රජිව් ගාන්ධි ගේ දියණිය ප්‍රියංකා ගාන්ධි පළමු වරට මැතිවරණ දේශපාලනයට

vinivida
ඉන්දියාවේ සුප්‍රකට අගමැතිවරයකු වූ රජිව් ගාන්ධි ගේ බාල දියණිය වන ප්‍රියංකා ගාන්ධි මේ දිනවල එරට මාධ්‍ය තුළ විශේෂ අවධානයක් දිනා ගනිමින් සිටියි. එයට හේතුව ඇය පළමු වරට මැතිවරණයකට ඉදිරිපත් වෙමින් පාර්ලිමේන්තුවට පිවිසීමට සූදානම් වෙමින් සිටීම යි.

රජිව් ගාන්ධිට සහ ඔහුගේ බිරිඳ වූ සෝනියා ගාන්ධිට දරුවන් දෙදෙනෙකි. වැඩිමලා රහුල් ගාන්ධි ය. බාලයා ප්‍රියංකා ය. රහුල් මේ වනවිට 54 වැනි වියෙහි පසුවන අතර ප්‍රියංකාගේ වයස අවුරුදු 52 කි. සෝනියා සහ රහුල් කාලයක සිටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරමින් සිටිති. දැන් ප්‍රියංකා ද ඒ සඳහා සූදානම් වෙමින් සිටියි. ඔවුන් සියලු දෙනා අයත් වන්නේ ඉන්දියාවේ ප්‍රධාන විරුද්ධ පක්‍ෂය වන ඉන්දීයානු ජාතික කොංග්‍රස් පක්‍ෂයට යි. එම පක්‍ෂය ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි අයත් වන භාරතීය ජනතා පක්‍ෂයේ ප්‍රධාන විරුද්ධවාදියා යි.

ප්‍රියංකා ඉන්දියානුවන් අතර ඉතා ජනප්‍රිය චරිතයක් ලෙස සැලකෙන අතර ඇයගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය බොහෝ දෙනා කාලයක සිටම බලාපොරොත්තුවෙන් සිටි දෙයකි. ඇය 2019 වසරේ මහා මැතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි එකල ආරංචි පැතිරිණි. ඇයගේ පක්‍ෂයේ ආධාරකරුවෝ ද ඒ ගැන බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටියහ. නමුත් එය සිදු වූයේ නැත.

ප්‍රියංකා ඉන්දියානුවන් අතර ඉතා ජනප්‍රිය චරිතයක් ලෙස සැලකෙන අතර ඇයගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය බොහෝ දෙනා කාලයක සිටම බලාපොරොත්තුවෙන් සිටි දෙයකි. ඇය 2019 වසරේ මහා මැතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි එකල ආරංචි පැතිරිණි. ඇයගේ පක්‍ෂයේ ආධාරකරුවෝ ද ඒ ගැන බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටියහ. නමුත් එය සිදු වූයේ නැත. මේ වසරේ ද ඉන්දියාවේ මහා මැතිවරණයක් පැවැත්වුණු අතර ප්‍රියංකා එයට ඉදිරිපත් වනු දකින්නට බොහෝ දෙනා කැමැත්තෙන් සිටියෝය. ඇය එයට ඉදිරිපත් වනු ඇති බවට මෙවර ද යම් යම් ආරංචි පැතිරිණි. නමුත් අවසානයේ එය ද සිදු නොවිණි.

ප්‍රියංකා, රහුල් සහ සෝනියා

කෙසේ හෝ වේවා, මහා මැතිවරණය අවසන්ව සති කිහිපයකට පසු දැන් ඇය අතුරු මැතිවරණයක් හරහා පාර්ලිමේන්තුවට පිවිසීමට සූදානම් වන බව වාර්තා වේ. එය නම් මේ වනවිට බොහෝ දුරට සනාථ වී ඇති තොරතුරකි.

මෙම අතුරු මැතිවරණය පැවැත්වීමට යන්නේ වයනාද් නැමැති මැතිවරණ ආසනයක් වෙනුවෙනි. එය පිහිටා ඇත්තේ දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ යි. පසුගිය දා පැවැති මහා මැතිවරණයේ දී මෙම ආසනය වෙනුවෙන් තරග කර එය ජය ගත්තේ ප්‍රියංකාගේ සොහොයුරා වන රහුල් ගාන්ධි ය. ඔහු මැතිවරණයේ දී ආසන දෙකක් වෙනුවෙන් තරග කළ අතර එම ආසන දෙකම ජයගන්නට සමත් විය. අනෙක් ආසනය නම් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ රේ බරෙලි නැමැති ආසනය යි.

ආසන දෙකකට තරග කිරීමට ඉන්දියාවේ අවසර ඇතත් පාර්ලිමේන්තුව තුළ ආසන දෙකක් නියෝජනය කිරීමට මන්ත්‍රීවරයකුට අවසර නැත. එම තත්ත්වය තුළ රහුල් ගාන්ධි පසුගියදා වයනාද් ආසනයෙන් ඉල්ලා අස් වූයේය. එහි අතුරු මැතිවරණයක් පැවැත්වීමට සිදුව ඇත්තේ ඒ නිසා යි. දැන් එම ආසනය වෙනුවෙන් තරග කිරීමට සූදානම් වන ප්‍රියංකාට එය ජය ගැනීම කිසිසේත් අපහසු නොවනු ඇත.

