අපේ රටේ පිළිකා රෝග මොනතරම් පැතිරී තිබෙන්නේ දැයි කිවහොත් මේ වන විට මහරගම අපේක්ෂා රෝහලේ දිනකට අලුතින් ලියාපදිංචි වන පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව අසූවක් පමණ වන බව එම රෝහලේ වෛද්‍යවරයකු පවසා තිබිණි.
ඒ අනුව පිළිකා යනු දැන් අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙන සුලභ රෝගයක් බවට පත් වී තිබේ.
පිළිකා වර්ග අතරින් එක් පිළිකාවක් වන්නේ ලේ පිළිකා යි. ඒ අතරින්ද බහුලව පවතින ලේ පිළිකා වර්ගය ලියුකීමියා යි. මෙය අප නිරන්තරව අසනු ලබන පිළිකා වර්ගයකි. මෙම පිළිකා විශේෂය ගැමියන් හඳුන්වනු ලබන්නේ ” ලේ වතුර කරන රෝගය ” ලෙසිනි.
ලියුකීමියා පිළිබඳව කතා කරන්නට පෙර අපි පිළිකාවක් ශරීරයේ සෑදෙන අයුරු සොයා බලමු.
ඔබේ ඇඟිල්ලක් පිහියකට කැපී සම් කැබැල්ලක් ඉවත් වී ගියේ යැයි සිතන්න. ඉන්පසු එතැන ඉක්මනින් සෛල වර්ධනය වී ටික දිනක් යන විට කලින් තිබූ ආකාරයටම පත්වනු ඇත. එසේ සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු එතැන සෛල වර්ධනය වීම නතර වෙයි.
නමුත් සිරුරේ කොතැනක හෝ නොනැවතී ම සෙමින් සෙමින් සෛල වර්ධනයක් සිදු වන්නේ නම් එය පිළිකාවකි. පිළිකාව ශරීරයේ ඕනෑම ස්ථානයක හටගත හැකිය.
සුදු සෛල හෙවත් සුදු රුධිරාණු යනු අපේ රුධිරයේ තිබෙන එක් සෛල වර්ගයකි. මෙම සුදු රුධිරාණුවලත් පිළිකා සෑදෙයි. එවිට සිදුවන්නේ එම සුදු සෛල අසාමාන්‍ය අන්දමට වර්ධනය වීමයි. එවිට සුදු සෛල විශාල ප්‍රමාණයක් රුධිරයේ ඇති වනු ඇත. මෙය පිළිකා විශේෂයකි. ලියුකීමියාව යනු මෙයයි.
අපේ ශරීරයේ රුධිරය සෑදෙන්නේ ඇටමිදුළුවල ය. ඒ අනුව යම් පුද්ගලයෙකු තුළ ලියුකීමියා ලක්ෂණ පවතින්නේ නම් වෛද්‍යවරුන් කරන්නේ එය තහවුරු කරගැනීම සඳහා ඇටමිදුළු පරීක්ෂණයක් කිරීමයි. එවිට ඇටමිදුළුවල, රුධිර සෑදෙන ස්ථානවල පිළිකා සෛල තිබේ දැයි නිශ්චිතවම දැන ගත හැකිය. ලියුකීමියා ද වර්ග කිහිපයක් තිබේ. මෙම ඇටමිදුළු පරීක්ෂාව මගින් රෝගයාට තිබෙන්නේ කුමන ලියුකීමියා වර්ගයද යන්න නිශ්චිතව හඳුනාගැනීමට වෛද්‍යවරයාට හැකියාව ලැබෙනු ඇත.
අපේ ශරීරයේ වසාගැටිති නම් කොටසක් තිබෙන බව ඔබ දනී. යම් හෙයකින් වසාගැටිති ගැන නොදන්නා කෙනකු වුවත් කුද්දටි ගැන නොදැන ඉන්නට විදියක් නැත. කුද්දටි යනු වසා ගැටිති ඉදිමීම යි. අපේ ශරීරයේ කිහිලි, ඉකිළි වැනි ප්‍රධාන සෑම සන්ධියකම මෙම වසාගැටිති පිහිටා ඇත.
සමහර සුදු සෛල මෙම වසාගැටිතිවල ද නිෂ්පාදනය වේ. ඒ අනුව වසාගැටිතිවල ද හට ගන්නා එක් ලියුකීමියා වර්ගයක් තිබේ. මෙය හඳුන්වන්නේ ලිම්ෆෝමා ලෙසිනි. වසාගැටිතිවල මෙලෙස පිළිකා හට ගත් විට ඒවා ඉදිමී කුද්දටි ඇති වේ.
සාමාන්‍යයෙන් කුද්දටි ඇති වූ විට අපට ලොකු වේදනාවක් දැනෙයි. නමුත් වසාගැටිතිවල පිළිකා හට ගත් කල ඇති වන්නේ වේදනාවක් නැති කුද්දටි ය. කුද්දටිවල සෛල පරීක්ෂා කර බැලීමෙන් මේ රෝගය හඳුනාගත හැකි අතර එසේ නොහැකි වුවහොත් කුද්දටියකින් කුඩා කොටසක් ගෙන පටක පරීක්ෂණයක් හෙවත් බයොප්සි පරීක්ෂණයක් කරන්නට සිදුවේ.
ලියුකීමියා යනු රුධිරයේ සුදු සෛල නො නවත්වා වැඩිපුර වර්ධනය වීම බව ඉහත විස්තර කළෙමු. මෙසේ රුධිරයේ අඩංගු එක් සෛල වර්ගයක් නොනවත්වා වර්ධනය වන විට රුධිරයේ අනෙකුත් සෛලවල වර්ධනය ඊට සාපේක්ෂව අඩු වී යයි. මෙසේ වර්ධනය අඩු වන්නේ රතු සෛල සහ පට්ටිකාවල ය. සාමාන්‍ය ජනවහරේ ” ලේ වතුර කරවන රෝගය” ලෙස ලියුකීමියාව හඳුන්වන්නේ මෙලෙස රුධිරයේ රතු සෛල අඩු වීම හේතුකොට ගෙනය.
රුධිරයේ රතු සෛල අඩු වන විට හිමෝග්ලොබින් අඩු වේ. හිමොග්ලොබින් අඩු වන විට හුස්ම ගැනීමේ අපහසුව, වේගයෙන් වැඩ කිරීමේදී ඉක්මනින්ම විඩාවට පත් පත්වීම, සුළු දෙයකින් පවා විඩාවක් දැනීම, වාඩි වී හිඳ නැගිටින විට ඇස් වලට අන්ධකාරයක් දැනී වැටෙන්නට යාම, වේගයෙන් ඇවිදීමට අපහසු වීම, හතිය, අල්ලේ රෝස පැහැය නැතිවී සුදු පැහැයක් ගැනීම වැනි ලක්ෂණ දැකිය හැකිය.
රුධිරයේ පට්ටිකා අඩු වන විට ඇතිවන ලක්ෂණ නම් සම යටින් රුධිරය ගැලීම නිසා ශරීරයේ තැනින් තැන රතු පාට තිත් වැනි කුඩා පැල්ලම් හට ගැනීම, කාන්තාවකට ඔසප් වීමේදී අධික රුධිර වහනයක් සිදුවීම, කැපීමකදී සීරීමක දී පවා අධිකව රුධිරය ගැලීම ආදිය යි.
රුධිරයේ ඇති සුදු සෛල මගින් කෙරෙන්නේ ශරීරයට ඇතුළුවන විෂබීජ වලට පහර දී අපට රෝග වැළඳීම වළකාලීම ය. මෙහිදී රුධිරයේ සුදු සෛල වැඩියෙන් සැදුනත් ඒවා පිළිකා සෛල නිසා සුදු සෛල වලින් කෙරෙන එම සාමාන්‍ය රාජකාරිය කරන්නට මේ සුදු සෛලවලට අපහසු වේ. එනිසා නොයෙකුත් විෂබීජ රෝගියාව ආක්‍රමණය කරනු ඇත.
මේ අනුව නියුමෝනියාව, විවිධ වෛරස් රෝග ඇතුලු නොයෙකුත් රෝග හට ගැනීම සිදු විය හැකිය. ස්වභාවික ප්‍රතිශක්තිය රෝගියා තුළ නැති නිසා සාමාන්‍ය ප්‍රතිජීවක මඟින් රෝගය සුව කිරීම ද අපහසු වෙයි.
ලියුකීමියාවල ද නිදන්ගත ලියුකේමියා සහ එකවරම වැළඳෙන ලියුකීමියා ලෙසින් ප්‍රධාන වර්ග දෙකකට බෙදේ. ඒවාද තවත් වර්ග දෙකකට බෙදෙනු ඇත. ඒ ඇටමිදුළුවල සෑදෙන ලියුකීමියා සහ වසා ගැටිති වල සුදු සෛලවල සෑදෙන ලියුකීමියා වශයෙනි. මේ අනුව මෙකී දෙවර්ගය නිදන්ගත ලියුකීමියා වල දී මෙන්ම ඇටමිදුළුවල සෑදෙන ලියුකීමියාවලදීත් ඇතිවේ. ලියුකීමියා වර්ග හතරක් වන්නේ ඒ අයුරිනි.
එය මෙලෙස විස්තර කළ හැකිය.
වසා ගැටිතිවල එක්වරම සෑදෙන ලියුකීමියා :
මෙය අවුරුදු 10 ට අඩු දරුවන්ට බහුලව වැළඳෙන ලියුකීමියා විශේෂයයි.
වසා ගැටිති වල නිදන්ගත ලියුකීමියා :
වයස අවුරුදු 60 ට වැඩි වයෝවෘද්ධ අයට බොහෝ විට වැළඳෙයි.
ඇට මිදුළුවල එක්වරම සෑහෙන ලියුකීමියා :
තරුණ වයසේ අයට වැළඳෙන ලියුකීමියා විශේෂයකි.
ඇටමිදුළුවල නිදන්ගත ලියුකීමියා :
මැදිවියේ අයට වැළඳෙයි.
මෙයින් තරුණ වයසේ අයට වැළඳෙන ලියුකීමියා විශේෂය සුව කිරීම අසීරු ය. අනෙක් ලියුකේමියා වර්ග තුන බොහෝ විට ම සුව කළ හැකි වේ.
මෙම එක්වරම සෑදෙන ලියුකීමියා වලදී දැකිය හැකි විශේෂ ලක්ෂණ වන්නේ හුස්ම ගැනීමේ අපහසුව, ක්ලාන්තය, ඇඟ සුදුමැලි වීම, ශරීරයේ ඇට විශේෂයෙන් බෙල්ලෙන් පහළ පපු ඇටයේ තද වේදනාවක් දැනීම ආදිය යි.
ලේ පරීක්ෂාවක් කිරීමෙන් මේ රෝගය හඳුනා ගත හැකි අතර ඇටමිදුළු පරීක්ෂාවක් කළොත් තව දුරටත් එය තහවුරු කර ගැනීමට හැකියාව ලැබේ.
ලියුකීමියාවලට ඖෂධ හා ඉන්ජෙක්ෂන් ප්‍රතිකාර, විකිරණ ප්‍රතිකාර සිදු කරන අතර අවසන් ප්‍රතිකාරය වන්නේ ඇටමිදුළු බද්ධ කිරීමය.
කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
ඉන්දු පෙරේරා