මෙන්න පිළිගන්න ජාතියේ අලුත්ම ගැලවුම් කාරයා නන්දලාල්

පාපයේ ගැලී අන්ත අසරණ පීඩිත තත්වයට පත් මිනිසුන් ඉන් මුදා ගැනීම පිණිස පහළ වන දිව්‍යමය විමුක්ති දායකයකු,ගැලවුම් කාරයකු මිනිසත් ස්වරූපයෙන් මෙලොවට පැමිණෙන බවට ආගමික විශ්වාසයක් තිබේ.

එහෙත්,එය හුදු ආගමික මතවාදයක් පමණි.ඒ හැරුණු කොට සමාජය මුහුණ දෙන සමාජ ආර්ථික,දෙශපාලන අර්බුදයක් විසඳීම පිණිස පැමිණෙන එබඳු ගැලවුම් කාරයකු පිළිබඳ ජන විශ්වාසයක් ඇති බවක් පෙනෙන්නට නැත.එහෙත්, අද වන විට අප සමාජය ආර්ථිකමය වශයෙන් කෙතරම් දරුණු අගාධයකට ඇද වැටී ඇත්දැයි කිව හොත් රට ගලවා ගන්නා එබඳු ආර්ථිකමය ගැලවුම් කාරයකු සමාජය හමුවේ ප්‍රාදූර්භූත වී ඇතැයි පිරිසක් සිතති.

ඔහු ශ්‍රී ලංකා මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිව සිට විශ්‍රාම ගිය ආචාර්ය නන්දලාල් වීරසිංහ ය. වරින් වර ඉස්මතු වූ ආර්ථික අර්බුදය අතිශය උත්සන්න වී ජනතාව මහ මඟට බසින තුරු නිහඩව සිටි ආණ්ඩුව නින්දෙන් අවදිවූවා සේ දැන් තීණ්දු තීරණ ගැනීමට පෙළඹී සිටියි. එහි එක් පියවරක් වූයේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම ය.

ඉන් පසු මහ බැංකු අධිපති අජිත් නිවාඩු කබ්‍රාල් ද ඉල්ලා අස් විය. ඉන් නොනැවතුණු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිව සිට විශ්‍රාම ගිය ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ධූරයට පත් කොට තිබේ..

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ධූරයට පත් වීමත් සමඟ ජනතා නැගිටීම හමුවේ කරබාගෙන සිටි පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී සමාජිකයන් හා රාජපක්ෂ හිතවාදීහු අළු ගසා නැගිට සිටිති. ඒ නන්දලාල් වීරසිංහ මේ වන විට රාජපක්ෂ හිතවාදීන්ගේ හා පොහොට්ටු සාමාජිකයන්ගේ එකම ගැලවුම් කාරයා වී ඇති බැවිනි. ඒම නිසා ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ නන්දලාල් වීරසිංහ ගැන “කවි ගී ලියන්නට” පටන් ගෙන තිබේ.

නන්දලාල් වීරසිංහ මහ බැංකුවේ සිටි අති දක්ෂ නිලධාරියෙකු බව කියන්නේ මේ රාජපක්ෂ හිතවාදීන්ම ය එසේම 2012 වසරේ ඉන්දියාවේ ආර්ථික අර්බුදය විසඳීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තෝරාගත් පුද්ගලයා ආචාර්ය නන්දලාල් වීරසිංහ බව ද ඔව්හු කියති. ඔහු ඕස්ට්‍රේලියාවේ සිට පැමිණියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාව මත බව ද කියති.

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යාංශය භාරගන්නා විට ද මෙම පිරිස කීවේ මෙවැනිම කතා ය. ඔහු ඇමතිධූරය බාරගෙන මාස කිහිපයක් තුළ රට සුඛිත මුදිත වනු ඇති බව ආණ්ඩු පක්ෂ ප්‍රබලයෝ පාර්ලිමේන්තුවේදී;මාධ්‍ය සාකච්ඡා වල දී පවා කීහ. ඔහුට එක මොළ‍යක් නොව මොළ හතක්ම තිබෙන බවත් කීහ.. නමුත් අවසානයේ ඔහු අසාර්ථක දුර්වලම මුදල් ඇමති බවට ඉතිහාස පොතට එකතු වූයේ මොළ හතේ මහිමය පෑම කෙසේ වෙතත් ගැමි වහරට අනුව කිවහොත් “හත් පොළේ ගා ගනිමිනි”

මහ බැංකු අධිපති ධූරයට අජිත් නිවාඩ් කබ්‍රාල් පත්වන විට ද යම් පිරිසක් මෙවැනිම අදහසක සිටියහ. ඔහු පත්වන කාලයේ ආර්ථික අර්බුදය මෙතරම් උග්‍ර නොවුව ද ඔහුගේ පැමිණීමෙන් පසු අර්බුදය වට ගණනාවකින් තීව්‍ර විය. ඔහු අධිපති ධූරයට පත්වන විට මෙරට ඩොලර් සංචිතය බිලියන හතර ඉක්මවා තිබුණි. ඔහු යන විට එය ඩොලර් බිලියනයටත් වඩා පහළ බැස ගොසිනි.අද වන විට කබ්‍රාල් ගේ විදේශ ගමන් පවා අධිකරණය මඟින් අත්හිටුවා තිබේ.

