මෙවර ෆිල්ම්ෆෙයාර් සම්මාන දිනූ දකුණු ඉන්දියානු චිත්‍රපට

filmfare

දෙමළ, මලයාලම්, තෙලිගු, කණ්නඩ වැනි භාෂාවන්ගෙන් නිර්මාණය වන දකුණු ඉන්දියානු සිනමාපට මේ කාලයේ ලංකාවේ සිනමාලෝලීන් අතර ද බෙහෙවින් ජනප්‍රිය බව රහසක් නොවේ. කලකට පෙර හින්දි චිත්‍රපට වෙත ඇදී ගොස් තිබූ සිනමා රසිකයන්ගේ සිත් දැන් වඩාත් ආකර්ශණය වන්නේ දකුණු ඉන්දියානු සිනමාපට වෙත බව පෙනී යයි.

පසුගිය වසරේ නිර්මාණය වූ උසස් මට්ටමේ දකුණු ඉන්දියානු චිත්‍රපට සහ ඒවායේ දස්කම් දැක් වූ නළු නිළියන් ඇතුළු ශිල්පීන් වෙත සම්මාන පිරිනැමූ Filmfare Awards South සම්මාන උළෙල පසුගිය ඉරිදා පැවැත්වුණු අතර සිනමා ලෝලීන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ චිත්‍රපට කිහිපයක්ම එහි දී සම්මානයට පාත්‍ර විය. දෙමළ සිනමාවේ අතිශයින් ජනප්‍රිය නළුවකු වන සූරියා ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපට දෙකක් ද, තෙලිගු සිනමාවේ වීරයකු වන අල්ලු අර්ජුන් රඟපෑ සිනමාපටයක් ද ඉහළම සම්මාන දිනූ චිත්‍රපට අතර තිබිණි.

දෙමළ, තෙලිගු, මලයාලම්, කණ්නඩ යන චිත්‍රපටවලට මෙහිදී වෙන් වෙන් වශයෙන් සම්මාන පිරිනැමේ.
පසුගිය වසරේ තිරගත වූ දෙමළ චිත්‍රපට අතරින් හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘ජායි භිම්’ චිත්‍රපටය යි. මෙහි චන්ද්‍රෘ නැමැති ප්‍රධාන චරිතය රඟපෑවේ සූරියා ය. ‘ජායි භිම්’ චිත්‍රපටයට පසුබිම් වන්නේ ඉන්දියාවේ ගෝත්‍රික ජනවර්ගයකට අයත්වන අසරණ පවුලකට අත් විඳින්නට සිදුවන ආසාධාරණයක් පිලිබඳ කතාවකි. එම පවුලේ ප්‍රධානියා බොරු චෝදනාවකට ලක්ව අත්අඩංගුවට පත්වන අතර පසුව ඔහු එසේ අත්අඩංගුවේ සිටියදී අබිරහස් ලෙස අතුරුදන් වේ. ඒ සමගම ඔහුගේ ගැබ්බර බිරිඳ ද, දරුවෝද අන්ත අසරණභාවයට පත් වෙති. සූරියා මෙහි රඟපාන්නේ මෙම පවුල වෙනුවෙන් සාධාරණය ඉටු කර දීමට සටන් කරන නීතීඥවරයකුගේ චරිතයකි.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය නිරූපනය කළ ලිජොමොල් ජෝස් මෙම සම්මාන උළෙලේ දී දෙමළ චිත්‍රපට අංශයේ හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවාය. එම අංශයේ හොඳම නළුවා ලෙස සම්මාන දිනා ගත්තේ සූරියා යි. නමුත් ඔහුට එම සම්මානය හිමි වූයේ ‘සූරාරායි පෝත්රූ’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙනි. එහි ඔහු නිරූපනය කළේ දිළිඳු ජනතාවට ගමන් කළ හැකි ගුවන් සේවයක් ආරම්භ කිරීමට උත්සාහ දරණ නෙදුමාරන් නැමැති සාමාන්‍ය වැසියකුගේ චරිතයකි. ඔහුගේ උත්සාහයට ප්‍රධාන පෙලේ ගුවන් සමාගම්වලින් සහ ඒවායේ ධනවත් බලවත් හිමිකරුවන්ගෙන් එල්ලවන තර්ජනවලට සහ අභියෝගයන්ට මුහුණ දෙමින් ඔහු සිය අරමුණ ජයගන්නා ආකාරය චිත්‍රපටයෙන් නිරූපනය වේ.

හොඳම අධ්‍යක්‍ෂවරයාට පිරිනමන සම්මානය දිනාගත්තේ ද මෙම සිනමාපටය අධ්‍යක්‍ෂණය කළ සුධා කොන්ගරා ය.

තෙලිගු චිත්‍රපට අතරින් හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ අල්ලු අර්ජුන් රඟ පෑ Pushpa : The Rise චිත්‍රපටය යි. එය අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ නීති විරෝධී ආකාරයෙන් සිදුවන මහා පරිමාණ රත් හඳුන් දැව ජාවාරමක් සම්බන්ධ කතා පුවතක් රැගත් චිත්‍රපටයකි. මෙහි පුෂ්ප නැමැති ප්‍රධාන චරිතය නිරූපනය කළේ අල්ලු අර්ජුන් ය. සාමාන්‍ය කම්කරුවකු ලෙස මෙම ජාවාරමට එක්වන පුෂ්ප සිය එඩිතරබව සහ දක්‍ෂතාව තුළින් එහි ප්‍රබල නායකයකු බවට පත්වන ආකාරය මේ තුළින් නිරූපනය වෙයි. මෙම සිනමාපටයේ දෙවැනි කොටසක් ද Pushpa: The Rule නමින් මේ වනවිට නිශ්පාදනය වෙමින් තිබේ.

තෙලිගු චිත්‍රපට අංශයේ හොදම නළුවාට හිමි සම්මානය අල්ලු අර්ජුන් දිනාගත් අතර හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවේ Love Story නැමැති සිනමාපටයේ රඟපෑ සායි පල්ලවි ය. මෙය ක්‍රිස්තියානි සහ හින්දු ආගම්වලට අයත් දෙදෙනකු අතර ඇති වන ආදර සම්බන්ධයක් පසුබිම් කරගත් සිනමාපටයකි. මේ දෙදෙනා අතර කුල ප්‍රශ්නයක් ද වන නිසා ඔවුන්ට එල්ල වන බාධා තවත් වැඩි වේ. මෙහි පෙම්වතාගේ චරිතය නිරූපනය කළේ ජනප්‍රිය නළු නාග චේතන්‍යා ය.

මෙම අංශයේ හොඳම අධ්‍යක්‍ෂ ලෙස සම්මාන දිනාගත්තේ Pushpa: The Rise අධ්‍යක්‍ෂණය කළ සුකුමාර් බන්ද්‍රෙදි යි.

මලයාලම් චිත්‍රපට අතරින් හොඳම චිත්‍රපටය ලෙස තේරුණේ ‘අයියප්පානම් කොෂියම්’ චිත්‍රපටය යි. බීජු මෙනන් සහ ප්‍රිත්විරාජ් ප්‍රධාන චරිත රඟපෑ මෙම සිනමාපටය පොලිස් නිලධාරියකු සහ හමුදා නිලධාරියකු අතර ඇති වන ගැටුමක් පසුබිම් කරගත්තකි. මෙහි රංගනය වෙනුවෙන් මෙනන් ට හොඳම නළුවාට හිමි සම්මානය පිරිනැමිණි. මෙම අංශයේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ The Great Indian Kitchen චිත්‍රපටයේ රඟ පෑ නිමිෂා සජයන් ය. ‘තින්කලාෂ්චා නිශ්චායම්’ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ සෙන්නා හෙජ් හොඳම අධ්‍යක්‍ෂවරයා ලෙස සම්මාන දිනාගත්තේය.

Act 1978 චිත්‍රපටය හොඳම කණ්නඩ සිනමාපටය ලෙස සම්මාන දිනාගත් අතර එහි ප්‍රධාන කාන්තා චරිතය නිරූපනය කළ යාග්නා ෂෙට්ටි හොඳම නිළිය ලෙස සම්මාන දිනුවාය. හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ Badava Rascal චිත්‍රපටයේ රඟපෑ ධනන්ජේ ය. ‘ගරුඩ ගමන වෘෂභ වාහන’ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා වූ රාජ් බී. ෂෙට්ටි හොඳම අධ්‍යක්‍ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර විය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර