මේ අමාරු කාලේ අඩු වියදම් ආහාර රටාවක්!

දවසින් දවසම ඉහළ නැංවෙන ආහාර ද්‍රව්‍ය වල මිළ හමුවේ ජීවත් වීම සැබවින්ම අභියෝගයක්ව පවතී. එසේම අපට මුහුණ දෙන්නට සිදුව තිබෙන කාලගුණික විපර්යාස සේම, පසුගිය සමයේ පැන නැගුණු පොහොර අර්බුදය අප ආහාර හිඟයකට ඇදගෙන යන ගමන ඉක්මන් කර තිබේ.

ඒ කෙසේ වෙතත් ආහාර හා සම්බන්ධයෙන් අප සමාජය තුළ පවතින විවිධ මත, සංස්කෘතිමය පිළිගැනීම් වැනි දේ නිසා ආහාරයට ගත හැකි නමුත් අප විසින් ඉවත ලන කොටස් බොහෝ තිබේ.

කෑමට ගත හැකි එළවළු, පළතුරු, මස් මාංශ මහ ගොඩක් නිරපරාදේ කුණු කඳු ගොඩ ගැසීම කාලාන්තරයක් තිස්සේම සිදු වන්නකි. ඒ මහා පාපකර්මය නිසාමදෝ මේ වන විට, ආහාර පාන සඳහා ගිණි ගණන් ගෙවීමට අපට සිදුව තිබේ.

එසේම ඉදිරි ජීවන යහපැවැත්ම සඳහා අපේ ආහාර රටාවන් වෙනස් කරගෙන කෑමට ගත හැකි අප අවට තිබෙන දේ හඳුනා ගැනීම අතිශයින්ම වැදගත් වී ඇත. එනිසාම මේ අහේනි අමාරු කාලයේ අඩු වියදමකින් පවුලේ ආහාර වේල් සකසා ගැනීම හා ඒ සම්බන්ධයෙන් ගෘහණියන් ගේ දැනුවත් බව වැඩි කරගැනීම ද සැබැවින්ම අත්‍යාවශ්‍ය වූ කාල වකවානුවකි.

සාමාන්‍යයෙන් අප ඉවතලන දෙල්, මයියොක්කා, අළුකෙසෙල්, කැකිරි, පිපිඤ්ඤා, වැටකොලු වැනි දේ වල පොතු ඉතා රසවත් බැදුමක්, සම්බෝලයක් ලෙස සකසා ගත හැකි ය.

එසේම වැටකොළු වල පොත්ත රැස ඉවත් කරනවාට වඩා එහි රළු දාර පමණක් ඉවත් කර පොත්ත පිටින්ම ආහාරයට සකසා ගත හැකි ය. එසේම දෙල් ගෙඩිය ද පොතු නොගසා හැන්දකින් පිටපොත්ත සූරාදමා කෑමට සකසා ගත හැකි ය. එසේම එහි වහල්ල පවා තෙල් දමා බැදුමක් ලෙස පිස ගැනීමට පිළිවන.

කොස් ගෙඩියේ අප සාමාන්‍යයෙන් ඉවත දමන බොහෝ කොටස් ආහාරයට සකසා ගත හැකි ය. කොස් ඉරි ඉතා සිහින්ව ලියා තම්බා ගන්න. එයට පොල් ටිකක් අබ, කහ, සුදුලූනු, කරපිංචා, ලූනු, අමු මිරිස් දමා කොටා එකතු කර ගත් විට මැල්ලුමක් ලෙස ඉතාම රසවත් ය. කොස් වහලු මිරිස් තුනපහ, ගොරකා ඉත්තක් දමා තම්බා තෙම්පරාදු කර මිටිකිරි ටිකක් දමාගත් විට මස් ව්‍යංජනයක් පරාද කළ හැකි ය. කොස් සිබිඩි ද ව්‍යංජනයක්, තෙම්පරාදුවක් මැල්ලුමක් ලෙස සැකසිය හැක්කකි.

එසේම මයියොක්කා පොතු වල පිටත තිබෙන දුඹුරුපාට සුඹුල ඉවත් කරගෙන නටන වතුරට දමා පෙරා ගෙන සිහින් තීරු වලට කපා අව්වේ වියලා සුළං නොවදින සේ අසුරා ගත හැකි ය. ඒවා රත් වූ තෙලට දමා බැදගෙන ලුණු, ගම්මිරිස් හෝ මිරිස් කුඩු ටිකක් ඉස පපඩම් සේ කෑමට ගත හැකි ය. නැතිනම් ලූනු, අමුමිරිස්, කෑලි මිරිස් ටිකක් දමා බැදුමක් ලෙස පිළියෙල කරගත හැකි ය.

ආහාර වේලේ බත් ප්‍රමාණය අඩුකර ගැනීමට යහමින් සාදාගන්නා කොළ මැල්ලුමක් උදව්කරගත හැකි ය. අවටින් සොයා ගත හැකි කුප්පමේනිය, මොනරකුඩුම්බිය, පිට සුදු සාරණ, තුඹ දළු, තෙබු, කිරි අගුණ, තිත්ත අගුණ, කුරිංඤ්ඤං කොළ, කෝප්ප කොළ, දිය බුලත්, ජපන් බටු, කර කොළ, මැල්ල කොළ, කටරොළු දළු, රණවරා, වැල් දොඩම් කොළ, කිරිහැන්ද, ඇඹුල් ඇඹිලිය, කීරපලා, මයියොක්කා කොළ වැනි අපට ආහාරයට එකතු කරගත හැකි කොළ වර්ග රාශියක් තිබේ. හොඳින් පොල්, රතුලූනු ගෙඩි කීපයක් දමා සකසා ගන්නා මැල්ලුමකින් වේලකට වැයවන සහල් ප්‍රමාණය අඩුකර ගත හැකිවා සේම පෝෂණය ද ඉබේම ඉහළ දමා ගත හැකි ය.

වට්ටක්කා, කැරට්, තෙබු ගොබ, බරුකොකු, මියන දළු, තුඹ දළු, මඩුකොකු ඉතා ලපටි කොස් දළු, රත් මල්, මුරුංගා මල්, බේදුරු කොකු, පනම් පෙති, ඇඹරැල්ලා දළු, කිරි අල පිති, ගෝසා කොළ, ජම්බු මල්, රේණු, ගඩුගුඩා ලෙලි, පෝටා ඇට වැනි බොහෝ අප්‍රකට දේ ව්‍යංජන සේ සකස් කර ගැනීමේ හැකියාව තිබේ.

එසේම කෙසෙල් බොඩ, පොල් බොඩ, කිතුල් බොඩ ඉතාම රසවත් ලෙස ව්‍යංජන සකස්කර ගත හැකි ආහාර ද්‍රව්‍යයකි. විශේෂයෙන් පොල් බොඩ වලින් ඉතාම රසවත් ව්‍යංජන, අච්චාරු, සකස් කරගැනීමට පිළිවන. ඉතාම ලපටි ගොක් කොළ බැදුමක් ව්‍යංජනයක් ලෙස සකසා ගත හැකි ය. පොල් ගසක් කැපීමකදී හෝ ඉදිරී වැටුණු අවස්ථාවකදී හෝ ඒවා අපතේ නොදමා ආහාර ලෙස සකස් කර ගැනීමට උත්සුක වන්න. එසේම විශාල කෙසෙල් වතු වල කපා ඉවත් කරන කෙසෙල් ගස් වල බොඩ අති විසල් ප්‍රමාණයක් අපතේ යන අතර ඒ ගැන අවධානය යොමුකොට කුඩා කොටස් ලෙස කපා විකුණා ගත හැකි ය.

පොල් මිල හමුවේ අපේ ආහාරවේල සකස් කර ගැනීමට අත්‍යාවශ්‍ය වූවක් වූ පොල් කිරි හා සම්බන්ධයෙන් ගෘහණිය මුහුණ පාන පීඩනය ද සුළුපටු නැත. හොද්දක ව්‍යංජනයක කිරි රසය රැකගෙන අඩුම පොල් ප්‍රමාණයක් වැය කිරීම ගැන ද ගෘහණිය දත යුතුම ය. ඕනෑම ව්‍යංජනයක් වතුරෙන් තැම්බෙන්නට හැර තැම්බුණු පසු මිටි කිරි ටිකක් දැමීමෙන් රසය රැකගත හැකිය.

සේ පොල් ස්වල්පයක් බ්ලෙන්ඩරයක හොඳින් අඹරා ගැනීම උචිත ය. එසේම මිරිකා ඉවතලන පොල්කුඩු කබලක දමා රන්වන් පාට වනතුරු බැදගෙන කල් තබා ගත හැකිය.

රොටී, පිට්ටු, රසකැවිලි ආදියට නැවුම් පොල් ටිකකට මෙයින් ටිකක් ද මිශ්‍රකර වැයවන පොල් ප්‍රමාණය අඩුකර ගත හැකිය. අප මේ පොල් කුඩු ඉවත දැම්ම ද ඒවායේ තෙත ඉවත් කර සකස් කර “පොල් පිටි” ලෙස අසුරා සුපිරි වෙළදසැල්වල තිබෙන්නේ මේ පොල්කුඩු බව බොහෝ අය නොදන්නවා විය හැක. එසේම හොදි වලට පොල් අඹරා යෙදීම ද හොඳ උපක්‍රමයකි.

කුඩා පොල් කැබැල්ලක් සිහින්ව අඹරා හොද්දට එකතු කිරීමෙන් ද කිරි රසය සේම ගුණය ද වැඩිකර ගත හැකිය.
අප විසින් ඉවත දමන කෑමට හැකි දේ ගැන කතා කිරීමට මෙම කුඩා ලිපිය නොසෑහේ යැයි සිතේ. විශාල වතු වලින් ඉවත දමන ඉඟුරු කොළ වලින් කැඳ සාදාගත හැකිය.

එසේම කැරට් කොළ, බීට්රූට් කොළ, රාබු කොළ වැනි ආහාර ලෙස සකසා ගත හැකි දේ අපමණ ය.මෙහි ඉහත සඳහන් සියළු දේ අප විසින් පරිභෝජනයෙන් ඉවත දමා ඇතත් ඒවා මිනිස් ආහාරයට සුදුසු සේම බොහෝ විට පෝෂ්‍ය පදාර්ථ ද සහිත ආහාර වර්ග බව වටහා ගැනීම ඉතා වැදගත් ය.

නිර්මලා කුමාරි සේනාරත්න

හරිත දනව්ව