යල කන්නයේ වී වගා හානි බිම් ප්‍රමාණය හෙක්ටයාර් 7686ක්

මෙවර යල කන්නය තුළ කෘමි වසංගත හා ගංවතුර හේතුවෙන් වී වගා කළ කුඹුරු ඉඩම් හෙක්ටයාර් 7686ක වගා හානි වාර්තා වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ගංවතුර නිසා හෙක්ටයාර් 2908ක් හා රෝග හා පළිබෝධ හානි නිසා හෙක්ටයාර් 4778ක් වශයෙන් වී වගාවන් හානියට පත් වී තිබේ.

මෙම වගාහානි වැඩිපුරම වාර්තා වන්නේ ත්‍රිකුණාමලය, අම්පාර, පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්කවලින්.

නමුත් මෙවර යල කන්නයේ වගා කළ සමස්ත කුඹුරු ප්‍රමාණය වන හෙක්ටයාර් 480,000කින් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 20ක අස්වැන්නක් ලැබෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර එය මින්පෙර යල කන්නවලට සාපේක්ෂව ඉහළ අස්වැන්නක්.

මින් පෙර යල කන්නවල දී ලද වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 1.5ක්.

වගා කරන ලද වපසරිය අනුව සමස්ත වී වගා කළ කුඹුරු ප්‍රමාණයෙන් සියයට 77ක් නාඩු වී වර්ග ද, සියයට 11ක් සම්බා වී වශයෙන් ද, සියයට 12ක් කීරි සම්බා වශයෙන් ද වගා කර තිබේ.

යල කන්නයේ වගා හානි සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනලදි.

බොහෝ ප්‍රදේශවල තවමත් අස්වනු නෙළමින් පවතින බැවින් අස්වනු නෙලීම අවසන් වූ වහාම වගා හානි සඳහා මුදල් ගෙවීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු යොදා තිබේ.

කාලීන පුවත්