රනිල් ගේ මඩු කතාව සහ කාදිනල් හිමි ගේ රජ කතාව

මන්නාරම ඓතිහාසික මඩු සිද්ධස්ථානයේ මරඳමඩු මාතා පිළිරුවට ඔටුනු පළඳවා 2024 වසරට වසර සියයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පසුගිය අගෝස්තු 15 පැවති වාර්ෂික මංගල්‍යය ශ්‍රී ලාංකේය කතෝලික ප්‍රජාවට විශේෂත්වයකින් යුතු සේම අමුතුම අත්දැකීමක් ද එක් කළ බව නොරහසකි.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර මඩු මංගල්‍යයේ උදෑසන දේව මෙහෙයට එක්වීම එම විශේෂත්වයේ පදනම ය.මඩු මාතාවගේ පිහිටාරක්ෂාව යදින කිතුණුවන් සේම නොකිතුණුවන් ද මීට එක් වන බව රහසක් නොවේ.එහෙත්, ජනපති වරයා ඊට එක් වූයේ හුදෙක් බැතිමත් භාවයෙන්ම ද යන්න පිළිබඳව කුකුසක් අප තුළ තිබේ.ඒ ඔහු එහි විශේෂ මණ්ඩපයක සිට දේශනයක් ද පැවැත් වූ බැවිනි. ලබන සැප්තැම්බර් 15 වනදා සිට තලෙයි මන්නාරමේ සිට කොළඹ දක්වා නගරාන්තර දුම්රිය සේවයක් ආරම්භ කිරීම සහ මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම ආදී කරුණු ගණනාවක්ම ජනාධිපති වරයා එහි දී පැවසීය.ඒ අනුව මෙය මුළුමනින්ම ආගමික සන්දර්භයෙන් බැහැර කතාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.

එමෙන්ම එදින මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය ප්‍රධාන දේව මෙහෙයට එක් වූ ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති බ්‍රයන් උඩෙයිග්වේ රදගුරු හිමිපාණන් ද එහිදී කියා සිටියේ ජාතික සමගිය හා සංහිඳියාව ඇති කිරීම පිළිබඳ ජනාධිපති වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය ප්‍රශංසනීය බවත් ඊට වතිකානුවේ හා කතෝලික සභාවේ ආශීර්වාදය හිමිවන බවත් ය.එමෙන්ම රටේ සාමය හා සංහිඳියාව පවත්වා ගැනීමට ආගමික නායකයන්ට විශාල වගකීමක් ඇති බව පෙන්වා දුන් බ්‍රයන් උඩෙයිග්වේ හිමියෝ, රට බෙදා වෙන්කරන ආගමික ඒජන්ත වරයෙකු වෙනවාද?, නැත්නම් රටම එකතු කරන ආගමික නායකයෙකු වෙනවාද? යන්න තීරණය වන්නේ තමන් කරන ක්‍රියාව අනුව බව ද අවධාරණය කළහ.එම්මානුවල් ප්‍රනාන්දු මන්නාරම රදගුරුතුමන්,මැක්ස්වෙල් සිල්වා කොළඹ සහායක රද ගුරු තුමන් ශ්‍රී ලංකා ක්‍රිස්තියානි සංවර්ධන පදනමේ සභාපති ආචාර්ය චන්දෘ ප්‍රනාන්දු දේවගැති තුමන් ඇතුළු පූජක තුමන්ලාද ඇතුළු මැති ඇමැතිවරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ. එහෙත්, එම සිදුවීමත් සමඟ එම්මානුවල් ප්‍රනාන්දු මන්නාරම රද ගුරු තුමන් දෙසට දෙපැත්තකින් ගල් මුගුරු වීසි විය.ඒ කොළඹ අගරද ගුරු පදවිය හා සම්බන්ධ ගිහි සංවිධාන වෙතින් හා ලිබරල්වාදී කිතුණු ලේඛකයන් වෙතිනි.ඒ අතරේ කතෝලික සභාවේ නිල පුවත් පත වන “ඥානාර්ථ ප්‍රදීපය” ද විය.ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති බ්‍රයන් උඩෙයිග්වේ රදගුරු හිමි හිමිපාණන් ගේ එම තීරණාත්මක ප්‍රකාශය මුලුමනින් අමතක කළ ඔවුන් එම්මානුවල් ප්‍රනාන්දු මන්නාරම රද ගරු තුමන් වෙතට එල්ල කළ පොදු චෝදනා මෙසේ ය.

දේව මංගල්‍යයට පැමිණි රනිල් වික්‍රමසිංහට සිද්ධස්ථානයේ ශුද්ධ මණ්ඩපය තුළ විශේෂ ආසනයක් පැනවීමට මන්නාරම පදවිය පියවර ගත්තේ කවර නම් ආගමික ව්‍යවස්ථාවක්,සම්ප්‍රදායක් අනුගමනය කරමින්ද? ශුද්ධ වූ වතිකානු නියමයනට අනුව දේව මෙහෙයක දී ශුද්ධ මණ්ඩපය තුළ රැඳී සිටිය හැක්කේ දිව්‍ය පූජාවේ සම-ඔප්පුකරන්නන් වන රදගුරු හිමිවරුන් සහ පියතුමන්ලා, තේවාචාරීන් සහ එම මෙහෙයට සම්බන්ධ විවිධ ගිහි සහායකයන් පමණි. සෙසු සියළු දෙනා අසුන් ගත යුත්තේ සාමාන්‍ය ජනතාව අසුන් ගන්නා ආසන වල ය.වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවට එරට හෝ විදෙස් රටක රාජ්‍යය නායකයකු පැමිණියත් ඔවුන් අසුන් ගත යුත්තේ එහි ශුද්ධ මණ්ඩපයෙන් පිටත අසුන් ගෙන සිටින පැවිදි උතුමන්ට ද පසු පසින් ඇති සාමාන්‍ය ජනතාව අසුන් ගන්නා ආසන වල ය. එවන් පසුබිමක් යටතේ මඩු සිද්ධස්ථානයට හදිසියේ පැමිණි රනිල් වික්‍රමසිංහට බැතිමතෙකු ගේ සීමාවේ රැඳී ඉන්නට ඉඩ නොදී ඒ ශුද්ධ මණ්ඩපය දේශපාලන රැළියක් කරන්නට එම්මානුවල් ප්‍රනාන්දු මන්නාරම රදගුරුතුමන් ඉඩ දුන්නේ කෙසේද?මෙය උතුරේ වර්ගවාදීන් ඇසුරේ වෙසෙන මන්නාරම රදගුරු තුමන් ගේ සහ ජනපති වරයා අතර පැවති රහස් කතිකාවක ප්‍රතිඵලයක් විය නොහැකිද? මෙහි දී කොළඹ අග රදගුරු පදවිය හා සම්බන්ධ ගිහි සංවිධාන පවා පුවත්පත් නිවේදන මඟින් මන්නාරම රදගුරු තුමනට සෘජුවම අප්‍රසාදය පළ කිරීමට පවා එඩිතර වනු දක්නා ලදී.ඒ අග රදගුරු පදවියේ බලය සිය`තට ගැනීමෙන් බව ද ඉතා පැහැදිලි ය.කොළඹ අග රදගුරු පදවියේ ගිහියන් පවා මෙවන් අනිසි බලපුළුවන්කාර කම් ප්‍රදර්ශනය කරන අන්දම හලාවත පදවිය නියෝජනය කරන කිතුණු සංඝය ලෙස අපි මින් පෙර ද කොතෙකුත් දැක ඇත්තෙමු.

මේ අතර පසුගිය 27 වන ඉරිදා රාගම තේවත්තේ ජාතික බැසිලිකාවේ පැවැති රෝගීන් ආසිරි ගැන්වීමේ දේව මෙහෙයට එක් වූ කොළඹ අදරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානෝ අදාල දේව මෙහෙයට කිසිදු සම්බන්ධයක් නොමැති දෙසුමක් කළහ.ඒ දෙසුමේ දී නම් ගම් ස්ථාන නොකියා දේශපාලනඥයන් පන්සල් පල්ලි වල දේශපාලන කතා පැවැත්වීමේ අයෝග්‍යතාව පෙන්වා දෙමින් ඉන් පසුව එතුමෝ මෙසේ ද කීහ. . “දැන් ඉන්දියාවෙන් අපිට තියෙන ප්‍රශ්න මදැයි. තවත් ප්‍රශ්න එකතුකරගන්නයි හදන්නෙ මේ ගොල්ලෝ. ඉන්දියාවෙ ඉඳලා ලංකාවට පාලමක් (ඉන්දියාව හා ලංකාව එක් කරන රාම් සේතු පාලම ) හදනවයි කියන්නේ, ඔබට මතකයි පරිප්පු ගෙනත් දැම්ම එක කාලයක්. ඔබට මතකයි හමුදාවක් එව්වා ලංකාවට. ඔබට මතකයි ඒගොල්ලන්ගේ මතය මත යම් යම් දේවල් ක්‍රියාත්මක කළ යුතුයි කියලා අපිට බල කෙරුවා. බල කරලා ඒ බලෙන් ඒවා අපේ කර උඩ පැටෙව්වා. තව පාලමකුත් හදාගත්තම හොඳට තියෙයි. කවුද? මේ මෝඩ කතා කියන්නේ? අපේ රට හැමදාම නිදහස් රටක්. කවදාවත් අපි කිසිම රාජ්‍යයක වහල්ලු වෙලා හිටියේ නැහැ. වෙන රටකින් කැඩිල ගියේ නැහැ. ශ්‍රී ලංකාව එදා ඉඳල තිබුණේ වෙනම. මේ රටේ රජවරු ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර තිබිච්ච ආර්ථික ගනුදෙනුවලට කටයුතු කළා මිසක් අපි වහල්කම් කරන්න ගියේ නැහැ කාටවක් වත්. මේ රට ක්‍රම ක්‍රමයෙන් පාවා දෙන්නේ, මේ රට විනාශ කරන්නේ අපේ රටේ මිනිස්සු තමයි. විදේශීය ජාතියකට අපේ රට යට වුණා නම් යට වුණේ ආදරණීය සහෝදර සහෝදරියනි අපේ නායකයන්ගේ පාවා දීම නිසයි. හෙටත් ඒ දේ වෙන්න පුළුවන්. මේ රටේ එවැනි තීරණයක් ගන්නවා නම් අපි හැමදෙනාගේම මතයට ගරු කරනවා නම් ප්‍රජාතන්ත්‍රවාදී රටක්නම් අද අපේ රටට මේ පාලම තැනීම පිළිබඳ අදහස සඳහා විශේෂ මත විමර්ශනයක් ඇති කළ යුතුයි. මහජනතාවගේ මතය නැතිව මේ දේවල් කිරීම වැරදියි. එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නෙවෙයි.”

මෙම දෙසුම සහ රෝගීන් සුව ගැන්වීම අතර මොනයම්ම සම්බන්ධයන් නැතත් ඉහත සඳහන් මතවාදය ගෙන හැර දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් අදරදගුරු හිමිපාණන් ඉකුත් 15 වන දා මඩු දේවස්ථානයේ දී වතිකානු අපෝස්තලික රදගුරු බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන් ජනාධිපති වරයා දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කළ පාර්ලිමේන්තු කතාව අගයමින් කළ දෙසුම පිළිබඳව එක් වදනක් වත් කීවේ නැත. එහෙත්, අගරද ගුරු තුමන් වැන්නකු යෝජිත ඉන්දු-ලංකා පාලමට දක්වන විරෝධතාවය සලකා දෙනෙන් දිනම පමාවෙමින් පවතින එම අනගි අවස්ථාව මෙවර උදා කර නොගත හොත් ඉන්දියාව ඉදිරියේදී ලොව කාර්‍ය බහුලතම නැව් මාර්ගයක් සේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතුරින් ඉදිවන “සේතු සමුද්‍රම්” ඇල ව්‍යාපෘතියේ මෙහෙයුම් ආධිපත්‍යය ගන්නා බවත් ඉන් පසු කොළඹ,ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන වරායන් කරවල වියළීමේ කටයුතු වලට යොදා ගැනීමට සිදු වන බවත් මෙරට පුරවැසියන්ගේ ජන ජීවිතය සැමදා දුක්ඛිත මට්ටමේම පවතිනු ඇති බවත් සමාජ ජාල මඟින් අදහස් ප්‍රකාශ වී තිබේ.එමෙන්ම මෙවන් ප්‍රකාශයක් කිරීමේ දී තමන් අනේක වාරයක් ගමන් කොට ඇති ප්‍රංශය හා මහා බ්‍රිතාන්‍ය යා කෙරෙන මුහුද යටින් වැටුණු උමං මඟ එතුමන්ට අමතක වූයේ කෙසේද?යන්න ද මෙම සමාජ ජාල පරිශීලකයෝ ප්‍රශ්න කරති. ඔවුන් එතුමන්ගෙන් ඉල්ලා සිටිනුයේ ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති බ්‍රයන් උඩෙයිග්වේ රදගුරු හිමිපාණන් දහතුන් වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තම ස්ථාවරය හෙළි කළ යුතු තැන පසුගිය කාලයේ මෙන් පවුල් දේශපාලනයට ආවැඩීම් පිණිස හෝ මෙවන් ව්‍යාපෘතී මුල් කොට අත්තනෝමතික අතාර්කික ප්‍රකාශ නොකරන ලෙස ය. මැල්කම් කාදිනල් රන්ජිත් අග රදගුරු හිමිපාණන් මෑත භාගයේ අප සමාජයේ විශේෂ ගෞරවාදරයට ලක් වූයේ අතිශය ඛේදනීය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙරමුණ ගෙන ක්‍රියා කිරීමත් සමඟිනි. ඒ හැරුණු කොට එතුමන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියනට පමණක් දෙවන වන මහින්ද රාජපක්ෂගේ සමීපතම පූජක තුමන් වීම හා එතුමන්ට කවදත් රනිල් වික්‍රමසිංහ නොරිස්සීම අපි කල් තියාම හොඳින් දන්නා දෙයකි. නමුත් වතිකානු නමුත් වතිකානු ව්‍යවස්ථාවන් හා,සම්ප්‍රදායන් පරිදි මෙරට කතෝලික සභාවේ නියාමකත්වය හිමි වනුයේ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයට මිස කොළඹ අගරදගුරු පදවියට නොවේ.අගරදගුරු පදවිය රදගුරු පදවි අතුරින් ප්‍රධන වුවද ඊට කිසිදු සුවිශේෂ බලයක් වතිකානු ව්‍යවස්ථාවන් හා,සම්ප්‍රදායන් මඟින් හිමි නොවන බව අතිශයින් පැහැදිලි ය.එවන් තත්වයක් යටතේ මැල්කම් කාදිනල් රංජිත් අදරදගුරු හිමිපාණන් මින් පෙර තම සීමාවන් ඉක්මවා කටයුතු කළ අවස්ථා කිහිපයක් ද අප ගේ මතක ගොනුවේ තිබේ එහෙත්, දැන්ම ඒ මලු ලිහා දැක්වීමට අපි අදහස් නොකරමු. ඒ කෙසේ වුව මේ පසුබිම තුළ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ද පසුගිය සිදුවීම් අළලා 28 වැනිදා නිවේදනයක් නිකුත් කොට තිබිණ.ඒ සම්පූර්ණ නිවේදනය මෙලෙසිනි..

