යාල සංචාරක මඟ පෙන්වන්නෝ වනෝද්‍යානයෙන් පිටත වැවකට ජලය පුරවති

පවත්නා නියඟය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානය තුළ ජලාශ වල ජලය සිඳී යාමෙන් වන සතුන්ට අත්ව ඇති ඛේදනීය ඉරණමට විසඳුම් වශයෙන් වනෝද්‍යානය තුළට ජල බවුසර් ගෙන යාමට අවසර නොලද සංචාරක මඟ පෙන්වන්නන් 60 ක පමණ පිරිසක් එකතුව‘සිනමන් වයිල්ඩ්’ ප්‍රධාන මාර්ග පිවිසුම අසළ කුඩා වැවට ජල පිරවීම ඊයේ (27) ආරම්භ කළහ.යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන් ගේ ජීවිතාරක්ෂාව පිණිස තම පෞද්ගලික මුදලින් එම වැවට ජල බවුසර් 24 ක් පුරවන බවත් ඉන් පසුව රටේ පුරා සිටින වන සතුන්ට ආදරය කරන පුද්ගලයන් සහ ආයතන දිගටම එම වැවට ජලය පුරවතැයි බලාපොරොත්තු වන බවත් සංචාරක මඟ පෙන්වන්නෝ පවසති.එසේ ජලය පිරවීමෙන් පසුව අලි ඇතුන් ඇතුළු වන සතුන් රැසක් ජලය පානය කිරීම සඳහා දුර බැහැර සිට එම වැවට පැමිණෙති.ජල ලීටර 15,000 ක බවුසරයක් සඳහා රුපියල් 8,000 ක මුදලක් වැය වන බවත් ඕනෑම කෙනෙක්ට බවුසර් ඇනවුම් කර එම වැව පිරවිය හැකි බවත් එම සංචාරක මඟ පෙන්වන්නෝ පවසති..මේ දිනවල පවත්නා දැඩි නියඟය හේතුවෙන් වනෝද්‍යානයේ සතුන් ගේ ජීවිත මාරාන්තික අවදානමකට පත්ව තිබිය දී පරිසර අමාත්‍ය වරිය ජාතික වනෝද්‍යාන වල සතුන්ට බාහිර පුද්ගලයන් විසින් ජලය සැපයීම අත්හිටුවා ඇති බවත් එසේ වනෝද්‍යාන වල සතුනට බාහිර පුද්ගලයන් ජලය සපයන්නේ ද යන්න පිළිබඳව නිරතුරුව විමසිල්ලෙන් පසුවන බවත් පවසන ජාතික වනෝද්‍යාන ආරංචි මාර්ග සඳහන් කරනුයේ ඇගේ මෙම ක්‍රියාව පසුගිය කොවිඩ් සමයේ ඇගේ හාස්‍ය ජනක හැසිරීම් රටාව යළි සිහි ගන්වන බවකි.

කාලීන පුවත්