රජයේ අඳ බාල තීරණ වලින් වගා පාළු වන ගොවීන්ට මහජන මුදලින්ම වන්දි ගෙවීම

වත්මන් රජය බලයට පත්වීමට පෙර ජන මනැස් තුළ පිබිද වූ සිහින නොසිතූ වේගයකින් බොඳ වෙමින් තිබේ.

සෞභාග්‍යයේ දැක්ම යනු හුදෙක් රජය බලයට පත්වීම පිණිස ගැසූ පම්පෝරියකැයි වේදනාවෙන් පෙළෙන ජනතාව මාධ්‍ය හමුවේ කියා සිටිති.ඒ අතර රාජ්‍ය මාධ්‍ය මෙම යථාර්ථය යට ගැසීමේ බොළඳ වෑයමක යෙදී සිටී.

ඊයේ(21) පාසල් පටන් ගනුණු මුත් අධ්‍යාපන කටයුතු බිඳ වැටී තිබූ පසුබිමක රාජ්‍ය මාධ්‍ය කියා සිටියේ දිවයිනේ බොහෝ පාසල් වල අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදු වූ බවය.මේවා ද රජයේ පරිහානී ලක්ෂණ බව පැහැදිලි ය.

මුලින්ම කාබනික කෘෂිකර්මාන්තයට පියනගනවා යැයි කීයමින් ගැසට් නිවේදන නිකුත් කළ කෘෂිකර්ම අමාත්‍යාංශය ඉන් මාස පහක් ගත වෙන තැනදී එම ගැසට් පත්‍රය රිවස් කොට කාබනික වෙනුවට හරිත කෘෂිකර්මාන්තයකට පියනඟනවා යැයි කියමින් අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහගේගේ අත්සනින් මේ ගැසට් නිවේදනය නිකුත් කළේ ඉකුත් සිකුරාදා ය. මෙම ආණ්ඩුව බලයට පත්වූ දා සිට ගැසට් නිවේදන විශාල සංඛ්‍යාවක් රිවස් කළේ කිසිදු ලැජ්ජාවකින් තොරව ය.රජය හරියකට කළේ ඉවක් බවක් නැතිව සල්ලි අච්චු ගැසීම හා නොනවත්වාම ගැසට් රිවස් කිරීම පමණක් බව පෙනෙයි.

මුලින් චීන අශුචි කාබනික පොහොර රට තුළට ගැනීමට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ නොගත් උත්සාහයක් නැත. ඔහු ගත හැකි සෑම උත්සාහයක්ම ගත්ත ද පරික්ෂා කළ සාම්පල දෙක තුළම අහිතකර ක්ෂුද්‍ර ජීවින් සිටීම නිසා ප්‍රතික්ෂේප විය. ඉන් නොසැලුණු කෘෂිකර්ම අමාත්‍යාංශය නැවත ඉන්දියාවෙන් කාබනික පොහොර ආනයනය කරන්නට උත්සාහ ගත්තේය.

එයද අසාර්ථක වූ පසු පොටෑසියම් ක්ලෝරයිඩ් නම් වූ පොහොර ලංකාවට ගෙන ආවේය. එය ඛනිජමය සම්භවයකින් යුතු කාබනික පෙහොරක් බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා සහතික කර ඇති බව සියළුම ගොවිජන සේවා මධ්‍යස්ථානවල පෝස්ටරයක් අලවා තිබේ.
පොටෑසියම් ක්ලෝරයිඩ් ප්‍රශ්නය කුමක් වුවත් එය ගොයම පීදෙන කාලයට ඉසින පොහොරකි.

ගොවීන් එය හඳුන්වන්නේ බණ්ඩි පොහොර ලෙසය. කුඹුරු සකසා බීජ වපුරා නැති අවස්ථාවක බණ්ඩි පොහොර දෙන්නේ කුමටදැයි ගොවියෝ ප්‍රශ්න කරති. ඔවුන්ට මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ මූලික පොහොරකි. ගොවීන් එය හඳුන්වන්නේ මඩ පොහොර ලෙසය. බිම් සකස් මඩ පොහොර ඉසින්නේ බීජ හොඳින් වැඩීම උදෙසාය. බණ්ඩි පොහොර යොදන්නේ පීදෙන ගොයමට ය.

මඩ පොහොර යනු යූරියා සමග තවත් රසායනික දියරයන් කළවම් කොට ඉසින පොහොරකි. දැන් වෙළෙඳ පොලේ යුරියා නැත. කෘෂිකර්ම අමාත්‍යාංශය දැන් ඉන්දියාවෙන් නැනෝ යුරියා පොහොරක් ගෙනවිත් තිබේ.

රුපියල් බිලියන 9 ක් වියදම් කොට මෙම නැනෝ යුරියා ලිටර් මිලියන 2.1 ක් ආනයනය කොට ඇත. ඒවා ගොවිජන සේවා මධ්‍යස්ථානවලට බෙදා හරින බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.නමුදු මෙම නැනෝ යූරියා පොහොර කෘෂි බෝග සඳහා යොදන අතිරේක පොහොරක් බවත් එය අවස්ථානුකූල සහ සීමිත භාවිතයන් සඳහා පමණක් නිර්දේශ වන්නක් බවත් විද්වත්හු කියති.