නන්දලාල් වීරසිංහ ගැන පොහොට්ටු ප්‍රජාව ප්‍රශස්ති ගැයුව ද ඔහු කියා සිටින්නේ ආර්ථිකය නඟා සිටුවීමට පෙර පහළට කඩාගෙන යන ආර්ථිකය නම් වාහනය තිරිංග තද කොට බැරි නම් “අඩ කොට තබා හෝ” නවතා ගත යුතු බව ය. එසේ නොවුණහොත් වේගයෙන් පහලට යන ආර්ථිකය යම් තැනක දී හැපී කුඩු පට්ටම් ව විනාශ විය හැකි බව ද ඔහු කියයි. එම නිසා දේශපාලඥනයන්ට ඉදිරියේ දී බරපතල තීන්දු ගැනීමට සිදුවුනු ඇති බවත් එ වෙනුවෙන් කැපවීමට ජනතාව සුදානම් විය යුතු බවත් ඔහු කියා සිටියි.

මෙයින් පැහැදිලි වන්නේ නන්දලාල් වීරසිංහ තුළ ද යම් යම් උපාය මාර්ග මිස ක්ෂණික විසඳුම් නැති බවකි. ඔහු පැමිණි විගස පොලී අනුපාත ඉහළ දැමුවේය. එයින් බැංකුවල රත්‍රං භාණ්ඩ උගස් කළ අය විශාල අර්බුදයකට මුහුණ දී සිටිති.. ඔහු කළ යුතුව තිබුණේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට අය කරන බදු ඉහළ දැමීම ය. මන්ද මේ ආණ්ඩුව පැමිණි විගස මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට අසීමිත බදු සහන දී තිබූ බැවිනි.

කෙසේ නමුත් නන්දලාල් වීරසිංහ නියෝජ්‍ය අධිපතිධූරය දැරු අවධියේ (2015 ට පෙර) මහබැංකු අධිපති ධූරය දැරුවේ කබ්‍රාල්ය. මහ බැංකුවේ කබ්‍රාල්ගේ හොඳම “ගෝලයා” වී සිටියේ නන්දලාල් වීරසිංහ ය. එදා කබ්‍රාල් ගත් වැරදී තීන්දු තීරණ සාධාරණය කරනු ලැබුවේ නන්දලාල් වීරසිංහ විසිනි. නමුත් ඔහු මහබැංකු අධිපති ධූරය බාරගත් පසු පැවැති මාධ්‍ය හමුවේ දි අතීතය දැඩිව විවේචනය කළේ ය.එහෙත්. එම අතීතය මතකයෙන් පිස දා ගන්නා පොහොට්ටු ප්‍රජාව නන්දලාල් වීරසිංහ නැවුම් මනැසකින් යුතු අයෙකැයි සිතා තුටු පහටු වෙති.

මහ බැංකු අධිපති පදවියට පත් නන්දලාල් වීරසිංහ රජයෙන් ඉල්ලීම් ගණනාවක් ද ඉදිරිපත් කළේය.සියල්ලට පළමු රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති විය යුතු බව කීවේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන තාක් මිත්‍ර රටවලින් උපකාර ගත යුතු බව කීවේය. ඔහු කියු සියල්ල ඊට පෙර රනිල් වික්‍රමසිංහ ද කියා තිබුණි. නන්දලාල් වීරසිංහ මේ කියූ කාරණාව සත්‍යයකි. පොහොට්ටු පාක්ෂිකයෝ ඔහු ඉක්මණින් අයි.එම්.එෆ් ණය ඉල්ලා ගනු ඇතැයි ඇතැයි සිතුව ද නන්දලාල් වීරසිංහම කියනුයේ එය ඉක්මණින් කළ හැකි එකක් නොවන බවය.

නව මහ බැංකු අධිපතිවරයා එලෙස කටයුතු කරන්නේ නම් අප ඉතාම කැමැති ය.වචනයෙන් හෝ ඔහුට සහාය දීමට දෙවරක් නොසිතමු.නමුත් ඔහු පැමිණ ස්වල්ප කාලයක් නිසා ඔහුගේ වැඩපිළිවෙල ගැන දැන්ම පුරෝකතනය කිරීමට නොහැකි ය. අප පතන්නේ ද ඔහුට ඉක්මණින්ම මේ ගැටළුව විසඳීමට හැකිවේවා යන්න ය.

බැසිල් රාජපක්ෂ, නිවාඩ් කබ්‍රාල්, හිටපු ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර ආදීන්ගේ ප්‍රකාශයන්ට වඩා නන්දලාල් වීරසිංහගේ ප්‍රකාශයන් තුළ යම් විශ්වසනීයත්වයක් ගැබ් ඇති බවක් පෙනේ.එසේ වුවද “මෙන්න පිළිගන්න ජාතියේ අලුත්ම ගැලවුම් කාරයා නන්දලාල්” කියා පොහොට්ටු ප්‍රජාව හඬ නඟන විට එදෙස උපේක්ෂා සහගතව බලා සිටිනු විනා ඊට හුරේ තැබීමට අවකාශයක් තවමත් අප සතුව නැත.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර