මෙවර ලෝක කුසලානය දිනන්න වැඩි ඉඩක් ඇත්තේ කවුද?

ඔක්තෝබර් මස 5 වැනි දින ආරම්භ වීමට නියමිතව ඇති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාව පසුගිය දා සුදුසුකම් ලබා ගැනීම මෙරට ක්‍රිකට් ලෝලීන් තුළ විශාල සතුටක් ඇති කළ කාරණයක් විය. සිම්බාබ්වේ හි පැවැති මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකා පිල ඉතා හොඳින් දස්කම් දැක් වූ නිසා ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට අපට හැකි වී ඇති ආකාරයක් පෙනේ.

මෙම සටහන ලියන ජුලි 4 වැනි දින වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ තරග සියල්ලෙන්ම විශිෂ්ට ආකාරයෙන් ජය ලැබීමට ඔවුන්ට හැකිව තිබිණි. නමුත් ලෝක කුසලාන තරගාවලිය මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියට වඩා හාත්පසින්ම වෙනස් ‘වෙනම කතාවක්’ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහි දී ජයග්‍රහණ අත් කර ගැනීමට නම් තම දක්‍ෂතා තව දුරටත් මුවහත් කර ගනිමින් දැඩි අධිෂ්ඨානයෙන් සහ විශ්වාසයෙන් යුතුව ක්‍රීඩා කිරීමට සිදු වනු ඇත.

මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලෝක කුසලාන තරගාවලියේ තරග කාල සටහන ප්‍රකාශයට පත්කර තිබේ. පළමු තරගය පැවැත්වෙන්නේ එංගලන්තය සහ නවසීලන්තය අතරයි. මේ වනවිට ලෝක ශූරයන් ලෙස වැජඹෙන්නේ එංගලන්තය යි. පසුගිය ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණේ ද එංගලන්තය සහ නවසීලන්තය අතර ය. එම අවසන් තරගය පහසුවෙන් අමතක නොවන තරගයක් වූ බව රහසක් නොවේ. නියමිත පන්දු ඕවර 50 තුළ දෙපිලම ලකුණු 241 බැගින් ලබා ගත්හ. ඉන්පසු ලබා දුන් සුපිරි ඕවරවලදී ද ඔවුහු ලකුණු 15 බැගින් රැස් කළෝය. අවසානයේ එංගලන්තයට ශූරතාව ලබා දුන්නේ ඔවුන් හතරේ සහ හයේ පහර වැඩි සංඛ්‍යාවක් එල්ල කර තිබූ නිසා ය.

සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව පළමු තැනට පත් වීම මේ වනවිට ස්ථිර ය. ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේ දී ඔවුන් සහභාගි වන පළමු තරගය පැවැත්වෙනු ඇත්තේ ඔක්තෝබර් 6, එනම් තරගාවලියේ දෙවැනි දින යි. ඒ පාකිස්තානය සමග ය. පාකිස්තානය මේ වනවිට ඉතා හොඳින් දස්කම් දක්වමින් සිටින කණ්ඩායමකි. ඔවුන් පරාජය කිරීම ශ්‍රී ලංකා පිලට විශාල අභියෝගාත්මක කටයුත්තක් වනු ඇති බව නිසැක ය.

තරගාවලියේ අවසන් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 19 වැනි දින යි. ඒ අහ්මදාබාද් හි නරේන්‍ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී ය.

මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේ නිසා ඉන්දියාව ලෝක ශූරතාව දිනා ගැනීමට වැඩි ඉඩක් ඇති බවට අදහස් පළ වෙමින් තිබේ. ඔවුන් මේ වනවිට දෙවතාවක් ලෝක කුසලානය දිනාගෙන ඇත. ඒ 1983 සහ 2011 වසරවල ය. 1983 වසරේ කපිල් දේව් නායකත්වය දැරූ අතර 2011 වසරේ නායකත්වය දැරුවේ මහේන්‍ද්‍ර සිං දෝනි ය.

1983 ඉන්දියාව ලෝක කුසලානය දිනාගැනීමේ කතාව පසුබිම් කරගනිමින් බොලිවුඩ් සිනමාපටයක් පවා නිර්මාණය විය. ‘83’ නම් වූ එම සිනමාපටයේ කපිල් දේව්ගේ චරිතය නිරූපනය කළේ ජනප්‍රිය නළු රන්වීර් සිං ය.

2011 වසරේ අවසන් මහා තරගය පැවැත්වුණේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරයි. සුපිරි ක්‍රීඩක සචින් තෙන්දුල්කාර් සහභාගි වූ අවසන් ලෝක කුසලාන තරගාවලිය එය වූ නිසා මෙම තරගාවලියට අමතර විශේෂත්වයක් එක් විය. එවර ලෝක ශූරතාව දිනාගනිමින් ඉන්දියාව තම මව් රටේ දී ලෝක කුසලානය දිනාගත් පළමු රට බවට ද පත් විය.

මෙවර තරගාවලිය විරාත් කෝලිගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය වනු ඇත් ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට යම් කතාබහක් තිබේ. ඒ ඔහුගේ වයස අවුරුදු 34 ක් වන නිසාය. නමුත් ක්‍රිකට් විශාරදයන් බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ ඔහු මීළඟ ලෝක කුසලාන තරගාවලියට ද ක්‍රීඩා කරනු ඇති බවයි. නමුත් කෝලිගේ පිතිකරණය පසුගිය කාලයේ තරමක පසුබෑමකට ලක්ව තිබිණි. මීළඟ තරගාවලිය වනවිට ඔහුගේ වයස ද අවුරුදු 38 ක් වනු ඇත. මෙම කාරණා නිසා කෝලි 2027 තරගාවලියට ක්‍රීඩා කිරීමට වරම් ලබනු ඇත් ද යන්න ගැන ඇතැමුන් තුළ ඇත්තේ සැකයකි.

මෙම තත්ත්වය තුළ ඔහුට උපහාරයක් ලෙස මෙවර තරගාවලිය ජයග්‍රහණය කර කුසලානය දිනා ගැනීමට ඉන්දීය පිල උපරිමයෙන් උත්සාහ කළ යුතු බවක් පසුගිය දා විරේන්දර් ෂේවාග් පවසා තිබිණි. 2011 වසරේ ලෝක කුසලානය දිනාගත් අවස්ථාවේ ද ඉන්දීය පිල සඳහන් කළේ සචින් තෙන්දුල්කාර්ට උපහාරයක් ලෙස තමුන් තරගාවලිය ජය ගැනීමට කැප වුණු බවයි.

කෙසේ වෙතත් පාකිස්තානය ද මෙවර තරගාවලිය ජයගැනීමට වඩාත්ම ඉඩ ඇති කණ්ඩායම් අතර ඉහළින්ම සිටින කණ්ඩායමකි. ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයක් ඔක්තෝබර් 15 වැනි දින පැවැත්වීමට නියමිත අතර එය මේ වනවිටත් දැඩි උණුසුමක් ඇති කර තිබෙනු දැකිය හැකි වේ. එම තරගය පැවැත්වෙන නරේන්‍ද්‍ර මෝදි ක්‍රීඩාංගනය අවට හෝටලවල ඇතැම් කාමරවල ගාස්තුව මේ වනවිට ඉන්දීය රුපියල් ලක්‍ෂය ඉක්මවා ගොස් ඇති බව ද සඳහන් ය. මෙය ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ 3.7 ක් පමණ වේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර