මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

jalagatuma

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම මත අර්බුදකාරී තත්වයක් පැන නැඟී තිබේ. ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය විපක්ෂ දේශපාලනඥයන් විදුලි, වාරි, කෘෂි සහ කෘෂි ආර්ථික යන විෂයන්ට සම්බන්ධ විද්වතුන් සහ එම ප්‍රදේශවල ගොවි ජනතාව දක්වන අදහස් වල සමානතා සේම අනේක විධ පරස්පරතා ද දක්නට පුළුවන. වර්ෂාව නොලැබීම සේම පවත්නා නියඟය මත ගංගා ඇළ දොළ වැව් පොකුණු ආදියේ සේම කෙත් වතු වල ඇති ජලය වාෂ්ප වීමේ ශීඝ්‍රතාව සේම එම දියවර කෙත් වතු කරා ගෙන යාමේ දී ජල සම්පත ක්ෂය වීමේ සම්භාවිතාව ආදිය සළකා බලන විට සමනල වැව ජලාශයේ දියවර උඩවලවේ ජලාශය ඔස්සේ වයඹ කලාපයේ කුඹුරු වලට සැපයීමේ දී ඉන් ලැබෙන ප්‍රතිඵල සම්බන්ධ නිවැරදි විශ්ලේෂණයක් වත්මන් සමාජය හමුවේ තිබේද? යන්න සැකයකි. අපගේ වැටහීම අනුව එසේ ජලාශ වලින් හැරෙන දියවර අනේක විධ හේතුන් මත එලෙසින්ම ගොවි බිම් වෙත නොලැබේ.

අතීත ශ්‍රී ලාංකේය ජන සමාජයේ දියාළුවා නමින් හැඳින්වෙන ජල කාර්මිකයෙක් විය.ඔහුගේ වෘත්තිය වූයේ ගංගා ඇල දොළ ආදී ජල මූලාශවලින් කෙත්වතු දක්වා ජලය සැපයීම ය.
බුද්දක නිකායේ ථේර ගාථාවන් හි සඳහන් උදකං හි නයන්ති නෙත්තිකා(දියාළුවෝ තමන් කැමති තැනකට ජලය ගෙන යති) යන සඳහන ඒ සඳහා වන සරල නිදසුනකි. තමන් මේ වන විට රට පුරා ගම් මට්ටමේ එවන් ජල කළමණාකරණ යාන්ත්‍රණයක් තිබේද? යන්න ද වෙනම විමැසිය යුත්තකි.

තමන් ඉහත සඳහන් ජල කළමණාකරණ ගැටළුව විසඳීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් අදාළ ක්ෂේත්‍ර වලට සම්බන්ධ විද්වතුන් ගෙන් සේම එම ප්‍රදේශවල ගොවි ජනතාව අතිශය නිවැරදි ලෙස කටයුතු කරන ලද්දේ ද යන සැකය අප තුළ පවතී. උඩ වලවේ ජලාශයෙන් ලැබුණු දියවර නිසි කාලවේලාවට කෘෂිකර්මය සඳහා යොදවා නොගැනීම සහ මේ වන විට පවත්නා අධික උෂ්ණත්වය මුල් කොට ජලාශවල ජලය වාෂ්පීකරණයට ලක්වීමේ වැඩි සම්භාවිතාව මෙම ජල අර්බුදයට යම් පමණකින් හෝ හේතු වූ බව අපගේ වැටහීම ය.
ඒ කෙසේ වුව මෙවන් ජල කළමණාකරණ ගැටළු වර්තමානයට හෝ ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ ඒවා නොවේ. මිනිස් ශිෂ්ටාචාරය ඇරඹුමේ සිට මෙවන් ජල කළමණාකරණය මුල් කොට ගත් ගැටළු අර්බුද අති විශාල සංඛ්‍යාවක් නිර්මාණය වී තිබේ.බුද්දක නිකායේ ධම්මපදට්ඨ කතාවේ එන රෝහිණී නදියේ ජලය බෙදා ගැනීම මුල් කොට ශාක්‍ය කෝලිය රජවරුන් අතර ඇතිවීමට ගිය බිහිසුණු යුද්ධය ඒ සඳහා කදිම නිදසුනකි. එය වර්තමාන උඩවලවේ ජල කළමණාකරණ ගැටළුව හා සැසඳීම පසෙක තිබිය දී කාලානුරූපී වශයෙන් වැදගත් බවක් පළ කරන එම වැදගත් ධර්ම ඛාණ්ඩය මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු.

බුද්ධ කාලීන ශාක්‍ය සහ කෝලිය ජනපද දෙක මැදින් ගලාගිය රෝහිණී නදියේ දියවර එකම වේල්ලකින් ශාක්‍ය කෝලිය ජනපද වාසීන් දෙපිරිසම සමසේ ප්‍රයෝජනයට ගත්හ. එහෙත්, එක්තරා පොසොන් මාසයක එළැඹි දරුණු නියඟයක් හමුවේ රෝහිණී නදියේ ජලය හීන වූ අතර නදියේ එක් පසෙක සිටි කෝලිය ජනපද වැසියන් දැනට නදියෙන් ලැබෙන සීමිත ජලය ජනපද දෙකේම බෝග අස්වැද්දීමට ප්‍රමාණවත් නොවීය. එබැවින් ඒ දියවර තමන්ට පමණක් ලබා දෙන ලෙස ශාක්‍ය ජනපදිකයන් ගෙන් ඉල්ලා සිටියහ. එහෙත්,ශාක්‍ය ජනපදිකයන් ඊට කෙසේවත් එකඟ නොවූ අතර ඔව්හු “එසේ නම් ඔබ පවසන්නේ ඔබ ඒ දියවරෙන් අටුකොටු පුරවා ගත් පසු අපට ඔබගේ නිවෙස් ඉදිරියට විත් යමක් ඉල්ලීමට ද?”
යනුවෙන් කෝලිය ජනපදිකයන්ට චෝදනා නඟා සිටියහ.ඒ “අස්වැන්න ලැබුණම අපි මොනවා හරි කරන්නම්” වැනි යෝජනාවක් කෝලිය ජනපදිකයන් ගෙන් ශාක්‍ය ජනපදිකයන් වෙත යොමු වූ නිසා ද විය හැක. මෙබඳු සාකච්ඡා ගිවිසුම් අසාර්ථක වීම් අද ද එලෙසින්ම දක්නට ලැබේ.

කෙසේ හෝ ඉන් ශාක්‍ය සහ කෝලිය ජනපදිකයන් අතර හට ගත් නොමනාපය පසුව ඔවුන් ගේ ජාති, ජන්ම, රාජ වංශ මුල් කොට ගත් ආඩපාලි කීම් දක්වා දුරදිග නැංවිණි. සාමාන්‍යයෙන් මිනිස් සමාජයේ හට ගන්නා ගැටුම් අර්බුද වර්ධනය වීමේ දී ඊට අදාල මුල් නිමිත්ත යටපත් වී ඊට වඩා ප්‍රබල දෙවන, තුන්වන නිමිති මතු වීම සාමාන්‍ය තත්වයකි. මෙබඳු ගැටුම් අර්බුද ලැව් ගින්නක් මෙන් පැතිර යාමට මෙය හේතු වෙයි. මෙය අදට ද එක සේ වලංගු තත්වයකි.
මෙහිදී සුනඛයන් සහ සිවලුන් මෙන් තමන්ගේ සොයුරියන් පවා සහවාසයට ගන්නා තොපගේ ඇත් අස් කඩු පලිහ වලින් අපට කළ හැක්කේ කුමක්ද? යනුවෙන් කෝලිය ජනපදිකයෝ ශාක්‍ය ජනපදිකයන්ට නින්දා කළහ. එවිට ශාක්‍ය ජනපදිකයන් ද කෝලිය ජනපදිකයන්ට නින්දා කළෝ ජාතියක් ජන්මයක් නොමැති කොලොන් ගස් යට ජීවත් වූ තොපගේ ඇත්, අස්,කඩු, පළිහ ආදියට තමන් බය නොවන බවක් පවසමිනි.
ඉහත සඳහන් අවලාද සම්බන්ධ සත්‍යාසත්‍යතාව ත්‍රිපිටක හෝ වෙනයම් සාහිත්‍ය මූලාශ්‍රයකින් අනාවරණය කර ගත නොහැක. ඇතැම් විට මේවා සිංහල ජාතිය සිංහයකුගෙන් පැවත එන බවට පැවත එන පුරාණෝක්තිය මෙන් හුදු පුරාණෝක්තිම විය යුතු ය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අපට කීමට ඇත්තේ ඒවා හුදෙක් ද්වේෂ සහගත “මඩ ගැසීම්” බවය. මේවා අද ද මේ අයුරින්ම සිදුවනු පෙනේ.
පසුව ශාක්‍ය කෝලිය ජනපදිකයන් අතර පැවැති මෙම කලහය ගම් මට්ටමින් රාජ්‍ය මට්ටම දක්වා ව්‍යාප්ත වූයේ ශාක්‍ය කෝලිය ජනපදිකයන් අතර සිවිල් අරගලයක් ඇති වීමේ අවදානමක් පවතින බවට ශාක්‍ය කෝලිය රජ වරුන්ට තොරතුරු වාර්තා වීමෙනි. ඒ අනුව ඔව්හු ඒ ගැටළුව විසඳා ගැනීම පිණිස එකි’නෙකාට එරෙහිව යුද ප්‍රකාශ කළහ.
නමුදු ශාක්‍ය කෝලිය වංශිකයන් අතර හටගන්නා යුද්ධය මහා විනාශයකට මුල වන බවක් දෙව්රම් වෙහෙරේ වැඩ සිටි බුදුන් වහන්සේට පෙනිණ. ඒ අනුව වහා එහි වැඩම කළ උන් වහන්සේ ශාක්‍ය කෝලිය ජනපද දෙක මැදින් ගලායන රෝහිණී නදිය මත්තෙහි පළක් බැඳ වැඩ උන්හ. බුදුන් වහන්සේ දුටු සැනින් ශාක්‍ය සේනාව හනික ආයුධ බිම හෙළා උන්වහන්සේට නමස්කාර කර සිටියේ උන් වහන්සේ තම වංශයේ ප්‍රධානියකු ව ද සිටි බැවිනි.යම් යම් යුද ගැටුම් වල දී ඒවාට සම්බන්ධ පාර්ශවයන් අවි බිම හෙලීම වර්තමානයට පමණක් සීමා වී නොමැති බව ඒ අනුව පෙනෙයි.

අනතුරුව බුදුන් වහන්සේ ඒ යුද්ධයට පදනම් වන මුල් නිමිත්ත කුමක් දැයි ඒ රජවරුන් ගෙන් විමසා සිටියහ. එහෙත් ඔවුහු එය හරි හැටි නොදැන සිටියහ. ඒ අනුව ඔවුන් දෙපාර්ශවයම යුද ප්‍රකාශ කොට ඇත්තේ කාලීන තත්වයන් මත පදනම් ව බව පෙනෙයි.යමක මුල් හේතුව නොදැන කාලීන තත්වයන් පදනම් කර ගනිමින් ගැටුම් ඇතිකර ගැනීම වර්තමානයේ ද බහුව දක්නට ලැබෙන්නකි.එහෙත් බුදු දහම නිතියෙන් අවධාරණය කරනුයේ හේතුවට මිස ඵලයට විසඳුම් නොසෙවිය යුතු බවකි.
පසුව එම යුද්ධයට පදනම් වන මුල් නිමිත්ත යුද රජ වරුන්, සේනාධිපතින් සෙනෙවිවරුන් ආදින් ගෙන් පමණ එය ජල කළමණාකරණය මත පදනම් වූවක් බව දැන ගත් බුදුන් වහන්සේ ඒ සම්බන්ධයෙන් ශාක්‍ය කෝලිය රජ වරුන් ගෙන් මෙබඳු විමසුමක් කළහ.

බුදුන් වහන්සේ; ජලය කොපමණ වටීද?

රජවරුන්; ජලයේ සුළු වටිනාකමක් තිබේ. ස්වාමිනී

බුදුන් වහන්සේ ; රජවරු කොපමණ වටීද?

රජවරු; රජවරුන්ගේ වටිනාකම කිව නෙහැක ස්වාමිනී

බුදුන් වහන්සේ ; එසේ නම් සුළු වටිනාකමක් දෙයක් ඇති දෙයක් වෙනුවෙන් විශාල වටිනාකමක් ඇති දෙයක් වැය කරන්නේ ඇයි?ඉන් සිදුවනුයේ දෙපිරිසටම ජලය අහිමි කරවන මහා විනාශයක් නොවෙද?