ආසන දෙකකට තරග කිරීමට ඉන්දියාවේ අවසර ඇතත් පාර්ලිමේන්තුව තුළ ආසන දෙකක් නියෝජනය කිරීමට මන්ත්‍රීවරයකුට අවසර නැත. එම තත්ත්වය තුළ රහුල් ගාන්ධි පසුගියදා වයනාද් ආසනයෙන් ඉල්ලා අස් වූයේය. එහි අතුරු මැතිවරණයක් පැවැත්වීමට සිදුව ඇත්තේ ඒ නිසා යි. දැන් එම ආසනය වෙනුවෙන් තරග කිරීමට සූදානම් වන ප්‍රියංකාට එය ජය ගැනීම කිසිසේත් අපහසු නොවනු ඇත. ඇය මෙයට පෙර කිසි දිනෙක මැතිවරණයක් සඳහා තරග කර නැතත් ප්‍රියංකා සැලකෙන්නේ රහුල්ටත් වඩා ජනප්‍රිය චරිතයක් ලෙසිනි.

ප්‍රියංකා ගේ ජනප්‍රියත්වයට ඇයගේ පෙනුම ද බලපා ඇති බවට විශ්වාසයක් පවතී. ඇය ගේ පෙනුම ඇයගේ මිත්තණියක වූ හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි ගේ පෙනුමට යම් දුරකට සමාන බව බොහෝ දෙනාගේ අදහස යි.

රජිව් සහ සෝනියා සිය දරු දෙදෙනා සමග

වයනාද් අතුරු මැතිවරණය පැවැත්වෙන දිනය ගැන තවම ප්‍රකාශයට පත් කර නැත. නමුත් ප්‍රියංකා ඊට තරග කරන නිසා එය විශාල අවධානයක් දිනා ගන්නා අතුරු මැතිවරණයක් වනු නිසැක ය. පසුගිය දා පැවැති මහා මැතිවරණයේ දී රහුල් ගාන්ධි වයනාද් ආසනය ජය ගත්තේ වැඩි ඡන්ද 364,000 කට ආසන්න සංඛ්‍යාවක් ලබා ගනිමිනි. මෙවර ප්‍රියංකා ඊටත් වඩා වැඩිඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නට ඉඩ තිබේ.

ප්‍රියංකා වැනි ආකර්ශණීය නායිකාවක පාර්ලිමේන්තුවට පිවිසුණහොත් එය විරුද්ධ පක්‍ෂයට තවත් ශක්තියක් වනු ඇත. කොහොමටත් මේ වනවිට එරට විරුද්ධ පක්‍ෂ සිටින්නේ පෙරට වඩා ප්‍රබල තත්ත්වයක යි. පසුගිය දා පැවැති මහා මැතිවරණයේ දී මෝදි ගේ භාරතීය ජනතා පක්‍ෂයට කලින් මැතිවරණවල දී තරම් විශාල ජයග්‍රහණයක් ලබා ගන්නට හැකි වූයේ නැත. පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගන්නට පවා නොහැකි වූ අතර ඒ නිසා ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවන්නට සිදු වූයේ තවත් පක්‍ෂවල සහය ලබා ගනිමිනි. නමුත් විරුද්ධ පක්‍ෂ මෙවර මැතිවරණයේ දී කැපී පෙනෙන ඉදිරි පිම්මක් ලබා ගන්නට සමත් විය. ඉන්දීය ජාතික කොංග්‍රසයේ මූලිකත්වයෙන් එම පක්‍ෂ එක්ව පිහිටුවා ගත් INDIA (Indian National Developmental Inclusive Alliance) නැමැති සන්ධානය ආසන 234 ක් දිනා ගත්තේය. මෝදි ගේ පක්‍ෂය අයත් සන්ධානය දිනා ගත් ආසන ගණන 293 කි. ප්‍රියංකා ගාන්ධි මහා මැතිවරණයට ඉදිරිපත් නොවූවත් ඇයගේ පක්‍ෂයේ මෙන්ම INDIA සන්ධානයේ ද කටයුතුවලට විශාල වශයෙන් කැප වී ක්‍රියා කළාය. එම නිසා විරුද්ධ පක්‍ෂ ලැබූ ඉදිරි පිම්මට දායක වූ චරිත අතර ඇය ද ප්‍රධාන චරිතයකි.

ප්‍රියංකා ගාන්ධි විවාහ වී සිටින්නේ ව්‍යාපාරිකයකු වන රොබට් වද්‍රා සමග යි. ඔවුන්ට දරුවෝ දෙදෙනෙක් සිටිති. වැඩිමල් පුතු රයිහාන් 23 වැනි වියෙහි පසුවන අතර බාල දියණිය මිරායාගේ වයස අවුරුදු 21 කි.

ප්‍රියංකා බුදු දහම සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දැක්වන කෙනෙකු බවක් ද සඳහන් ය. ඇය බෞද්ධ අධ්‍යයනයන් පිලිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා තිබේ. එමෙන්ම බෞද්ධ භාවනා ක්‍රම පිලිබඳ විශාල උනන්දුවක් දක්වන බවක් ද සඳහන් වේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර