රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලැබී තිබේ. වසර හතරකට බරපතල වැඩ ඇතිව හිරේ ගියේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ය. නමුත් ඔහුට වසරකුත් මාස හතකට පසු මෙම සමාව හිමි තිබේ. රන්ජන්ට ජනාධිපති සමාව හිමිවූයේ විශේෂ කොන්දේසි යටතේ ය. ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් බැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විධායකයත් අධිකරණයත් අතර ගැටුමක් නිර්මාණය වීම වැලැක්වීම පිණිස ගත් උපාය මාර්ගික පියවරකි.
එම කොන්දේසි නම් රන්ජන් රාමනායක විසින් අධිකරණයෙන් සමාව අයැද සිටිය යුතු වීම ය. අනෙක් පැත්තෙන් තමන් එදා කී දේවල් අසත්‍ය බවට දිවුරුම් ප්‍රකාශයක් ලබා දීම ය. ඊට අමතරව නැවත අධිකරණයට අපහාස නොකරන බවට රන්ජන්ගෙන් ලිඛිත ප්‍රකාශයක් ලබා ගැනීමට ද ජනාධිපතිවරයා කටයුතු කොට තිබේ.මේ සියලු කාරණා අනුව ජනාධිපතිවරයා විසින් රන්ජන්ට ලබාදුන්නේ කොන්දේසි සහිත සමාවකි. එනම් රන්ජන් යළිත් අධිකරණයට අපහාස කළහොත් ඔහුට මුල සිට සිර දඩුවම් හිමිවන බවට කොන්දේසියක් ද සහිත සමාවකි. රන්ජන් එම කොන්දේසියට අවනත වී ජනාධිපති සමාව ලබා ගත්තේය.
එහෙත්,දැන් විපක්ෂයේ සිටින පිරිස් කියා සිටින්නේ වෙනම කතාවකි.එනම් මෙහෙම සමාවක් ලබා ගෙන ඵලක් නැති බව ය. ඔවුන් කියන පරිදි රන්ජන් තව දුරටත් සිටිය යුත්තේ හිරේ ය. කොන්දේසි සහිත සමාවක් ඔහුට අවශ්‍ය නැති බව ඔවුහු කියා සිටිති. අනෙක් පසින් රන්ජන්ට කොන්දේසි සහිත සමාවක් හිමිව ඇති බැවින් වසර හතක කාලයක් ඔහුට දේශපාලනය කළ නොහැකිය.එනිසා එය ඉවත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියි. ඔහු කියන්නේ මේ සියල්ල ඉවත් කොට රන්ජන්ට පූර්ණ ජනාධිපති සමාව හිමිවිය යුතු බවකි.
එහෙත් මෙම දේශපාලන සමාව තාවකාලික එකක් බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පසුගිය දා කීය. රන්ජන්ට නිදහස හිමිවන දිනයේ සජිත් ප්‍රේමදාස සිය ගෝලයන් කණ්ඩායමක් ද රැගෙන වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටට ගොස් තිබුණි. සැබැවින්ම රන්ජන්ව සිරිගෙදරින් මුදා ගැනීමේ සටන කළේ හරීන්, මනුෂ හා සාගලය. හරීන්, මනූෂ ප්‍රසිද්ධියේ ඒ සටන ගෙන යද්දී සාගල අභ්‍යන්තරයේ රැදෙමින් එය කරගෙන ගියේය. එහෙත් මේ කිසිවෙක් රන්ජන් නිදහස් වන දා “ලකුණු දමා ගැනීමට” උත්සාහ කළේ නැත.
මනූෂ වැලිකඩට ගිය අවස්ථාවේ සජිත්ගේ ගෝලයන් විසින් මනූෂ හූ කියා පන්නා දැමූවේය. එය නිර්ලජ්ජිත ක්‍රියාවකි. අවසානයේ රන්ජන්ට නවතින්නට නිවසක් හිමිවූයේ ද මනූෂ ගෙනි. ඒ ඔහුට හිමි මාදිවෙල මන්ත්‍රී නිවාසවලිනි. රන්ජන් සිර දඩුවමට ලක්වන විට ද සිටියේ මාදිවෙල මන්ත්‍රී නිවාසවල ය. ඒ ඔහු ඒවනවිටත් මන්ත්‍රී වරයෙකු වූ බැවිනි. දැන් ඔහු සිටින්නේ ද මාදිවෙල මන්ත්‍රී නිවාසයක ය.කෙසේ නමුත් ජනාධිපති සමාව ලබා දීම ජනාධිපතිවරයෙකුට ලැබෙන විශේෂ අවස්ථාවකි. 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට ලැබෙන විශේෂ මුක්තියක් මගින් රන්ජන්ට මෙම අවස්ථාව ඔහුට හිමිවේ.
