යල් පැන ගිය රජයේ “පොදු ආකෘති”යාවත් කාලීන කෙරේ

දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු යාවත් කාලීන කිරීමකින් තොරව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් නැවත නැවතත් මුද්‍රණය කරනු ලබන “පොදු ආකෘති” සමාලෝචනය සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.රජයේ සේවාවන් සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් විවිධ රාජ්‍ය ආයතන විසින්පොදු ආකෘති 98ක් දැනට භාවිතයේ පවතී ඉන් ඇතැම් ඒවා යල් පැන ගොස් ඇති අතර වර්තමානයට කිසිසේත් නොගැලපෙන ඒවා සුදුසු අයුරින් යාවත්කාලීන කිරීම මෙහි අපේක්ෂාව වී තිබේ.ඒ අනුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් රජයේ ප්‍රයෝජනය සඳහා දැනට මුද්‍රණය කරනු ලබන සියලුම ආකෘති පත්‍ර සමාලෝචනය මෙම කමිටුව මගින් සිදු කෙරේ. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල් එච්.ඒ. චන්දන කුමාරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පත් කර ඇති කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඩී.එච්.එස්. පුල්ලේපෙරුම, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (සංවර්ධන) යූ.අයි.ඩබ්ලිව්. සෙනෙවිරත්න යන මහත්වරු කටයුතු කරති.

කාලීන පුවත්