රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය ප්රචලිත කිරීමට වත්මන් රජය ගත් තීරණය සම්බන්ධයෙන් ගොවීන්ගේ ගැටලු පිළිබඳ විමසා බැලීමට සූර්යබල, සුළං හා ජලවිදුලි ජනන රාජ්ය ඇමැති දුමින්ද දිසානායක මහතා පසුගියදා අනුරාධපුරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.
අනුරාධපුර තිරප්පනය ප්රදේශයේ මිරිස්, වට්ටක්කා ඇතුළු එළවළු හා අතිරේක භෝග වගා කරන ගොවීන් හමු වී ඔවුන් සමඟ සාකච්ජා කර ගොවිබිම් ද නිරීක්ෂණය කරනු ලැබීය.
අනුරාධපුර දිස්ත්රික්කයේ තිරප්පනය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවතවැව, ඉලුප්පුකන්නිය, පුලියන්කුලම, ගැටලාව යන ගම්මානයන්හි ගොවි ජනතාව හමු වී ඔවුන් සමඟ ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.
එහිදී ගොවීන් කියා සිටියේ රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර භාවිත කර වගා කිරීම සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බවටයි.
එම ගැටලු හේතුවෙන් ගොවීන් මහා පරිමාණ වගාවන් සිදු කිරීමෙන් ද ඈත්ව ඇතැයි ඔවුහු වැඩිදුරටත් පවසා සිටියහ.
යූරියා වෙනුවට දියර නයිට්රජනුත් කාබනික පොහොර වර්ගත් සැපයීමට කටයුතු කළහොත් වගා කටයුතු ආරම්භ කිරීමට නොහැකි ද යන්න එහිදී ඇමැතිවරයා ගොවීන්ගෙන් විමසා සිටියේය.
එවිට එක් ගොවියකු තමන්ට තිබෙනා ගැටලු සම්බන්ධයෙන් මෙසේ පවසා සිටියේය.
‘අපේ හේන්වල තියෙන්නේ මානා, එක වැස්සක් වැහැපු ගමන් මානා හැදෙනවා. වල් මර්දනය කරන්න රසායනික නැතුව, වගා කරලා වැඩක් නෑ. කාබනික පොහොර මීට කලින් පාවිච්චි කරපු නැති නිසා මහා පරිමාණයෙන් වගා කරන්න බයයි.
අක්කර 05ක් වගා කරපු කෙනෙක් දැන් වගා කරන්නේ අක්කරයක් විතර. ගොවියෝ දැන් කබලෙන් ළිපට වැටිලා ඉන්නේ. ගොවීන්ට ආයේ වෙන්න දෙයක් නෑ. යූරියා පොහොර අදටත් තියෙනවා. 1500ට දුන්න පොහොර මිටිය දැන් රුපියල් 6500යි.
ඒ කියන්නේ පොහොර රට ඇතුළේ තියෙනවා. ඇයි මේ ගොවියෝ අසරණ කරන්නේ. දැන් කරපු වගාවල්වලට ඉතින් රුපියල් 6500ට හරි පොහොර ගෙනත් ගහනවා. වගාව මැරෙන්න ඇරලා බලන් ඉන්න බැරි නිසා. අපි මින් ඉස්සරහට අපේ කෑමට විතරක් වගා කර ගන්නවා. මේ තියෙන මිලට අපිට වගා කරන්න බෑ.’