එහෙත් ජනාධිපති සමාව දිය යුතු ආකාරය ගැන ද එහි සඳහන් වේ. ජනාධිපතිවරයාට හිතුමතේ සමාව දිය නොහැකි ය.සිර දඩුවම් නියම වූ තැනැත්තෙකුට ජනාධිපති සමාව දීමට ප්‍රථම ජනාධිපතිවරයා විසින් එම කටයුත්ත අධිකරණ අමාත්‍යාංශය වෙත පැවරිය යුතු ය. අධිකරණ අමාත්‍යවරයා විසින් ඊට අදාල ලියකියවිලි සකස් කොට ඒවා සිර දඩුවම දුන් අධිකරණය වෙත යොමු කළ තීන්දුව දුන් විනිසුරුවරයාගේ හෝ විනිසුරුවරුන්ගේ කැමැත්ත අකමැත්ත විමසිය යුතුය.
විනිසුරුවරයා අකමැත්ත පළ කළහොත් ඊට හේතු විමසිය යුතු ය. එය බරපතල හේතු නම් ජනාධිපතිවරයාට සමාව දීම ගැන ගැටළුවක් මතුවේ. එවිට ඔහුට අගවිනිසුරුවරයා වෙත එය යොමු කොට අවසරය ලබා ගැනීමට සිදුවේ. රන්ජන්ට ජනාධිපති සමාව දීමට නඩු තීන්දුව දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා සේම සියලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කැමැත්ත පළ කර තිබේ. ඒ ජනාධිපතිවරයා කොන්දේසි සහිත සමාවක් පිරිනැමීමට කටයුතු කළ නිසාවෙනි.
මේ සියලු කාරණා දන්නා විපක්ෂ නායකවරයා හා ඔහුගේ අනුගාමිකයෝ රන්ජන්ගේ සමාව ගැන විවේචනය කරති. එහෙත් ඔවුන්ට අමතක කාරණය වන්නේ සරත් ෆොන්සේකාටත් ජනාධිපති සමාව හිමිවුවද මුල දී ඔහුට ද දේශපාලන අයිතිවාසිකම් අහිමි වූ බව ය. අනෙක් පසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් දුමින්ද සිල්වාට දුන් ජනාධිපති සමාව අධිකරණය විසින් අත්හිටුවා ඇති බවය.හිටපු ජනාධිපති වරයා දුමින්ද සිල්වාට සමාව පිරිනමා තිබුණේ අධිකරණය විමසීමේ කාරණය පසෙක තබා ය. එම නිසා අධිකරණය විසින් යළිත් ඔහුව සිරගත කරනු ලැබීය. ඒ අගතියට පත් පාර්ශවය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ජනාධිපති ගෝඨාභයගේ සමාවට එරෙහිව ගොනු කළ නඩුවක අතුරු තීන්දුවක් ලබා දෙමිනි.නමුදුරන්ජන්ට යළිත් එවැනි අවස්ථාවකට මුහුණ දීමට සිදු නොවන්නේ ජනාධිපතිවරයා විසින් නිසි ක්‍රමවේදයට අනුව සමාව ලබා දී ඇති නිසාවෙනි. නමුත් මේ කිසිවක් නොදන්නා අය රන්ජන්ට දුන් සමාව ඵලක් නැතැයි කියමින් සිටියි. එසේම මෙවැනි සමාවකට වඩා රන්ජන් හිරේ ඉන්න එක හොඳයයි ඔවුන් කියති.
එහෙත් එය තීරණය කළ යුත්තේ රන්ජන් මිස බාහිර පුද්ගලයන් නොවේ.අනෙක රන්ජන් ද මෙම සමාවට කැමැතිය. මේ අතර රන්ජන් රාමනායකට සමාව ලබා දීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රී වරයා කියා සිටියේ එය අධ්‍යයනය කළ යුතු බවක් පවසමිනි.ඒ අනුව එම ලිපිය සභාගත කිරීමට අධිකරණ ඇමති වරයා ද එකඟ වී තිබේ.කෙසේ හෝ ඒ “අධ්‍යයනයේ” ප්‍රතිඵලය ද ජනතාව හමුවට ගෙන ඒම කිරිඇල්ල මන්ත්‍රී වරයාගේ යුතුකමක් වනුයේ ඇතැම් විට ඒ මඟින් අප කිසිසේත්ම බලාපොරොත්තු වන දෙයක් ඉස්මතු වීමට ද බැරිකමක් නොමැති බැවිනි.නමුදු ඒ අධ්‍යයනය පුස් වෙඩිල්ලක් වූයේ නම් ඒ බව රටට කීමේ සදාචාරාත්මක යුතුකමක් ද කිරිඇල්ල මන්ත්‍රී වරයා සතුව තිබේ.
ලසන්ත වීරකුලසූරිය