රනිල් “හිට්ලර්” කෙනකු කළ ගාලු මුවදොර ප්‍රහාරයේ ඇතුල් පැත්ත

වේඬරුවේ උපාලි අනු නා හිමියන් හිට්ලර් කෙනකු වී හෝ රට හදන්නට කීවේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට බවත් රට හැදීම කෙසේ වෙතත් උන් වහන්සේ ගේ අනුශාසනාව අනුව පාලන බලය අතට ගත් සැනින් හිට්ලර් කෙනකු බවට පත් වූයේ ඒ වන විට කොහේ වත් සිටි වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ බවත් සමාජ ජාල පරිශීලකයකු තම ෆේස් බුක් පිටුවේ සඳහන් කොට තිබිණ.අනුප්‍රාප්තික ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දී පැය 24 ක් යන්නටත් මත්තෙන් මෙම පහරදීම ගැන බොහෝ දෙනා කතාබහ කරන්නට වූහ. ඇමරිකානු තානාපතිනි ජූලි ජන්ග් මෙන්ම යුරෝපා රටවල් කිහිපයක තානාපතිවරු ද මෙම ප්‍රහාරය හෙළා දකින්නට වූහ. එහෙත් මුල් පුවත හා ඊට අනුෂාංගික කරුණු ගණනාවක් හෙළි නොවූ තොරතුරු අතර තිබේ.

දෙස් විදෙස් ජනමාධ්‍යයේ මෙන්ම සමාජ මාධ්‍යයේ මුලින්ම ප්‍රචාරය වූයේ ගොල්ෆේස් අරගල භූමියට සන්නද්ධ හමුදා ප්‍රහාරයක් එල්ල වී ඇති බවය. අරගල භූමියේ අට්ටාල රැසක් හමුදාව කඩා බිඳ දමා ඇතැයි ද එයින් කියැවිණි.අලුයම් කාලයේ පැමිණි ත්‍රිවිධ හමුදා භට පිරිස් අරගල කරුවන්ට අමානුෂික ලෙස පහරදී ඇතැයි මාධ්‍ය පළ විය. සියලු දෙනා එම පුවතත් සමඟ කළබල වූහ. මන්ද නිරායුධ පුරවැසියන්ට පහරදීම කිසිවෙක් අනුමත කරන්නේ නැති බැවිනි. එහෙත්,ආරක්ෂක අංශ විසින් අරගලකරුවන් ඉවත් කර තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙනි. නමුත් මාධ්‍ය මගින් ප්‍රචාරය වූයේ ඔවුන් අරගල භූමියෙන් පලවා හැර ඇති බවකි.එය මුළුමනින්ම අසත්‍යයකි.

ඉකුත් ජුලි 09 දා අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය හා අග්‍රාමාත්‍ය කර්යාලය අත්පත් කර ගත්තේ බලහත්කාරයෙනි.
එදින කොළඹට පැමිණි අති විශාල ජනතාවකගේ උපකරයෙන් අරගලකරුවෝ මෙම ස්ථාන අත්පත් කර ගත්හ. සමහරකු එය ජනතා පරමාධිපත්‍යය මුදුන් පත් කර ගැනීමක් ලෙසට ද අර්ථ දැක්වූහ.පසුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය හා අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයෙන් අරගලකරුවන් ඉවත් වුව ද ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඔවුන් ඉවත් වූයේ නැත. එහිදි ඔවුන් දැක්වූ ප්‍රධානම කොන්දේසියක් වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉවත් වනතුරු ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් නොවන බව ය.

දින 100 ක කාලයක් ඉක්මවා අරගල භූමියේ රැඳී සිටි අතර පසුව අරගල භූමියේ සිටි රතු කුරුස සංවිධානය පවා එම භූමියෙන් ඉවත් විය. ජනාධිපති ලේකම් කාර්යාලය නැවත බාර දෙන ලෙස අරගලකරුවන්ගෙන් ආරක්ෂක අංශ කිහිප අවස්ථාවකදීම ඉල්ලා තිබුණත් ඔවුන් ඊට අවනත වූයේ නැත. නමුත් පසුව අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් වන බවට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රචාරය කර තිබුණත් එය බොහෝ දෙනෙකු දැන නොසිටියේ ඊට ප්‍රමාණවත් තරම් මාධ්‍ය ප්‍රචාරයක් නොලද බැවිනි.

නමුත් ආරක්ෂක අංශ එය දැන සිටියේය. එක් ඉංග්‍රිසි මුද්‍රිත මාධ්‍යයක පමණක් මෙය පළව තිබුණි. එනම් 22 දා සවස 2.00 ට එම ස්ථානය බාර දෙන බවට ය. එසේ ප්‍රකාශ කර තිබියදී මෙලෙස පහරදීම හෙළා දකිමින් බොහෝ දෙනා කතා කර තිබුණි. “යනවා” කියා ප්‍රකාශ කර තිබූ පිරිසකට පහරදීම ගැන බරපතල ගැටළුවක් මතුවේ. “යනවා” කියා පවසා තිබූ අයට පහර දුන්නේ ඇයි දැයි අපි සොයා බැලුවෙමු.

ආරක්ෂක අංශ කියන ආකාරයට ඔවුන්ට එය ලබා දෙන බව කියූ දිනය හා වේලාව පසුව අරගලකරුවන් විසින් වෙනස් කිරීම නිසා සැකයක් මතුවූ තිබුණි. පොලිස් ප්‍රධානියෙකු අප හා කීවේ ඔවුන් මෙලෙස වේලාව වෙනස් කළේ නැවත ජනතාව කොළඹට කැඳවා ගැටුමක් ඇති කිරීමට බව රාජ්‍ය බුද්ධි අංශ වාර්තා මගින් පෙන්වා දී තිබුණු බවය. 21 දා සවස 6.00 ට එම ස්ථානය බාර දෙන බව මුලින් කීවත් පසුව එය 22 දා දහවල් 2.00 දක්වා කල් තැබුණේ ඉහත අරමුණෙන් බවට තොරතුරු ලැබී තිබූ බව ද එම පොලිස් ප්‍රධානියා කීවේය.

ජනාධිපති ලේකම් කාර්යාලය අරගලකරුවන් අත්පත් කර ගෙන සිටීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිය රාජකාරී කරන්නට සිදුවූයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ රැඳෙමිනි. එහෙත් නව අගමැතිවරයෙකු හා ඇමති මණ්ඩලයක් පත් කිරීම නිසා අගමැතිවරයාට අග්‍රාමාත්‍ය කාර්යාලය අගමැතිවරයාට බාරදීමට සිදුව තිබුණි. එම නිසා ඔහු ජනාධිපති කාර්යාලය තමන්ට නිදහස් කර දෙන ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබුණි.එසේ නොවන්නට කාර්යාලයක් නොමැති ලොව එකම රාජ්‍ය නායකයා ලෙස ලෝක වාර්තාවක් තැබීමට ද ඔහුට අවස්ථාව එළඹෙන්නට ඉඩ තිබිණ.

නව ජනාධිපතිවරයාට 24 දා සිට රාජකාරී කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය බාරදීමට ආරක්ෂක අංශවලට අවශ්‍ය විය. ආරක්ෂක අංශ ක්‍රියාත්මක වී තිබුණේ ඒ අනුව ය. ආරක්ෂක හමුදා යම් ක්‍රියාන්විතයක යෙදෙනුයේ හුදෙක් තම ඉලක්කය අරමුණු කර ගනිමිනි.හමුදා ක්‍රියාන්විත වල ආචාරශීලී ස්වරූපයක් දක්නට නැත්තේ එනිසා ය.එය මුළු ලෝකයටම පොදු තත්වයකි.ආරක්ෂක හමුදා ගිනි අවි භාවිතයකින් තොරව කළ පහර දීමෙන් 09 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඔවුන් තැලීම් තුවාල ලැබූවන් බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. අසාධ්‍ය තත්ත්වයේ කිසිදු රෝගියෙකු නොමැති බව අප කළ විමසුමේදි හදිසි අනතුරු අංශය සඳහන් කළේය.නමුදු පසුගිය දින වල අරගල කරුවන් විසින් ආයුධ සන්නද්ධව සිටි හමුදා භටයන්ට පහර දී තිබූ අතර ඔවුන් දෙදෙනකුට බරපතල තුවාල සිදු කොට ඔවුන්ගේ රාජකාරී ගිනි අවි ද පැහැර ගන්නා ලදී.එය ද ලොව ඉතා කලාතුරකින් අත්දකින්නට සිදුවන අතිශය අයහපත් තත්වයකි.

මේ අතර පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ගෝල්ෆේස් අරගල භූමිය අසලට පැමිණ කීයේ පහරදීමට පැමිණි යුද හමුදා සෙබළුන් මත්ද්‍රව්‍ය භාවිතා කර සිටි බවය. අයිස්, හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය භාවිතා කොට සිටි බවට තමන් වහන්සේ දැන ගත්තේ දිවැස් බලයකින් ද යන්න ගැන උන් වහන්සේම කිව යුතු ය.එමෙන්ම එසේ මත් ද්‍රව්‍ය භාවිතා කොට සිටි සෙබලුන්ගේ රෙජිමේන්තු ද උන් වහන්සේට හඳුනා ගත හැකිව තිබිය යුතුය.ජන මාධ්‍ය හමුවේ නිතර පෙනී සිටිමින් අදහස් දක්වන භික්ෂූන් වහන්සේ නමක් මෙලෙස කියන්නේ කෙසේදැයි ප්‍රශ්න සහගතය. යමකුගේ මත් ද්‍රව්‍ය භාවිතය විද්‍යාත්මක ලෙස තහවුරු කළ යුතු කාරණයකි. කෙනෙකු මත්පැන් පානය කර ඇතිදැයි සෙවීමට වෙනම උපකරණයක් තිබේ. මත්ද්‍රව්‍ය භාවිතා කර ඇතිනම් එම පුද්ගලයාගේ ලේ සාම්පල පවා රැගෙන විද්‍යාගරයක් තුලදී පරීක්ෂා කළ යුතු ය.එසේ තිබියදී හමුදා සෙබළුන්ට මෙලෙස ප්‍රකාශ කිරීම ඉතා ගැටළු සහගතය. හමුදා සෙබලෙකුට තබා සාමාන්‍ය පුරවැසියෙකුටවත් නිසි අධිකරණ වෛද්‍ය සහතිකයකින් තොරව එවැනි චෝදනාවක් කළ නොහැකිය. නමුත් අරගල භූමියේ සිටි මත්ද්‍රව්‍ය පානය කළ හා මත්ද්‍රව්‍ය අතැ`තිව සිටි පිරිස් නම් පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණි.අප එසේ කියනුයේ මෙම අරගලය යනු බහු ජන සංයුතියකින් යුතු එකක් බව කීමට මිස හුදු අරගලය දෝෂ දර්ශනයට ලක් කිරීමට නොවේ. ගාලු මුවදොර අරගල භූමියෙන් සාමකාමී අරගලකරුවන් පළවා හැරි බව කීවත් ගෝටා ගෝ ගම පරිශ්‍රය තුළ ඔවුහු තවමත් රැදී සිටිති. එහි ඉදිකිරීම්වලට කිසිදු හානියක් වී නැත.නමුත් තවමත් බොහෝ දෙනෙකු ඒ ගැන දන්නේ නැත.

මේ අතර මෙම ප්‍රහාරය පිළිබඳව මාධ්‍ය මඟින් අදහස් පළ කළ ඕමල්පේ සෝභිත හිමියන් පසිගිය කාලය පුරා නිර්දය විවේචනයට ලක් කළ ගෝඨාභය රාජපක්ෂගේ පවා හොඳ කියන්නට ද මෙය අවස්ථාවක් කර ගත්තේ ය.ඒ ඔහු රනිල් වික්‍රමසිංහ මෙන් ඔහු අරගල කරුවන්ට ම්ලේච්ඡ ප්‍රහාර එල්ල නොකළ බවක් කියමිනි.හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට ජනපති පදවිය හැර පලායන්නට බලපෑ තීරණාත්මක හේතූන් අතර හිටිහැටියේ රසායනික පොහොර සපුරා තහනම් කොට ගොවීන් කබලෙන් ලිපට ඇද දැමීමේ අදූරදරශී තීරණය ද මුල් විය. එම තීරණයට රටම එරෙහි වූ අවදියේ ඕමල්පේ සෝභිත හිමියන් පුන පුනාම කියන්නට වූයේ එම තහනම ලක් ඉතිහාසයේ පාලකයකු විසින් ගනු ලබන දූරදර්ශීම දේශපාලන තීන්දුව බවකි.එහෙත්,එකී නොකී කියුම් කෙරුම් මත ගෝඨාභය රාජපක්ෂ බොරු වලක වැටුණු පසු ඔහු දැඩි සේ විවේචනයට ලක් කළ හැකි අන්දමේ මානසිකත්වයකින් යුතු උන් වහන්සේ රනිල් වික්‍රමසිංහගේ නරක හුවා දක්වන්නට ගෝඨාභය රාජපක්ෂ යළි වර්නණා කිරීම ගැන අප පුදුම විය යුතු නැත.ඒ කෙසේ හෝ තම රාජ්‍ය පාලන සමය ආරම්භයේ දී පුද්ගලයන් කිහිප දෙනකුට තැළුම් තුවාල සිදු කළ පමණින් හිට්ලර් “අභිධානය”ලද රනිල් වික්‍රමසිංහට ඉදිරි කාලය තුළ ඉස්මතු විය හැකි යම් යම් සිදුවීම් මුල් කොට පටබැඳීමට මේ ලෝකයේ වෙනත් නම් ඉතිරි වී තිබුණොත් එය ද ලෝක පුදුමයකි.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර