යටි කොන්දේ වේදනාවට භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් සාර්ථක පිළියම් – විශේෂඥ භෞතචිකිත්සක ඩී.කේ. ඇන්තනී

යටි කොන්දේ වේදනාව බොහෝ දෙනකු පෙළෙන ගැටලුවකි. මීට බොහෝ විටම හේතු වන්නේ යටි කොන්දේ කොඳු ඇට පෙළෙහි හෝ ඒ අවට පටකවල යාන්ත්‍රණයේ සිදුවන ගැටලු සහගත තත්වයන් ය.
ඒ අනුව අවට මාංශ පේශිවල ආබාධයක්, කශේරුකා තැටිවලට හානි වීමක් හෝ ස්නායු මූලය තෙරපීමක්, එසේත් නැත්නම් කශේරුකා සන්ධිවල ඇති චලනයේ ගැටලුවක් නිසා මෙම වේදනාකාරී තත්ත්වය ඇතිවේ. මේ ආකාරයට හටගන්නා කොන්දේ වේදනාකාරී බව යාන්ත්‍රිකමය කොන්දේ වේදනාවක් ලෙස හඳුන්වයි.
ඒ අතරින්ද බොහෝ අය සුලබව අත්දකින කොන්දේ අමාරුව අවට මාංශ පේශීන් හෝ බන්ධනීවල ආබාධයක් නිසා හටගන්නා වේදනාවක් වන අතර ඒ සඳහා ඉතාමත් සාර්ථක භෞත චිකිත්සක ප්‍රතිකර්ම පවතී.

එම හේතුවලට අමතරව කශේරුකාවල ඔස්ටියෝ ආතරයිටිස්, Spinal stenosis හෝ කශේරුකා බිඳීම් වැනි විකලාංගමය හේතු බොහෝ විට බලපෑ හැකිය.
එසේම Ankylosing spondylitis, Psoariatic Arthritis වැනි ප්‍රදාහමය තත්වයන්ද ඔස්ටියෝ මයලයිටිස් ( Osteomyelitis ) වැනි ආසාදන තත්ත්වයන් මෙන්ම අස්ථිවල හටගන්නා පිළිකා තත්ත්වයන් ද මීට හේතු වීමට ඉඩ තිබේ.
නමුත් මෙවැනි හේතූන් නිසා යටි කොන්දේ වේදනාව හට ගැනීම නිතර දැකිය හැකි තත්වයක් නොවේ. එසේ වුවද මුලින් සඳහන් කළ කශේරුකා තැටි හා අවට මාංශ පේශි බන්ධනී සම්බන්ධ ගැටලු නිසා හටගන්නා යාන්ත්‍රිකමය තත්ත්වයන් යටි කොන්දේ වේදනාවට සුලභව බලපාන හේතූන් ය.

ඒ සඳහන් කළ අන්දමට සුලභව දැකිය හැකි යාන්ත්‍රිකමය කොන්දේ වේදනාවට ප්‍රධාන වශයෙන් බලපාන හේතු ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය. එනම්, යහපත් නොවන ජීවන රටාව, වැරදි ඉරියව් හැසිරීම් සහ දැන හෝ නොදැන කරන ශරීරයට අහිතකර ක්‍රියාකාරකම් එනම්, එකම ඉරියව්වේ බොහෝ වේලා රැඳී සිටීම, අනවශ්‍ය ආකාරයට කොන්ද නමාගෙන පරිගණකය හෝ වෙනත් මෙවලම් භාවිතය, අසමතුලිතතාවය, අධික තරබාරුව, ක්ෂණික ක්‍රියාකාරකම් හෝ පුරුද්දක් නැතිව කරන ක්‍රීඩාවන් ආදිය මීට බලපෑ හැකි හේතූන් වේ.
මෙලෙස හටගන්නා යටි කොන්දේ වේදනාව එය පවතින කාලසීමාව පදනම් කරගනිමින් අදියර තුනකට බෙදේ.

Acute –
මෙය සති හයකට වඩා පවතින යටි කොන්දේ වේදනාවකි.

Sub acute –
සති 6 -12 දක්වා කාලයක් පවතින කොන්දේ වේදනාවයි.

Chronic –
සති දොළහකට අධික කාලයක් එක දිගට පවතී.

සිරුරේ වේදනාවන් පිළිබඳව පැමිණිලි කරන රෝගීන් අනුව බලන විට ඉන් තුනෙන් එකකටම පවතින්නේ කොන්දේ වේදනාව ය. බොහෝ දෙනෙක් මෙම වේදනාකාරී තත්ත්වයන්ට වේදනානාශක පෙති හෝ ආලේපන මගින් ක්ෂණික සහනයක් අපේක්ෂා කරති. රෝග මූලය එලෙසම පවතිද්දී ඒ ආකාරයට වේදනානාශක මගින් තාවකාලිකව සැනසීම හේතුවෙන් රෝග මූලය තව තවත් වර්ධනය වී ශල්‍යකර්මයකට පවා යන්නට සිදුවන සංකීර්ණ තත්ත්වයක් උද්ගත වන්නට බැරි කමක් නැත.

යටි කොන්දේ වේදනාවේ රෝග ලක්ෂණ

* යටි කොන්ද ආශ්‍රිතව පවතින වේදනාව
* ඉරියව් වෙනස් කිරීමේදී එනම්, සිරුර නැවීමේදී සහ හැරවීමේදී හටගන්නා වේදනාව හෝ අපහසුව
* කොන්දේ සිට තට්ටම් හරහා පාද දෙසට දිවෙන වේදනාව (sciatica)
* පාද හා පාද ඇඟිලි හිරිවැටීම සහ වේදනාව (Radiculopathy)
* යටි කොන්දේ ස්නායු මූල තදවීම හේතුවෙන් හටගන්නා මාංශ පේශි දුර්වලතාව

නවතම පර්යේෂණයකට අනුව යටි කොන්දේ ⁣වේදනාවෙන් අත්මිදෙන්නට හැකි හොඳම ආකාරය ව්‍යායාම හා ක්‍රියාකාරී ජීවන රටාව බව තහවුරු වී තිබේ.
යටි කොන්දේ වේදනාවට ප්‍රතිකාර වශයෙන් වෛද්‍යවරු වේදනා නාශක පෙති, මාංශ පේශි ලිහිල් කිරීමට Skeletal muscle relaxants වේදනානාශක ආලේපන මුල් මුල් අවධියේදී නිර්දේශ කරති.
වේදනාව තවදුරටත් වර්ධනය වුවහොත් ඒ සඳහා Corticosteroids එන්නත් හෝ Nerve root block එන්නත් ලබාදීම සිදුකරයි.
එහෙත් බොහෝ විටම මෙම ප්‍රතිකාර මගින් රෝග මූලයේ වෙනසක් සිදුවන්නේ නැත. ඒ නිසාම බොහෝ අය පෙළෙන යටි කොන්දේ වේදනාවට භෞත චිකිත්සක ප්‍රතිකර්මද අත්‍යවශ්‍ය වේ.

යටි කොන්දේ වේදනාවට භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රම

* Postural correction
* Ergonomic advice

ඉරියව් හා හැසිරීම් නිවැරදි කරන්නට රෝගීන් දැනුවත් කිරීම

* මැකෙන්සි ක්‍රමවේදය
( Mckensie approach)
* මාංශ පේශි අසමතුලිතතාවය නිවැරදි කිරීමට භාවිතා කරන ඇදීමේ සහ ශක්තිමත් කිරීමේ ව්‍යායාම සහ චලන පරාසය වැඩි කිරීමට සිදුකරන ව්‍යායාම චිකිත්සාව
* තදවී ඇති මාංශ පේශි සහ අවුළුවන ස්ථානයන් ලිහිල් කිරීම සඳහා වියලි කටු චිකිත්සාව
* ප්‍රදාහ තත්ත්වයන් සහ වේදනා සමනයට Ultra sound, IFT, TENS එවැනි විද්‍යුත් චිකිත්සක ක්‍රම
* Spine & Joint manipulation ක්‍රමවේද මගින් චලන පරාසය වැඩි කිරීමට සහ යාන්ත්‍රණය වැඩිදියුණු කරන්නට සිදුකරන මැනුවල් තෙරපි
* කොන්දේ අවට මාංශ පේශී ලිහිල් කිරීමට Lumbartraction භාවිතය
යනාදිය එවැනි භෞත චිකිත්සක ප්‍රතිකර්ම කිහිපයකි.

මෙම ක්‍රමවේද සහ විශේෂයෙන් ව්‍යායාම චිකිත්සාව මගින් කොඳු ඇට පෙළෙහි හා ඒ අවට මාංශ පේශීන් හා අනෙකුත් පටකවල යාන්ත්‍රණය නිවැරදි කිරීමක් සිදුකොට ශක්තිමත් කිරීම තුළින් රෝගය නිට්ටාවටම සුවපත් කළ හැකිය.

යටි කොන්දේ වේදනාවට රෝග මූලය කුමක්දැයි නොසොයා වේදනානාශක පමණක් භාවිතා කිරීමත්, තම පුරුදු හා ඉරියව් වෙනස් කර නොගැනීමත් හේතුවෙන් බරපතල තත්ත්වයට පත්වන කොන්දේ වේදනාව ශල්‍ය කර්මයක් මගින් යථා තත්ත්වයට පත් කරන්නට වුවද සිදුවිය හැකිය. මේ තත්ත්වයට පත්වීමට පෙර රෝග මූලයට භෞත චිකිත්සක ප්‍රතිකාර කිරීමෙන් සාර්ථකව රෝගය සුවපත් කළ හැකිවේ.

විශේෂඥ භෞතචිකිත්සක ඩී.කේ. ඇන්තනී

ඉන්දු පෙරේරා

 

විනිවිද සායනය