“පූර්ණ සැසිවාරයට එක් රැස් වූ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ශ්‍රී ලංකාවේ සමාජ – ආර්ථික හා දේශපාලන තත්ත්වය සහ එමගින් පොදු මහජනතාවගේ දෛනික ජීවිතයට ඇති බලපෑම පිළිබඳ ස්වකීය ගැඹුරු සැලකිල්ල යොමු කිරීමට අපේක්ෂා කරන්නේ ය. ඒ, දිනෙන් දින ඉහළ යන, දරාගත නොහැකි ජීවන වියදම ජනතාවට දැඩි ලෙස බලපා ඇති බැවිනි.
ඒ හේතුව නිසා, බොහෝ දෙමාපියන්ට, තම දරුවන් හට දිනපතා ආහාර ලබා දීම දුෂ්කර වී තිබේ. දුෂ්කරතාවයට මුහුණ දී ඇති බොහෝ පවුල් දිනකට එක වේලකින් සෑහීමට පත්වෙති. ජනතාවගේ සෞඛ්‍යය අවශ්‍යතා සපුරාලීමට බොහෝ රෝහල් අසමත්ව ඇති අතර, දැඩි ඖෂධ හිඟයක් ද පවතියි. රට හැර ගොස් සිටින සහ හැර යමින් සිටින සුදුසුකම්ලත් වෛද්‍යවරුන් සංඛ්‍යාව වැඩි වීම සහ බොහෝ විට රජයේ රෝහල්වලට ඖෂධ සහ වෙනත් වෛද්‍ය උපකරණ ප්‍රමාණවත් පරිදි නො සැපයීම හේතුවෙන් ස්වකීය සෞඛ්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි බොහෝ පුද්ගලයින්, විශේෂයෙන්ම දුප්පත් ජනතාව පිළිබඳව අපි දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිමු.

අධ්‍යාපනය ද අනතුරට ලක්ව ඇති බව පෙනී යයි. දරුවන් පාසලට පැමිණෙන්නේ, නිසි පෝෂණය, නිසි ඇඳුම් පැළඳුම් සහ ඔවුනට අවශ්‍ය පොත් පත් සහ ලිපි ද්‍රව්‍ය නොමැතිව ය. දෙමාපියන් සිටින්නේ, තම දූ දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා ඉටුකරලීමට නොහැකි තත්ත්වයක ය.
නීතියේ ආධිපත්‍යය බරපතළ ලෙස බිඳවැටී තිබේ. රට පුරා සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියා වැඩිවෙමින් පවතියි. දිනපතාම පාහේ මිනීමැරුම් සිදුවන අතර බීමතින් සහ අපරික්ෂාකාරිව රිය පැදවීම හේතුවෙන් මහමග සිදුවන මාරක අනතුරු සංඛ්‍යාව ද වැඩි වී ඇත.
ඊට අමතරව ජනතාවගේ කඩිනම් මූලික අවශ්‍යතා පිරිමැසීම සඳහා පැහැදිලි දැක්මක් ඇති බවක් නොපෙනේ. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනයක් නැත. බොහෝ ජනතාව සිටින්නේ සාගින්න අද්දරය. කඩිනම් අවශ්‍යතාවය විය යුත්තේ ජනතාව ජීවත් කරවීම සඳහා කෘෂි කර්මාන්තය සහ අනෙකුත් දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම ය. දේශීය ගොවි ජනතාවට දිරි දීමනා ලබා දෙන්නේ නම්, මේ රටේ නිෂ්පාදනය කළ හැකි සහල්, බිත්තර සහ පොල්තෙල් ආදී බොහෝ ආහාර ද්‍රව්‍ය මේ වන විටත් පිටරටින් ආනයනය කෙරෙන බව අසන්නට ලැබීම කම්පනය දනවන සුළුය. වෙළඳපළ මිල පාලනයක් නොමැති බව පෙනී යයි.

මෙම භයානක තත්ත්වය ඉදිරියේ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ අප, බලධාරින්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ, තම කටමැත දෙඩවීම් සහ දේශපාලන නාටක පසෙක ලා, ජනතාව මුහුණ දී සිටින දුඃඛිත තත්ත්වය බැරෑරුම් ලෙස සලකා බලන ලෙසයි. එවිට දුප්පත් සහ පීඩිත ජනතාවට, අවම වශයෙන් මූලික අවශ්‍යතාවන් පිරිමසා ගනිමින් තම ජීවිත පවත්වාගෙන යාමට හැකිවනු ඇත.
ශ්‍රී ලංකාව ආශිර්වාද ලත් දේශයක් වන අතර, එහි පුරවැසියන් සහ තරුණ තරුණියන්, උගත් සහ රටේ ප්‍රගතියේ කොටස්කරුවන් වීමට උනන්දුවෙන් පසුවන්නෝ වෙති. එහෙයින් සෑම අයකුගේම ගරුත්වය අගැයීමට ලක්වන සහ එයට වටිනාකමක් ලබා දෙන, සාමය, සමගිය හා අධිකරණයේ ස්වාධීනත්වය, නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම මගින් දේශපාලනික ජීවිතයට ජනතාවගේ සහභාගිත්වය සුරක්ෂිත කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදය සැබැවින්ම ප්‍රකාශ වන සමාජයක් අපි නිර්මාණය කළ යුතු වෙමු. එවැනි දේශපාලනික හා සමාජයීය පුනර්ජීවනයක ද, අප සමාජයේ සියලු කොටස්වල අභිමානය සහ අයිතිවාසිකම් සුරැකීමේ ද මෙවලම් බවට පත්වන ලෙස අපි අපගේ දේශපාලන නායකත්වයෙන් ඉල්ලා සිටිමු.අප සමාජයේ මෙවැනි සමාජ පරිවර්තනයන් වෙනුවෙන් යාච්ඤා කරන ලෙසත්, ක්‍රියාශීලිව කටයුතු කරන ලෙසත් අපි සියලු කතෝලික සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටිමු.

අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමි,
කුරුණෑගල රදගුරු හිමි,
සභාපති, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය.

අතිඋතුම් ජේ. ඩි. ඇන්තනී ජයකොඩි හිමි,අග රද ගුරු පදවි සහායක අද ගුරු හිමි,මහා ලේකම්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය
(උපුටා දැක්වීම අවසන්) මේ සම්බන්ධයෙන් අප කළ විමසුමක දී ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලන ආරංචි මාර්ග සඳහන් කළේ ඉහත සඳහන් නිවේදනය දිළිඳුන් නඟා සිටුවීමේ හා සමාජ සාධාරණත්වය ස්ථාපිත කරවීමේ දෙවියන් වහන්සේ ගේ අභිලාෂය මත පදනම් වූ බවත් මෙහි දී හුදු දිළිඳුකම පිළිබඳව මිස ඒ දිළිඳුකම උතුරේ ද දකුණේ ද යන්න විමසීම දෙවියන් වහන්සේ ගේ අභිලාෂයට පටහැනි බවත් ය. කොළඹ අග රදගුරු පදවියේ ගිහි ප්‍රජාව වෙතින් පවා කැට මුගුරු එල්ල වන එම්මානුවල් ප්‍රනාන්දු මන්නාරම රදගුරුතුමන්ගේ ජාතිය ජන්මය කුමක් වුව ද එතුමන් අගනුවර කේන්ද්‍රගතව මූලික සහ ද්වීතීයික අධ්‍යාපනය ලබා රෝමය සහ ඇමරිකාව ආදී රටවල විශ්ව විද්‍යාල මඟින් උපාධි සහ පශ්චාත් උපාධි හිමි කර ගත් විද්වතෙකිඑමෙන්ම එතුමා වර්ගවාදී හෝ ගෝත්‍රවාදී ළාමක චින්තනය ඉක්ම වූ ප්‍රබුද්ධ හා ප්‍රභාෂ්වර මනැසකින් යුතු විද්වතෙකි. එමෙන්ම මා පේරාදෙණිය සරසවියේ අධ්‍යාපනය ලැබූ 1990 දශකයේ එහි දර්ශන අංශයේ කථිකාචාර්ය පදවියක් හොබවමින් වර්ගවාදයේ නිසරු බව අපට මනාව ප්‍රත්‍යක්ෂ කළ වත්මන් මහනුවර රදගුරු සහ හලාවත වැඩ බලන රදගුරු වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් බුද්ධ ධර්මය සම්බන්ධයෙන් පවා පශ්චාත් උපාධි හිමි ව ඇති විද්වතකු බව බොහෝ දෙනෙක් නොදනිති.”සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝය; ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය යි කියනු ලබන්නෝය”. ( ශු. මතෙව් 5 : 9 )යන ශුද්ධ වූ බයිබල් වැකිය පදනම් ව කිසි විටෙකත් පවත්නා දේශපාලනයේ ඇලීමට හෝ ඒ සමඟ ගැටීමට පෙරට නො එන එතුමන් ලා ඉහත බයිබල් වැකිය අනුවම දෙවියන් වහන්සේගේ පුත්‍රයන් ලෙස හැඳින්වීමට යමකුට පුළුවන. නමුත් අපගේ මෙම ලිපිය මඟින් මන්නාරම මඩු සිද්ධස්ථානයේ අගෝස්තු 15 පැවති වාර්ෂික මංගල්‍යය අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආගමික සන්දර්භයෙන් බැහැර කතාව සේම ඔහු ඊට සහභාගී වූ අන්දම කෙසේ වත් අනුමත නොකරමු.එමෙන්ම පසුගිය 27 වන ඉරිදා රාගම තේවත්තේ ජාතික බැසිලිකාවේ පැවැති රෝගීන් ආසිරි ගැන්වීමේ දේව මෙහෙයට එක් වූ කොළඹ අදරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නූතන ප්‍රජාතන්තවාදී පාලන ක්‍රම ලොව එළි දැකීමටත් පෙර මෙරට පැවැති වැඩ වසම්වාදී පාලන ක්‍රම අයයමින් කළ කතාව ද අපගේ බලවත් කුකුසට හේතු වෙයි.ඒ එවන් තත්වයක් යටතේ තමන් සතු කොළඹ අග රදගුරු පදවිය දෙසින් මන්නාරම රද ගුරු පදවියට ගල් මුල් එල්ල වන විට ඉවසා වදාරන කොළඹ අදරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය ඊළඟ දෙසුමක දී වත්මන් ජරා ජීර්ණ දේශපාලන සංස්කෘතිය පිටු දැක අනාගතයේ රට බේරා ගැනීමට දකුණෙන් බිහිවන නාමලක් වන් සුපිරිසිදු රජ කුමරකු ගැන කලියුග දිවැසි වර වැකියක් පැවසීමේ මනා ඉඩ ප්‍රස්ථාවක් පවතින බැවිනි.

මාදම්පේ රීටා ජෙනට් පෙරේරා

එතෙර - මෙතෙර