ඒ සම්බන්ධයෙන් කිසිදු වග විභාගයක් නොකළ රජය රුපියල් බිලියන 9 ක් වියදම් කොට මෙම නැනෝ යුරියා ලිටර් මිලියන 2.1 ක් එක වර ආනයනය කිරීම ද සැකයට තුඩු දෙන්නකි.මෙය හරියට ළදරුවා ඉපදුණු අවදියේ යොදය සහිත කිරි පිටි ලබාදී දරුවා ලොකු මහත්වූ පසු මව්කිරි ලබාදීමට සමාන ය.

මෙම නිසා ගොවීන් තවමත් වී වගා කිරීමට පෙළඹී නැත. ඔක්තෝම්බර් 15 දා සිට මහ කන්නය ආරම්භ වූ අතර තවමත් බිම් සකසා අවසන් කොට ඇත්තේ 40% ක් පමණකි. වාරි මාර්ග දෙපාර්තමේන්තුව කුඹුරු වෙනුවෙන් ජලය ලබාදෙමින් සිටියි.ගොවීන් පවසන්නේ කුඹුරුවලට දින පහක් තිස්සේ වතුර ලැබුණත් ගොවිතැන් කොට පාඩුවුවහොත් ඒකට වගකියන්නේ කව්ද? යන්නය. පොහොර දෙන තුරු වගා කටයුතු ආරම්භ නොකරන බව බහුතරයක් ගොවීහු පවසති.

පොටෑසියම් ක්ලෝරයිඩ් මෙන්ම නැනෝ යුරියා පොහාර ද මෙරටට ආනයනය කළේ කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරවය. එසේම නිසි විද්‍යාගාර පරික්ෂාවකින් ද තොරව ය. පැරණි ලේඛන භාවිතා කරමින් හා පවතින හදිසි තත්ත්වය පෙන්වා මෙම පොහොර රටට ගෙනවිත් තිබේ.

පොහොර ආනයනය යනු මුදල් එහා මෙහා සංසරණය වන කදිම මාෆියාවකි. ඖෂධ මෙන්ම පොහොර ද පාලනය කරන මාෆියා කල්ලි සිටිති. රසායනික පොහොරේ සිට කාබනික පොහොර සදහා ක්ෂණයෙන් මාරුවීම ද මෙහි කොටසකි.

හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් පවසන්නේ පොහොර ආනයනයේදී බරපතල ලෙස අතයට ගණුදෙනු සිදුවන බවකි. මේ අතර තත්ත්වයෙන් ඉහළ කෘෂි රසායන ගෙන්වීමට අවසර දෙන බව ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ ප්‍රකාශ කරයි.. ඒ අනුව වල් නාශක හා කෘමිනාශක ද පෙර පරිදිම මෙරටට පැමිණෙනු ඇත. කාබනික කෘෂිකර්මාන්තය හරිත කෘෂිකර්මාන්තයට හැරවුණේ එලෙසිනි.

බහුජාතික සමාගම් දෙකකට කෘෂි රසායන අලෙවියේ ඒකාධිකාරය ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවද කීර්ති තෙන්නකෝන් පවසයි. කාබනික පොහොර සංකල්පය යටතේ හිගයක් ඇති කර රසායන පෙහොර ගෙන්වූ ආකාරයටම, රටේ කෘෂි රසායන අවශ්‍යතාවයෙන් 92% ක් බහු ජාතික සමාගම් දෙකකට ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගජමිතුරන් කටයුතු කරමින් සිටින බවද ඔහු කියයි.

පුද්ගලික ව්‍යාපාරිකයන්, කෘෂි රසායන අලෙවිකරුවන්ට කෘමි නාශක, වල් නාශක, දිලීර නාශක බෙදීම තහනම් කරමින් ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් ගොවීන්ට මුදලට මේවා අලෙවි කිරීමට සැලසුම් කරන බවට ද වාර්තාවේ.

සැබැවින් කාබනික හා රසායනික යන වචන පටලවමින් මේ නිර්මාණය කළේ නිදහස් වෙළෙද පොල අහිමි කරමින් ජවාරම්කරුවන්ට ලංකාවේ කෘෂිකර්මාන්තය ධන උල්පතක් කරදීමක්ද?.එසේ නම් මෙයද මහදවල් සිදුවූ කොල්ලයකි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා කලට ඉහත කාබනික පොහොර ඒජන්තයෙකු ලෙස කටයුතු කළ අයෙකු බවත් දැන් රසායනික පොහොර ගෙන්විය යුතු බව කියමින් ගැසට් නිවේදනය වෙනස් කර ඇති බවත් කීර්ති තෙන්නකෝන් හිටපු ආණ්ඩුකාරවරයා පවසයි.

මේ අතර නැනෝ යුරියා ලෝකයේ අති නවීන පොහොරක් බවත් ඒවා භාවිතයෙන් අස්වැන්න අඩු වුවහොත් ගොවීන්ට රජය මඟින් වන්දි ලබා දෙන බවත් කෘෂිකර්ම ඇමති වරයා ජනාධිපති ඉදිරියේම පාර්ලිමේන්තුවේ දී කීය.

ඔහු ඒ කියනුයේ රජයේ අඳ බාල තීරණ හමුවේ බැට කන ගොවීන්ට වන්දි ගෙවීම පිණිස රුපියල් ප්‍රකෝටි ගණනක මහජන මුදල් වැය කිරීමට පවා රජය සූදානම් බවය.

තමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මොන තරම් නම් බාල බොළඳ වාක්‍ය රචනාවක් වී තිබේදැයි ජනාධිපති වරයා ඒ මොහොතේ හෝ තේරුම් ගත්තේ දැයි අපි නම් නොදනිමු.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර