“රටේ අර්බුද වලට ආණ්ඩුව වගේම රජයත් වග කිව යුතුයි” හිටපු මහ දිසාපති වරයකු කියන කතාවක්

arbuda

රටේ එදිනෙදා පාලන කටයුතු කරන්නෙ ආණ්ඩුවද? නැත්නම් රජයද? වර්තමානයේ මේක සෑහෙන වැදගත් ප්‍රශ්නයක්.මොකද මුලු රටම අර්බුද ගොඩකින් වෙලිලා ඇඹරිල ගිහිල්ල තියෙන වෙලාවක සාමාන්‍ය මිනිස්සු බනින්නෙ ආණ්ඩුවට. ආණ්ඩුවක් කියල සාමාන්‍යයෙන් කියන්නෙ දේශපාලනඥයින්ටයි.ඡන්දෙකින් පත්වෙලා එන මන්ත්‍රී වරුන්ගෙන් බහුතරය හිමි කන්ඩායම ආණ්ඩුවක් පිහිටවනවා. ඒ ආණ්ඩුවක් පිහිටවනවා කියලා කියන්නෙ කැබිනට් මණ්ඩලයක් පිහිටවලා අගමැති කෙනෙක් පත්කරලා අමාත්‍යංශ නිර්මාණය කරල ඒවට ඇමතිවරු සහ ලේකම් වරු පත් කරන එකටයි.එතකොට මේ ආණ්ඩුවට කරන්න තියෙන්නෙ මොකක්ද?.ආණ්ඩුව කරන්න ඕන රාජ්‍ය පාලනය මෙහෙයවීම හා ඒ පිළිබඳව වගකීම ගැනීමයි. ආණ්ඩු වෙනස් වුණාට රාජ්‍යය කියන ව්‍යුහය ස්ථාවරයි.රාජ්‍යය යනුවෙන් හඳුන්වන්නේ නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක්.එය පාලනය අරබයා පනවන නීති රීති පද්ධතිය හා සම්ප්‍රදායන් ඒ තුළ පවතින සංස්කෘතික අනන්‍යතාවන් ජීවත්වන මිනිසුන් සතුන් ගහකොළ ඛනිජ සම්පත් වගේම දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල රාජ්‍ය ව්‍යවසායන් ආදී සියල්ල රාජ්‍යයට අයත් දේවල්.රාජ්‍ය පාලනය පිළිබඳව පොදුවේ පිළිගත් නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.

ඒආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පුරවැසියන්ගෙන් ඡන්ද බලය හිමි අයගේ ඡන්දයෙන්‍ රාජ්‍ය නායකයෙක් වසර පහකට වරක් පත් වෙනවා.ඒ නායකයාට ජනාධිපති කියා අපි ව්‍යවහාර කරනවා.රාජ්‍ය නායකයාට නිල බලෙන්ම ලැබෙන වගකීම් තමයි සන්නද්ධ හමුදාවල සේනාධිනායක ධුරය. ආණ්ඩුවේ නායකත්වය හා අමාත්‍ය මණ්ඩලයේ නායකත්වයත් ජනාධිපතිවරයටයි තිබෙන්නෙ.

දැන් රටේ පාලනය මෙහෙයවන ආණ්ඩුවට අගමැති ඇතුලු කැබිනට් මණ්ඩලය සමඟ ජනාධිපතිවරයත් අයත් වෙනවා.ජනාධිපතිවරයාට නිල බලෙන්ම එන එකක් නිසා ආණ්ඩුව විසිරුණාට ජනාධිපති වරයට අවුරුදු පහක් ඇතුලත මොකුත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ආණ්ඩුව විසුරුණහම ජනාධිපතිවරයා තව ආණ්ඩුවක් හදන්න වැඩකරන්න ඕන.ඒ නව ආණ්ඩුව හදන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කෙනෙක්ව අගමැති කරල; අමාත්‍යංශ හිතෙන හැටියට හදල ඒවාට මන්ත්‍රීවරුන්ගෙන්ම ඇමතිවරු පත්කරල ආණ්ඩුවක් හදාගන්න ජනාධිපතිට පුලුවන්.දැන් පහුගිය දවස්වල හිටපු අගමැති අස්වුණාම ආණ්ඩුව විසිරිලා ගිහින් ජනාධිපතිවරයා අලුත අගමැති කෙනෙක් පත්කරල අළුත් ආණ්ඩුවකුත් හදා ගත්තා.

දැන් මහජනතාවත් නිලධාරීනුත් සියලුදෙනාම බලා ඉන්නව නව ආණ්ඩුව මේ අර්බුදේට මොකක්ද දෙන විසඳුම කියල.එතකොට මේ අර්බුදයට විසදුම් ගේන එක රජයට අයිති නැති දෙයක්ද?ඒක ආණ්ඩුවට විතරක් පවරල රජයට පැත්තකට වෙලා බලා ඉන්න. පුලුවන්ද?මෙන්න මේ ප්‍රශ්නයයි අද මතුවෙලා තියන ගැටලුව .මේඅර්බුදය නිර්මාණයට ආසන්න හේතුව වුණේ රජයේ නායකයා හැටියට හිටපු ජනාධිපතිවරයා ගත්තු තීරණ කියලයි රටේ බොහෝ දෙනා කියන්නෙ. විශේෂයෙන් රාජ්‍ය ආදායම අඩුකර ගනිමින් ව්‍යාපාරවලට විශාල බදු සහනයක් දීම, කාබනික වගාව රටේම ක්‍රියාත්මක කරන්න රසායන පොහොර, කෘමිනාශක, වල්නාශක ආනයනය තහනම් කිරීම වගේ ඒවා කාගේ ඉගැන්වුම් බහකට වුණත් ජනාධිපතිවරයම ගත්තු තීරණ.ඒවා පස්සෙ ආණ්ඩුවත් අනුමත කළා.ඒත්, එක්කම පැණි,මුට්ටි පස්සේ ගිහින් කොවිඩ් වසංගතයට අවශ්‍ය එන්නත් කල් වේලා ඇතුව ආනයන ඇණවුම් නොකිරීම.

ඒ නිසා සාපේක්ෂව රෝගය වැළඳුණු අයගෙන් ඉහළ ප්‍රතිශතයක් මියයාම වගේ දේවල් හිටපු ජනාධිපතිගෙ තීරණත් එක්ක ආපු ගැටලු.මේ සියලු දෙයින් පේන්නෙ ආණ්ඩුව රජයේ නායකයා කියන විදියට වැඩ කළා මිසක් රාජ්‍යයේ පාලනය මෙහෙයවීම කියන කාරණය ගැන සැලකිල්ලක් නොදැක්වුව බවයි.ඒත් එක්කම රජයේ නායකයා පත්වෙලා සාමාන්‍යයෙන් නොකළ යුතු රජයේ වෙනස්කම් කීපයකුත් කරපු බවයි පෙනුණෙ. විශේෂයෙන්ම මහබැංකුව අධිපති ධුරය ආණ්ඩුවේ තනතුරක් නෙවෙයි. එය රාජ්‍ය තනතුරක්.නමුත් ඒකත් වෙනස් කරලා අණ්ඩුවට ඕන කෙනෙක් පත් කර ගත්තා.ඊළඟට ආර්ථිකය ගැන ස්වාධීනව ගත යුතු තීන්දු තීරණ මහ බැංකුවෙන් ගත්තෙ නෑ .ඒක රාජ්‍ය ආයතනයක් වුණාට වැඩ කළේ ආණ්ඩුවෙ ආයතනයක් විදියටයි.මූල්‍ය මණ්ඩලය තුළ ආණ්ඩුවේ නියෝජිතයෙක් ලෙස මුදල් ලේකම්වරයා ඉන්නවා.ඊට එහා ගිහින් මහ බැංකු අධිපති හා මුල්‍ය මණ්ඩලයට පත්කළ සාමාජිකයෙකු මගින් ආණ්ඩුවට ඕනෑ විදියට මහබැංකුව පාලනය කිරීමේ ප්‍රතිඵල හැටියට විදේශ විනිමය සංචිත කඩා වැටී රට අර්බුදයටම ගියා.

මේ අර්බුදයට ගිහින් බංකොලොත් භාවයත් ප්‍රකාශයට පත් කළ රාජ්‍යයේ ඇද වැටීමට ආණ්ඩුව පමණක් නොවෙයි; රජය පවත්වා ගෙන යන රාජ්‍ය සේවයත් එක සේ වගකිව යුතුයි.රජයේ නායකයා ගත්තු තීරණ ඉවක් බවක් නැතුව කරබා ගෙන අනුමත කළේ ආණ්ඩුවයි.එහෙම අන්තනෝමතික තීන්දු ක්‍රියාත්මක කළේ රජයයි;රාජ්‍ය සේවයයි රාජ්‍ය නායකයාගේ තීරණ පිළිබඳව යම් සමාලෝචනයක යෙදීම රාජ්‍ය පාලනය මෙහෙයවන අමාත්‍ය මණ්ඩලය වෙතින් ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට බලාපොරොත්තු වෙනවා.එපමණක් නොවෙයි. අමාත්‍ය මණ්ඩලයේ නායකයා වූ ජනාධිපතිත් සාමාජිකයොත් තනතුරේ කාර්‍ය භාරය ආරම්භ කිරීමට පෙර දෙන ප්‍රතිඥාවකින් නැත්නම් දිවුරුමකින් බැඳිලයි ඉන්නෙ.ඒ දිවුරුම අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා නීති පද්ධතියට පිටින් තීන්දු තීරණ ඔවුන්ට ගත නොහැකියි. මේ කාරණේ අනුව විතරක් බැලුවත් ජනතාවගේ ආරක්ෂාව ආහාර සම්පාදනය සෞඛ්‍ය ආරක්ෂාව වගේ දේවල් සුරැකිය යුතු රජයට ඒ කරුණු අනතුරේ දාන අත්තනෝමතික තීන්දු ගත නොහැකියි.අමාත්‍ය මණ්ඩලය තුළ සාමාජිකයින් හෝ ජනාධිපතිවරයා තමන් බැඳී ඇති දිවුරුම හෝ ප්‍රතිඥාව ගැන කිසිදු තැකීමක් නොකර මේ තීන්දුගෙන ඇති බව පැහැදිලියි.

ඊළඟට ආණ්ඩුවේ ප්‍රධානතම ව්‍යුහයක් වන අමාත්‍යංශ හා ඒවායේ ලේකම්වරුන් ක්‍රියා කර ඇත්තේ අන්ධයින් වගේ.කෘෂිකර්ම,අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්ව රසායන පොහොර ආනයනය තහනම් කිරීමේ තීන්දුවේ අහිතකර ප්‍රතිවිපාක පෙන්වා දීමට උත්සාහ කර ආණ්ඩුව ඊට සවන් නොදීම නිසා තනතුරෙන් ඉවත්වූ රෝහණ පුෂ්ප කුමාර මහතා හැර කිසිදු ලේකම්වරයෙක්‍ තමන් දැරූ තනතුරට අනුව ආණ්ඩුව ගමන් කළ වැරදි මාවත නිවැරදි කිරීමට උත්සාහ ගත් බවක් දැනගන්නට නැ.ඔවුන් කළේ “යර්ස් සර්” න්‍යායේ සිට වැලයන අතට මැස්ස ගසා නිහඬ වීමයි.මේ සියල්ලේ ප්‍රතිඵල අද ජනතාවට භුක්ති විඳීමට සිදුව ඇති පසුබිමක් තුළ ඒ රාජ්‍ය නිලධාරීන් මීට වග කිව යුතු නැද්ද?

රජය හැටියට දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල රාජ්‍ය ආයතන ඇතුලු සමස්ත රාජ්‍ය ව්‍යුහයම ස්වයං නිර්වින්දනයකට පත්ව ආණ්ඩුවට ඕනෑ හැටියට ක්‍රියා කිරීම අප රටේ නරකම සිරිතක්.රාජ්‍ය ආයතන ක්‍රියාකළ යුත්තේ ස්ථාපිත නීති රාමුව හා රජයේ නීති පද්ධතියට අනුවයි.නමුත් රාජ්‍ය ආයතන සියල්ලම පාහේ ඇමතිවරයාගේ අභිමතයට නටන රූකඩ බවට පත්වන්නේ ඒවායේ ප්‍රධානීන්ගේ නිවට, නියාලු, දීන ගති ලක්ෂණ නිසයි. අප රටේ වලංගු රජයේ ඉඩම් ආඥා පණතට අනුව ගංගා ඇල දොල රක්ෂිත කවර කරුණකටවත් බදුදීම් කළ නොහැකියි. ඒවා රක්ෂිත භූමිලෙස ආරක්ෂා කළ යුතු බව නීතියෙන්ම තහවුරුයි.එසේ වුවත් කුඩා ජලවිදුලි බලාගාර සඳහා රක්ෂිත බිම් තාවකාලික පදනමින් අවසර පත්‍ර මත බදු දී ඇත්තේ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවයි. මේ ගැන පුද්ගලික අත්දැකීමක් මටත් තිබෙනවා. මා දිසාපති ලෙස කටයුතු කළ දිස්ත්‍රික්කයක කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමට සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් අවසර ගත්තේ එවක මා අයත් අමාත්‍යංශය භාර අමාත්‍ය වරයාගේ සමීපතමයෙක් ද අයත් වුණු සමාගමකින්.නමුත් මීට එරෙහි ව දැඩි මහජන විරෝධයක් පැන නැගුණා.අදාල ප්‍රාදේශීය ලේකම්වරයාට අමාත්‍යවරයාගේ සමීපතම හිතවතුන්ගෙන් දැඩි බලපෑමක් එල්ල වුණා.ප්‍රාදේශීය ලේකම්වරයා තමාට එන බලපෑම් ගැන මට දුරකථනයෙන් විස්තර කළා.මම ඔහුට මේ කරුණ ගැන මගෙන් උපදෙස් ලිඛිතව ඉල්ලන ලෙස ඔහුට කීවා.

ඒ විමසීමට පිළිතුරු ලෙස කවර කරුණකටවත් ගංගාරක්ෂිත බදු දිය නොහැකි බවට වන ඉඩම් නියෝගය උපුටා දක්වා මේ සඳහා ඉඩම් බදු දිය නොහැකි බැව් අදාල පාර්ශව වලට දන්වන ලෙසට මම ඔහුට ලිඛිතවම උපදෙස් දුන්නා.දින දෙකක් තුළ අමාත්‍යවරයා දුරකතනයෙන් මට කතා කොට ඉතා සුහදව මා සමග පැවසුවේ ම විසින් බදු දීම නොහැකි බවට උපදෙස් දුන් ඉඩම බදුදිය හැකි බව ඉඩම් කොමසාරිස්වරයා පවසන බවයි.එවිට මම පණතේ හා ඉඩම් නියෝගවල විධිවිධාන පැහැදිලි කර එය කෙසේ වත් කළ නොහැකි බැව් පෙන්වා දුන්නා.එවිට ඇමති වරයා මගේ කරුණු දැක්වීම පිළිගන්නා බවත් එසේ තිබිය දී ඉඩම් කොමසාරිස්වරයා ඉඩම බදු දිය හැකියැයි කීවේ ඇයිද? යන ප්‍රශ්නය මතුවන බව ද කියා සිටියා.එවිට මා ගත් කටටම කීවේ ඉඩම් කොමසාරිස් මෙම නීතිමය තත්වය නොදැන සිටීම හෝ දන්නවා උනත් එය කෙලින් ඔබතුමාට කීමට කොන්දක් නැතිවීම යන දෙකෙන් එකක් ඊට හේතුව විය හැකි බවයි.ඇමති වරයා මහ හයියෙන් සිනාසී දුරකතනය විසන්ධි කළේ මට ස්තූතිය ද පළ කරමින්.ඔහු මගේ තීරණය පිළි ගත්තා පමණක් නොව අදාල සමාගමට ද දන්වා තිබුණේ ඒ ගැන කිසිවක් කළ නොහැකි බවයි..ඒ ව්‍යාපෘතිය එතනම නතර වුණා.නමුත් අදටත් රජයේ නීති පද්ධතිය අනුව ක්‍රියාත්මක විය යුතු රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වන්නේ නීතියට අනුව නොවේ.

තවත් අවස්ථාවක රටේ සිටි රාජ්‍ය නායකයෙකුට කවුදෝ දුන් ලණුවක් නිසා සියලුම යාන්ත්‍රික කියත් භාවිතය තහනම් කිරීමට සිතුණා.ඔහු වහාම නියෝග කළේ යාන්ත්‍රික ඇති අය ඒවා ළඟම පොලීසියේ ලියාපදිංචි කළ යුතු බවටයි.පොලිසිය ද මේවා ලියාපදිංචි කරන්න පටන් ගත්තා.ඒ ආසන්න දිනකදී ආරක්ෂක අමාත්‍යංශයේ රැස්වීමකදී මම පොලිසියේ ඉහලම නිලධාරියෙකුගෙන් විමසුවේ පොලීසිය යාන්ත්‍රික කියත් ලියාපදිංචි කරගන්නේ කවර නීතියකින් පැවරුණු බලයක් මතද කියායි .නමුත් එබඳු කාරියක් සම්බන්ධ නීතියක් නැති බව ඔහුගේ පිළිතුර වුණා.යාන්ත්‍රික කියත් ලියාපදිංචිය ගැන ඉන්පසු අසන්නට ලැබුණේ නැහැ.මේ උදාහරණ වලින් පැහැදිලි වන්නේ රටේ පාලනයේ රාජ්‍ය සේවය සතු කොටස ද ආණ්ඩුව හා එහි බලවතුන් විසින් තමන්ට අවශ්‍ය ලෙස මෙහෙය වූ සහ මෙහෙය වන බවයි.ඒ අනුව ආණ්ඩුව හා රාජ්‍ය එකක් සුපිරිසිදු වී අනෙක අපිරිසිදු වීමේ කිසිම හැකියාවක් නැහැ.එසේ නම් කුණු පොල් ගෙඩියක එක් බෑයකින් දුගඳත් අනෙක් බෑයෙන් සුවඳකුත් හැමිය යුතු වෙනවා.

සුනිල් කන්නන්ගර හිටපු කොළඹ රත්නසුර සහ අම්පාර මහ දිසාපති

එතෙර - මෙතෙර