ යනුවෙන් සිංහලෙන් මෙන්ම ඉංගිරිසියෙන් ද අවලාද නඟන්නට වූහ.

ඔහු මැනින් වෙළඳපලට ගිය අවස්ථාවේ ද එහි පැවැති එළවළු මිල ගණන් අසා ඉහ මොළ රත් වී සිටි එම බස් මගීන්ගේ එම ප්‍රතිචාරය අතිශය ස්වභාවික වූවක් බව වියත් මඟ වියතකු වන අමාත්‍ය ගොඩහේවාට ක්ෂණිකව වැටහෙන්නට ඇත. එනිසා ඔහු කළේ “හරි, එහෙනම් පරක්කු කරන්නේ නැතුව අපි බහින්නම්” කියමින් දඩි බිඩි ගා බසයෙන් බැස ගැනීම ය.

වත්මන් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට මෙවන් අයහපත් ජනතා ප්‍රතිචාර හිමි වීමේ ආරම්භය මෙය නොවේ. මීට පෙර නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග,විමල් වීරවංශ විමලවීර දිසානායක,වාසුදේව නානායක්කාර යන දේශපාලනඥයන් ජනතාවගේ හූ හඬට ලක් වූහ.

මෙම ජනතා ප්‍රතිචාර මාලාවේ අග්‍රඵලය වූයේ පසුගිය දෙසැම්බර් 29දා නුගේගොඩ ජුබිලි කනුව ආසන්නයේ කිරි පිටි වෙළඳ සලක් ඉදිරිපිට පෝලිමක තපිමින් සිටි ජනතාව ගේ ‘හූ සංග්‍රහයක්’භුක්ති විඳීමට ඒ අද්දර මාර්ගයේ රිය පෙළකට මැදිව යමින් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පවා සිදුවීම ය.එහෙත් පෑලියගොඩ මැනින් වෙළඳ සලේ දී අමාත්‍ය ගොඩහේවාට අත්විඳීමට සිදුවූයේ නිකම් හූ සංග්‍රහයක් නොවේ. ඉතා පැහැදිලි ලෙසම එය ජනතාව විසින් ඔහු මොහොතකට හෝ ප්‍රතික්ෂේප කිරීමකි. පලවා හැරීමකි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීමේ දී අපට පැහැදිලිව පෙනී යන එක් කරුණක් තිබේ. එනම් දේශපාලන ක්ෂේත්‍රයේ එතරම් මුහුකුරා නොගිය ආධුනිකයකු වන අමාත්‍ය ආචාර්ය ගොඩහේවා මේ නැඟ ඇත්තේ “වැරදි බසයකට” බව ය. සාමාන්‍යයෙන් අප රටේ දේශපාලනඥයෝ මෙවැනි පොදු ජනතාව හමුවීමට පෙර තම ගෝල බාලයන් ලවා ඊට අදාල “නාට්‍ය පිටපත” ලියවා ගනිති.

පසුව එම සිදුවීමට අයත් ජනතාවගේ චරිත නිරූපණය කිරීම සඳහා අවශ්‍ය “නළු නිළියන්” ඒ ප්‍රදේශයේ තම දේශපාලන පක්ෂ ශාඛා සංවිධාන වලින් තෝරා ගෙන ඔවුන් ඒ සඳහා පෙර පුහුණුවක් ද ලබා දෙති.

අදාල දේශපාලනඥයා එවන් බසයකට නඟින්නේ නම් එහි මගීන් ගේ රගපාන නළු නිළියන් ඇමතිවරයා දුටු සැනින් නැගී සිට ඔහුට ආචාර කොට යළි අසුන්වල වාඩි වීම; පසුව ඔහු අසන ප්‍රශ්නවලට ඔහු සහ වත්මන් රජය අසීමිත ප්‍රසංශාවට ලක් කෙරෙන ප්‍රශස්ති බඳු පිළිතුරු ලබා දීම බසයේ සිටින වියපත් මගීන් ගේ චරිත රඟපාන වියපත් “නළු නිළියන්” ලවා ඇමතිවරයාට සදෙව් ලෝක සැප ප්‍රාර්ථනා කිරීම,සෙත් පිරිත් සජ්ජායනා කරවීම වැනි තවත් අංග කිහිපයක් කල්තියා සකස් කෙරෙන ඒ නාට්‍ය පිටපතට එක් කර ගත හැක.

එහෙත්, ඒ කිසිවක් ගැන වගේ වගක් නොමැතිව සැබෑ මගීන් ගෙන් සැදුම් ලත් බසයකට “අමු අමුවේම’ නැඟී මෙම අලකලංචියට ලක් වූ ආචාර්ය ගොඩහේවා කොට ඇත්තේ හිරි වැටෙන්නට ඉන්ජෙක්ෂන් එකක් නොගසා යමකුගේ දත් ගලවන්නට යාම වැනි බෙල්ල ගහලා යන වැඩකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද දේශපාලනමය වශයෙන් පරිනත නායකයෙක් නොවේ. එහෙත්, ඔහු පසුගිය කාලයේ අප රටේ දුෂ්කර ප්‍රදේශවල ජනතාව හමු වූ ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහන්වලදී ඔහුට ලැබුණු උණුසුම් ජනතා ප්‍රතිචාර ආචාර්ය ගොඩහේවා ඇමතිවරයා ද මාධ්‍ය මගින් දකින්නට ඇත.

එහි දී ඒ දුෂ්කර ගම්මානවල නිරා දුක් විඳින ජනතාව නියෝජනය කරමින් ජනපතිවරයා හමුවේ ඉදිරිපත් කළ “සර්,අපේ ගමටත් බියුටි සැලොන් එකක් ඕනෑ” වැනි ජනතා ප්‍රශ්නවල සරල, සුන්දර, සුමට සුරතල් ස්වභාවය අනුව එහි පසුබිම කෙබඳු දැයි වියත් මඟ විද්වතකු වන අමාත්‍ය ගොඩහේවාට නොවැටහීම පුදුමයකි.

සමහර ඉන්ද්‍රජාලිකයන් අඩි දෙක තුනක් දිග කඩුවක් මිට පමණක් පිටතට පෙනෙන සේ තම මුව තුළට බහා ගන්නා අයුරු අපි දැක ඇත්තෙමු. එහෙත් මඳ වේලාවකින් රුධිරය ඇතුළු මිනිස් ශරීරයේ කිසිදු තරලයක් නොගෑවී ඔව්හු එය පිටතට ගනිති. අපගේ වැටහීම අනුව අප රටේ පක්ෂ විපක්ෂ දේශපාලන නායකයන් ගේ ඉන්ද්‍රජාලික ‘කඩු ගිලීම’ බලා සිට තමන් ද එය සජීවීව ඉදිරිපත් කරන්නට යාම ආචාර්ය ගොඩහේවා මුහුණ දුන් මේ අලකලංචියට හේතුව ය.

ඒ අනුව මෙරට ඇතැම් රාජ්‍ය නායකයන් ගේ වියපත් මව් වරුන් පියවරුන් වත්තම් කර ගැනීමේ සිට කුඩා දරුවන් වඩා ගැනීම තෙක් වන සකල විධ ජනතා ප්‍රසාදනීය අංගයන් කලින් සැලසුම්කොට සකස් කළ පිටපත් වලට සේම පෙර හුරු වලට අනුව සිදුවන ඒවා බව අමාත්‍ය ආචාර්ය ගොඩහේවා වැනි විද්වතකුට කියා දෙන්නට සිදුවීම අපට ද එක්තරා ලජ්ජාවකි.

මේ සම්බන්ධයෙන් වත්මන් දේශපාලනඥයන් අතුරින් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ලබා දුන් ආදර්ශය වත් අමාත්‍ය ආචාර්ය ගොඩහේවාට නොවැටහී තිබීම එක්තරා අන්දමකින් පුදුම සහගත ය.

වත්මන් මහ කන්නයේ වී වගා ප්‍රගතිය පිළිබඳ ගොවීන් ගෙන් විමසිය යුත්තේ ශ්‍රී ලංකාවේ වැඩිම වී වගා කෙරෙන අනුරාධපුර,පොලොන්නරුව, අම්පාර, කුරුණෑගල ආදී දිස්ත්‍රික්ක වලට ගොස් වුව ද ඔහු ඒ සඳහා තෝරා ගන්නේ කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, මිල්ලනිය ප්‍රදේශයයි.

මන්නාරම, හම්බන්තොට ආදී ශ්‍රී ලංකාවේ වියළි ප්‍රදේශ වලින් දරා ගත නොහැකි උණුසුමක් පිළිබඳව වාර්තා වන විට ඒ පිළිබඳ වැඩිදුර විමසීම පිණිස නුවරඑළියට ගොස් කරුණු විමසීමට සමාන එබඳු ක්‍රියා මහින්දානන්දඅළුත්ගමගේ වැනි අප රටේ දේශපාලන සංස්කෘතිය පිළිබඳ හසල දැනුමක් ඇති ප්‍රවීණයන් ගෙන් වත් ලබා ගැනීම තුළින් මින් මතුවට හෝ මෙලෙස වැරදි බස් වලට නොනැඟ හරි බසය තෝරා ගැනීමට අමාත්‍ය ආචාර්ය ගොඩහේවා වැන්නවුන්ට අවකාශ ලැබෙනු ඇත.

නමුත් ඒ කවරාකාර ඇස් බැන්දුම් කළත් නිසි කලට පෙළ ගැසෙන සැබෑ ජනතා බලය, ජවය, පන්නය හමුවේ හුදෙක් කාලීන යථාර්ථය ඉස්මතු වීම වළක්වා ගැනීමට ඔය කවර නම් ජගතකුට වුව නොහැකි බව ද අවසන් වශයෙන් ලියා තැබිය යුතුම ය.

දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර