‘මුස්ලිම් කාන්තාවන් පඩි පෙළක් මෙන් දරුවන් හැදිය යුතුය’ කියා ආගමික නියමයක් තිබේදැයි ගුරු වෘත්තියේ නියුතු මුස්ලිම් නොවන යෙහෙළියන් මගෙන් අසා තිබේ. එමෙන්ම
ඉස්ලාම් දහමට අනුව වැඩිපුර දරුවන් ලැබීම උතුම් දෙයක් බවත් අඩුවෙන් දරුවන් ලැබීම අයහපත් දෙයක් බවත් ගුරු ප්‍රජාවේම මුස්ලිම් නොවන ඇතැමුන් තුළ පවා මතයක් පවතින බව මම අද්දැකීමෙන් දනිමි. ඒ අනුව මුස්ලිම් ජාතිකයන් වැඩි වැඩියෙන් දරුවන් ලැබීම සහ හැදීම මත අප රටේ සෙසු ජාතීන්ට සාපේක්ෂව මුස්ලිම් ජනගහනයේ ශීඝ්‍ර ඉහළ යාමක් දක්නට ලැබෙන බවට ද සමහරු මත පළ කරති. එහෙත්, ශ්‍රී ලංකාවේ ජනගහනය පිළිබඳ නිල සංඛ්‍යා ලේඛන සහ දත්තයන් සපයන ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු මූලාශ්රයන් වල මුස්ලිම් ජනගහනයේ එබඳු කිසිදු විශේෂ වර්ධනයක් පෙන්නුම් නොකෙරෙන බව සහතික ය. එසේ සිදුවන්නේ නම් ඕනෑම කෙනකුට එම සංඛ්‍යා ලේඛන සහ දත්තයන් මුල් කොට විද්‍යාත්මක අනාවරණයක් කිරීමේ හැකියාවක් තිබේ. එසේ නොකොට සිදු කරන ඔවැනි ව්‍යාජ ප්‍රචාර අයත් වනුයේ ඕපාදූප ගණයට බව කණගාටුවෙන් යුතුව කිව යුතුව තිබේ. මුස්ලිම් අඹු සැමියන්ට හැකි තරම් දරුවන් බෝ කරන මෙන් ආගමික ඉගැන්වීමක් ඇතැයි පවසනුයේ එක පවුලකට එක් දරුවකු හෝ දෙදෙනකු සිටීම ප්රමාණවත්ය යන නවීන සමාජ විලාසිතාව අනුගමනය කරන්නවුන් බව ද පෙනෙයි.එමෙන්ම සමහරකු තම සමාජ ආර්ථිකයට ගැලපෙන අන්දමට පවුල සැළසුම් කරනවා ද විය හැක එහෙත්, ඉස්ලාම් ජාතිකයන්ට උපරිම ලෙස දරුවන් බෝ කිරීමට ආගමික නියමයක් පනවා ඇතැයි පැවසීම අපගේ ජාතික, ආගමික ද්රෂ්ටියට අනුව හුදු මනස්කාන්තයක් පමණි. එවැනි නියමයක්,අණ දීමක් තබා එවැන්නකට දිරි ගැන්වීමක් අනුබල දීමක් ඉස්ලාම් දහමේ කොතැනකවත් නැත. ඒ අනුව මුස්ලිම් නොවන ඇතැමුන් පවසන “මුස්ලිම් පිරිමියකු පිට කරන සෑම ශුක්‍රානු බින්දුවක්ම දරු උපතක් සඳහා ඉවහල් කර ගත යුතුය” යනුවෙන් ඉස්ලාම් මතයක් ඇතැයි පැවසීම සාමාන්‍ය සිහි නුවණක් ඇති අයකුට පවා පිළිගත නොහැකි ව්‍යාජයක් බව පළමුවෙන් කිව යු තු ය.ඊට හේතුව ජාතිය,ආගම කුමක් වුවත් පවුල් බර ඉහළ නැංවීම ජීවන ගමනට අපහසුවක් උදා කරන්නක් බැවිනි. මේ සම්බන්ධයෙන් සෑම මුස්ලිම් ජාතිකයකු තුළම නිසි වැටහීමක් අවබෝධයක් නොතිබෙන්නට පුළුවන. එවැනි දැනුම් අවබෝධයන් හිමි බොහෝ මුස්ලිම් ජාතිකයන්ට වුව සිංහල භාෂාව භාවිත කිරීමට ඇති නොහැකියාව මත ඒවා පොදු සමාජය වෙත ඉදිරිපත් කිරීමේ අපහසුවක් පවතී. එහෙත්, සිංහල මාධ්‍යයෙන් උසස් අධ්‍යාපනය ලැබ; උපාධි ලැබ කරුණු පිළිබඳ දැනුම් අවබෝධයන් සහිත පුරුෂ පක්ෂය වත් සමාජය පුරා පැතිර යන මෙවන් දුර්මත වල ඉස්ලාම් ආගමික පසුබිම පහදා දිය යුතුය.
ඉහත කරුණ සම්බන්ධයෙන් මූලිකවම කිව යුත්තේ දරු උපත් සීමා කර ගැනීම හෝ දරුවන් අතර පරතරයක් තබා ගැනීම සඳහා වන සුදුසු උපත් පාලන ක්‍රම වලට ඉස්ලාම් දහමින් නිර්දේශය ලැබී ඇති බවයි. පවුලක සිටිය යුතු දරුවන් ගේ සංඛ්‍යාව හෝ දරුවන් අතර පරතරය පිළිබඳ කිසිදු සඳහනක් ඉස්ලාමයේ නොදැක්වෙයි. එය එම අඹු සැමියන් ගේ ආර්ථික පසුබිම ,සමාජ පසුබිම සේම වයස, සෞඛ්‍ය තත්වය ආදී කරුණු මුල් කොට ඔවුන් විසින්ම තීරණය කළ යුත්තකි.
දරු උපත් වලකාලීම පිණිස ලොව පුරා බහුලවම භාවිතා වන ස්වභාවික උපත් පාලන ක්‍රමය වන්නේ පුරුෂ ශුක්‍රානුවකට ස්ත්‍රියක ගර්භය තුළ දී ස්ත්‍රිය ගේ ඩිම්බයක් හා මුසුවීමට ඉඩ නොදීම ය. එහි දී සිදුවන්නේ ලිංගික සංසර්ගයක උපරිම අවස්ථාවේ පුරුෂයාට ශුක්‍ර මෝචනය වීමට පෙර පුරුෂ ලිංගේන්ද්‍රය ස්ත්‍රී යෝනියෙන් ඉවත් කර ගැනීම ය. මා දන්නා තරමින් ලොව අන් කිසිම ආගමක අවධානයට ලක් කොට නොමැති මෙම ක්‍රමය ඉස්ලාමය මගින් අනුමත කොට ඇත. ඉස්ලාමයෙහි මෙම ක්‍රමය හඳුන්වා ඇත්තේ ‘අස්ල්’ යනුවෙනි. අරාබි බසින් එහි අරුත ද ‘ඉවත් කර ගැනීම’ යන්නය.
අල් කුරානයට අමතරව මහමද් නබි තුමන් ගේ දේශන සහිත ලේඛන ‘හදිස්’ යනුවෙන් හැඳින්වෙයි. බෞද්ධ අටුවාවන්ට සමාන මෙම හදීස් මහමද් නබී තුමන් ගේ අදහස් මුල් කොට පසුකාලීනව ලේඛන ගත වුව ද ඒවායින් ප්‍රධාන හයක් මූලික ඉස්ලාම් දහම හා සෘජුවම සම්බන්ධ වේ. ඒවා අතුරින් ලොව ඉස්ලාම් බහුතරය වන සුන්නි නිකායිකයන් පිළිගන්නා ෂාහිහි අල් බුහාරි යනු පර්සියානු භාෂා විශාරද මහමුද් අල් බුහාරි විසින් සම්පාදනය කළ හදීස් 7275 කින් යුතු සංග්‍රහයකි.එහි ද ලිංගික සංසර්ගයේ දී සිදු කෙරෙන මෙම ‘අස්ල්’ ක්‍රියාවට මහමද් නබී තුමන් ගේ නිර්දේශය ලැබුණු බව පැහැදිලිවම සඳහන් වෙයි. ඒ 5209 හදීසය මගිනි. එම හදීස් වලම දැක්වෙන අන්දමට ඒ සම්බන්ධ එක් කතා ප්‍රවෘත්තියක් මෙසේය.
එක්තරා මිනිසෙක් අල්ලාහ් ගේ දූතයා වන මහමුද් නබී තුමන් වෙත පැමිණ මෙසේ කීය. මට වහල් ස්ත්‍රියක සිටියි. ඇය මට උපස්ථාන කරන්නීය. මා ඇය සමඟ සංවාසයේ යෙදෙන මුත් ඇය ගැබ් ගනීදැයි මා තුළ බියක් තිබේ. එවිට ඒ සඳහා නබි තුමන් ගේ පිළිතුර වී ඇත්තේ “නුඹ කැමති නම් අස්ල් කරනු” යන්නය. (දැනුම්
දෙන්නා ජාබිර් රලි තුමා මූලාශ්‍රය මුස්ලිම් 2610) නමුදු මෙම මිනිසා සහ වහලිය අතර ඇත්තේ අනාචාර සම්බන්ධයක් ද නැතහොත් ඔවුන් දෙදෙනාම අවිවාහක ද යන්න පිළිබඳව එහි විස්තර නොකෙරේ. කෙසේ හෝ මෙහි දී නබි තුමන් සිදු කොට ඇත්තේ ඒ මිනිසා ගේ ප්‍රශ්නයට පිළිතුරු දීම මිස ඔහුට අමුතුවෙන් අවවාද කිරීමට යාම නොවේ. ඒ අනුව
ඉස්ලාම් දහම අවස්ථානෝචිතව කෙතරම් සහනශීලී ද යන්න වටහා ගන්නට අපට හැකියාව ලැබේ.
මේ සම්බන්ධයෙන් තවත් කදිම ඉස්ලාමීය විවරණයක් අබු සයිද් අල් කුදරි තුමා වාර්තා කළ බුහාරි 2542 හදීසියේ තිබේ. එහි නබී තුමන් අස්ල් කිරීම් සම්බන්ධයෙන් දක්වා ඇත්තේ කදිම විවරණයකි. එනම් “(අවසන් විනිශ්චය) තෙක් බිහි විය යුතු සෑම ජීවියකුම අනිවාර්ය වශයෙන් බිහිවන බැවින් නුඹලාගේ අස්ල් කිරීම ඊට අදාල නොවේ” යන්න ය. නමුදු මෙහිදී මහමුද් තුමා සිදු කොට ඇත්තේ අස්ල් ක්‍රියාව නිර්දේශ කිරීමක් මිස ඊට අනුමැතිය දීමක් නොවන බව නැවතත් කිව යුතුම ය.නිර්දේශය යනු “ඒකට කමක් නැහැ “කීමක් වන අතර අනුමැතිය යනු”ඒක හොඳයි,කරපන්”කියා කීමකි.
මේ සියලු තත්වයන් යටතේ ගබ්සා කිරීම වැනි ඉස්ලාම් දහමට සපුරාම එරෙහි දරුණු ක්‍රියා හැරුණු කොට දැනට භාවිතයේ පවතින කොන්ඩම් වැනි ආරක්ෂාකාරී සාමාන්‍ය උපත් පාලන ක්‍රම අනුගමනය කොට තම පවුල සැලසුම් කර ගැනීමේ ආගමානුකූල හිමිකම මුස්ලිම් ජාතිකයන් සතු බව අවසන් වශයෙන් කිව යුතු ය.
ෆාතිමා හලල්දීන්