මෙහිදී බුදුන් වහන්සේ ජලය සුළු වටිනාකමකින් යුතු දෙයකැයි ප්‍රකාශ කොට නොමැත. එය රජවරුන් ගේ ප්‍රකාශයක් බවත් සුවිශේෂයෙන් සඳහන් කළ යුතු අතර බුදුන් වහන්සේ සැම විටම ජන සම්මතය පදනම් කර ගනිමින් ධර්ම සන්නිවේදන කටයුතු මෙහෙය වූ බවත් මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

සැබැවින්ම මිනිස් සමාජයේ හටගන්නා ගැටුම් අර්බුද වලට මූලෝත්පාදක හේතුව අදාළ නිමිත්ත ම නොව එය පාදක කර ගෙන මිනිස් චිත්ත සන්තාපයේ හට ගන්නා කෙලෙස් බව ඒ සම්බන්ධ බෞද්ධ ආකල්පයයි. ඒ බව එම ශාක්‍ය කෝලිය යුද්ධය සමාදාන කරමින් බුදුන් වහන්සේ දේශනා කළ මෙම ගාථා පාඨයෙන් පැහැදිලි වේ.

සුසුඛං වත ජීවාම, වෙරිනෙසු අවෙරිනො,
වෙරිනෙසු මනුස්සෙසු, විහරාම අවෙරිනො.
සුසුඛං වත ජීවාම, ආතුරෙසු අනාතුරා;
ආතුරෙසු මනුස්සෙසු, විහරාම අනාතුරා.
සුසුඛං වත ජීවාම, උස්සුකෙසු අනුස්සුකා;
උස්සුකෙසු මනුස්සෙසු, විහරාම අනුස්සුකා”ති.

එම සරල සිංහල අරුත මෙලෙසිනි.

“වෛරීන් අතර අවෛරීව සුවසේ ජීවත් වෙමු. වෛරී මිනිසුන් අතර අවෛරීව වාසය කරමු. ආතුර වු මිනිසුන් අතර අනාතුරව සුවසේ ජීවත් වෙමු  කෙලෙසුන් සෙවීමට උනන්දුවන මිනිසුන් අතර පස්කම් නො සොයන අය ලෙසම වාසය කරමු”.

එහි සුසුඛ නම් යහපත් හෙවත් මනා සුවයයි.මෙය බොහෝ දනකුගේ අවධානයට යොමු නොවන වැදගත් අදහසකි.
දිනෙන් දින තෘෂ්ණා භරිත වන වර්තමාන සමාජය ඒ තුළින් ඇති කර ගන්නා ගැටළු අර්බුද දෙස ද්වේෂ පරවශව අවිචාරවත්ව බැලීම මත එම ගැටළු අර්බුද ලැව් ගිනි සේ පතුරුවා ගන්නා බව කිව යුතු ය. මේ සඳහා වර්තමාන සමාජ, ආර්ථික, දේශපාලන ආදී බලයන් අවිචාරවත් ලෙස යෙදවෙන බලපෑම් ද ඇති බව ඇලීම් ගැටීම් වලින් තොරව නිදහස් මනැසකින් ඒවා දෙස බැලීමේ දී මනාව පෙනී යයි.

ලෝ දහම නමින් හැඳින්වෙන ලෝක ධර්මතාවයන් අනුව සත්වයා හමුවට එළැඹෙන අනේක විධ අයහපත් තත්වයන් හමුවේ හැඟීම් ආවේග පුබුදුවා ගනිමින් අවිචාරවත් ලෙස කටයුතු කිරීම බුදු දහමින් කෙසේවත් අනුමත නොවේ.එමෙන්ම එම ගැටලු හමුවේ පසුබා සිටීම ද බුදු දහමින් අනුමත නොවේ. බුදුන් වහන්සේ වදාරා ඇති අන්දමට ලොව පවත්නා සියළු ගැටළු කම්කටොළු අර්බුද සමනය කර ගැනීම පිණිස පිහිටුවා ගත් සිහිය (උපට්ඨිත සති) බෙහෙවින් උපකාරී වෙයි. බුදු දහමේ සඳහන් අන්දමට එය එදිනෙදා ජීවිතයට එක් කර ගැනීමෙන් ” සුසුඛ”නමින් හැඳින්වෙන සැබෑ සැනසුම හා සංහිදියාව නොමඳවම හිමි වනු ඇත.නමුත් යමක යථා තතත්වය අවබෝධ කර නොගෙන ඇති කර ගන්නා සිහි මුලාව (මුට්ඨ සති) ඒ සියළු හිමිකම් අහිමි කරවයි. අද වන විට අප සමාජයේ ගිහියන් සේම පැවිදි බහුතරය ද ඒ අවාසානාවන්ත තත්වයට ගොදුරු වී ඇති බව සංවේගයෙන් යුතුව පැවසිය යුතු ය.

කදුරුපොකුණේ සුමංගල හිමි

 

පහන් ටැඹ