යුගදනවි බලාගාරයට ගෑස් සපයන කැබිනට් පත්‍රිකාව තක්කඩි කමක් !

යුගදනවි බලාගාරයට ගෑස් සැපයීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡාවට ලක් නොවූ බවත් මෙම ගිවිසුම හරහා ගෑස් සැපයීමේ ඒකාධිකාරිය නොපෙනෙන ඉමක් දක්වා ඇමෙරිකානු සමාගමට හිමිවන බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.එම ගිවිසුම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට ඊයේ(29) පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ දී පැවැති හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
“ වසංගතය නිසා අමාත්‍ය මණ්ඩල පැවැත්වූයේ ඔන්ලයින් හරහායි. කැබිනට් මණ්ඩලයේ සාමාන්‍ය ක්‍රමය තමයි ප්‍රමාණවත් කාලයක ඇමති මණ්ඩලයට සන්දේශ ලැබෙන්න ඕන. ඇමති මණ්ඩලය තම තමන්ගේ මතය ඉදිරිපත් කිරීමෙන් පසුව තමයි සම්මත කර ගන්නේ. ඊට අපි හැමෝම වගකියනවා.නමුත් නිව් ප්‍රෝට්රේස් සමාගමට ගෑස් සැපයීමේ ඒකාධිකාරිය, බොරුවට අවුරුදු කියන්න එපා අවුරුදු පහක් කියලා. අනාගතයේ නොපෙනන ඉමක් දක්වා ගැස් සැපයිම භාර දෙන්නේ ඔය ඇමෙරිකානු සමාගමට. ඇමෙරිකානු සමාගමට සදාකාලිකවම ගෑස් සැපයිමේ ඒකාධිකාරිය දෙන මේ කැබිනට් පත්‍රිකාව ආවේ කොහොමද දන්නවද?අපි ඔන්ලයින් ඉන්නවා. සියලු අපි දන්න කැබිනට් පත්‍රිකා කතා කරලා ඉවර කරනවා. වෙනත් කරුණු කියල එකක් එනවා. ඒකෙදී ගරු මුදල් ඇමතිතුමා අහනවා කැබිනට් ලේකම්ගෙන් ‘ලේකම්තුමා මමත් අද එකක් ගෙනාවා ඒක නැත්ද?’ කියලා.
එතකොට කැබිනට් ලේකම් කියනවා ‘ගරු ඇමතිතුමා ඒක මට ආවේ මම වාඩිවුණාට පස්සේ මට ඒක කියව ගන්නත් බැරිවුණා කියලා. ඔබතුමා පැහැදිලි කරන්න’ කියලා.
සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට පැහැදිලි කරන්නේ කැබිනට් ලේකම් තුමා. කැබිනට් ලේකම් කියනවා ‘මම මෙතන වාඩි වුණාට පස්සේ ඕක ආවේ. මට කියව ගන්නත් බැරිවුණා. දන්නේ ඔබතුමානේ ඔබතුමාම ඕක කියවන්න’ කියලා.මම ඇමති මණ්ඩලයේ මහා දීර්ඝ කාලයක් නොසිටියත් මම එහෙම අවස්ථාවකට මුහුණ දීලා නෑ. ඒක ඒ විදිහට ඉවර වුණා.ඊට පස්සේ උදය ගම්මන්පිල මැතිතුමා අපිට මොකද වුණේ කියලා හිතන කොට කැබිනට් මිනිස්ට් ඇවිත් තියෙනවා අහවල් කැබිනට් පත්‍රිකාවට ඇමතිතුමා දිර්ඝ ලෙස කරුණු පැහැදිලි කළ අතර දීර්ඝ සාකච්ඡාවලට පසුව මේ මේ තීරණවලට එකඟවිය කියලා.එතකොට.මම ඔලුවට අයිස් කැටයකින් ගහගෙන බැලුවා මේ හීනයක්ද කියලා. ඔන්න ඔහොමයි මේක අනුමත වුණේ. . කිසිම සාකච්ඡාවක් වුණේ නෑ. බොරු ලියන්න එපා. කිසිම සාකච්ඡාවක් වුණේ නෑ.මේක හොරට ගෙනාවේ. තක්කඩිකමින් ගෙනාවේ. කිසිම සාකච්ඡාවක් වුණේ නැ. මේ ඇමති කට්ට වෙනුවෙන් ඔය ඔක්කොම පිළි අරගෙන හෘද සාක්ෂිය තඩි ගලකට ගැටගහලා වතුරට ඔබාගෙන ඉන්න අපිට බෑ. අපි ඒ සංස්කෘතියට අයිති අය නෙමෙයි.අපි ඇමතිකම් තිබුණත් නැතත් මේ රටේ ජීවත්වෙලා මේ රටේ මැරිලා යන්න ඉන්න මිනිස්සු. අපේ බොඩි එක කොහොවත් වෙන රටකට ගෙනි යන්නේ නෑ. අවුරුදු පහකට බලයක් අරන් මුළු ගෑස් සැපයිමේ ඒකාධිකාරය මේ රටට හතුරු රටකට හොර පාරෙන් දෙන එකට අපි කිසිසේත් එකඟ වෙන්නේ නෑ”යැයි ද ඇමති වරයා කීය.

කාලීන පුවත්