මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය අතරින් වඩාත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් ජනප්‍රියතම ටෙලිනාට්‍යය ලෙස “නාඩගම්කාරයෝ” හැඳින්වීම අතිශයෝක්තියක් නොවේයැයි සිතනවා.
ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේත්, ප්‍රවීණ පිටපත් රචක සද්ධාමංගල සූරියබණ්ඩාරගේත් මෙම ප්රශංසාත්මක වෑයම ඔස්සේ රංගන ක්ෂේත්රය තුළ දක්ෂතා දැක්වූ නළු නිළියන් බොහෝයි. මේ හමුවන්නේත් එවැනි තරුණ රංගන ශිල්පියෙක්.
ඔහු සංගීත් ප්‍රභූ.
තවත් විදියකින් කිව්වොත් නාඩගම් කාරයෝ හි කවඩියා .
* අපේ කතාව පටන් ගන්න කලින් මට මෙහෙම දෙයක් සංගීත්ගෙන් අහන්න හිතුණා. සමහර දෙනෙක් කලාවට එනකොට තමන්ගෙ නම ඊට සුදුසු ලෙස වෙනස් කර ගන්නවා. සංගීත් ප්‍රභූ කියන්නෙත් එවැනි වෙනස් කර ගත්තු නමක් ද?
අපොයි නෑ. මගේ නම සංගීත් ප්‍රභූ සංඛ පද්ම රත්නායක. මගේ අම්මා සංගීත ගුරුවරියක්. ඇතැම් විට මට සංගීත් කියලා නම දාන්න ඇත්තේ ඒ නිසා වෙන්න පුළුවන්.
* නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ කවඩියාත් දැන් බොහොම ප්‍රේක්ෂක ආදරය දිනා ගත් චරිතයක්.
ඒ ගැන මට හරිම සතුටුයි. මම මේ ක්ෂේත්රයට ආවේ ලොකු “කට්ටක් කාලා”. මම ඉපදුණේ බදුල්ලේ. හැදුණේ වැඩුණේ අනුරාධපුරයේ. ඉගෙනගත්තේ අනුරාධපුරයේ මිහින්තලේ මහා විද්‍යාලයේ සහ නිවර්තක චේතිය මධ්‍ය මහා විද්‍යාලයේ. රඟපාන්න තිබුණු ආසාවට අධ්‍යාපන කටයුතුවලින් පස්සේ අන්තිමට නතර වුණේ කොළඹ .ඒ කියන්නේ මේක බදුල්ලේ ඉඳන් අනුරාධපුරේ,මිහින්තලේ හරහා කොළඹ ආපු ගමනක්
* බදුල්ලෙන් අනුරාධපුරට ගියේ අම්මාගේ ගුරු වෘත්තිය නිසාද?
ඒක තමයි හේතුව. අම්මාට අනුරාධපුරයට මාරුවීමක් ලැබුණා. ඊට පස්සේ අපි දිගටම වගේ හිටියේ අනුරාධපුරයේ. මගේ තාත්තා නම් ව්‍යාපාරිකයෙක්.
* සංගීත්ගේ පවුලේ වෙන කවුද ඉන්නේ?
අයියලා දෙන්නයි මමයි මල්ලියි
* ඒ අය තවමත් අනුරාධපුරයේ ද?
නෑ. මගේ තාත්තා කලකට උඩදී මිය ගියා. ලොකු අයියා විවාහ වෙලා වෙනම පදිංචි වෙලා ඉන්නවා.දැන් අම්මායි පොඩියි අයියයි, මමයි, මල්ලියි ඉන්නෙ මත්තේගොඩ.
* කවඩියා ගේ දෙබස්වලට නිතර නිතරම එකතු වන “විස්තරේ” මොකක්ද ?
“විස්තරේ” කියන වචනය මගේ දෙබස්වලට නිතර නිතර මම එකතු කරනවා. ඒක කවඩියාගේ අනන්‍යතාවයක්.
* ඒ කියන්නේ කවඩියා ගේ චරිතය නිර්මාණය වෙලා තියෙන්නේ ඒ විදිහට?
“විස්තරේ” කියන වචනය මගේ දෙබස් වලට එකතු කරන අදහස මුලින්ම මටයි ආවෙ. මම ඒ ගැන ශිවගුරුනාදන් මහත්තයා එක්ක කතා කළා. ඇත්තටම ඔහු වගේම සද්ධාමංගල මහත්මයාත් එය ඉත සිතින් අනුමත කළා. ඇත්තටම අපේ චරිත අපට ආවේණික ලෙසින් ගොඩනඟා ගැනීමේ නිදහස ඔවුන් අපට ලබා දීලා තියෙනවා.
අපි ඔවුන් සමග සාකච්ඡා කර එකඟතාවකට ඇවිත් මේ විදිහේ දේවල් අපේ චරිතවලට එකතු කරනවා. එම නිදහස රංගන ශිල්පීන් ලබන වාසනාවක්. මුලින්ම පිටපත් රචකයාගේ හිතේ ඇඳෙන චරිතය අධ්යක්ෂවරයා විසින් ඔප මට්ටම් කර රංගන ශිල්පියා වෙතින් ප්‍රතිනිර්මාණය වෙද්දී මේ තුන් දෙනාම දකින එම චරිතය සමාන නම් මම හිතන්නේ ඒ රංගන ශිල්පියා වගේම ඒ රංගනයත් සාර්ථකයි කියලයි.
ඒ විතරක් නෙමෙයි, කවඩියා නිර්මාණය වන්නේ හුදෙකලාව නෙවෙයි. ඕනෑම චරිතයක් ගොඩ නැගෙන්නට ඒ සමඟ රඟපාන අනෙක් නළු නිළියන් ද වැදගත් වෙනවා. ඒ සැම දෙනාගේම රංගනයන් ඔවුනොවුන්ගේ දක්ෂතා එළිදැක්වීමට දායක වෙනවා.
රංගනය කියන්නේ සාමූහික කාර්යයක්. ඒ නිසා කවඩියා සාර්ථක නම් එහි ගෞරවය අධ්යක්ෂවරයාට, පිටපත් රචකයාට වගේම සරාට, කිරි පුතාට, සුද්දාට, මාස්ටර්ට, හාමුදුරුවන්ට, මාලන්ට, සිරිසේනට, මුදලාලිට මේ ආදී වශයෙන් කවඩියා සමග රංගනයෙහි යෙදෙන හැමෝටම අයිති විය යුතුයි.
* සංගීත් නාඩගම්කාරයෝට කලින් රඟපාපු ටෙලි නාට්‍ය මොනවද?
සක්කාරං, සල් සපු නා, සිල්ලර සමනල්ලු, ඉන්ටනැසනල් 1 වැනි ටෙලිනාට්‍ය කිහිපයක රඟපාලා තියෙනවා. කොහොම වුණත් මම ජනප්‍රිය වුණේ කවඩියාගෙන්.
* නාඩගම්කාරයෝට පස්සේ සම්බන්ධ වූ ටෙලි නාට්‍ය මොනවද?
“ළංවී ” ටෙලි නාට්‍යයේ මේ දිනවල රඟපානවා. ඒ වගේම මට කියන්න සතුටුයි මේ දිනවල මා නැඟී එන නළුවා සඳහා නිර්දේශ වී තිබෙනවා.
* සංගීත්ගේ වයස කීයද දැන්?
විසි හතයි
* මීට පෙර මා සමග මෙවැනිම සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ ප්‍රවීනා දිසානායක, ඒ කිව්වේ කවඩියා ආදරය කරන ගීතිකා මා සමඟ පැවසුවේ ඇයව මේ ක්ෂේත්රයට හඳුන්වා දුන්නේ සංගීත් කියලයි. කවඩියා ගීතිකාට පණ ඇරගෙන ආදරේ කරනවා වගේ සංගීත්ට නැද්ද ප්‍රවීනා ගැන එහෙම අදහසක් ?
කෙනෙකුට අත දෙනවා කියන්නේ වෙනයම් බලාපොරොත්තු මත කළ යුතු දෙයක් නොවෙයි. මම ඒ විදිහට මනුස්සකම පාවා දෙන්නේ නෑ. මේ වෙනකොට මම ඕන තරම් අයට උදව් කරලා තියෙනවා. ඒත් ඒ කවුරුවත් මගේ පෙම්වතියන් කරගන්න මට කිසිම හිතක් කවදාවත් තිබුණේ නෑ.
අනික ඉතින් ප්රවීනාම ඔය සිද්ධිය ඔයාට කිව්වා මිසක් මම කවදාවත් කාටවත් උදව් කරලා ඒ ගැන තව කෙනෙකුට කියන කෙනෙක් නෙමෙයි. අපි උදව් කරලා අඬ බෙර ගහන්න ඕන නෑනේ. ප්‍රවීනාට උදව් කිරීම වෙනම දෙයක්. නමුත් ඇය ඉදිරියට යන්නේ මගේ උදව් නිසා නෙමෙයි, ඇගේ දක්ෂතාවය නිසා. ඇයට රංගනය සම්බන්ධ මනා දක්ෂතාවයක් තිබෙනවා.
* සංගීත වෘත්තීය නළුවෙක් ද?
නෑ, මම කොට්ටාවේ මගේම සැලොන් එකක් පවත්වාගෙන යනවා.
ඉන්දු පෙරේරා