රාජපක්ෂලව හිරේ දන්න ඕනේ කියලා ජනතාවගේ ප්‍රශ්න යට ගහන්න එපා

2010 – 2015 කාලසීමාව තුළ තමන්ට ලැබුණු මුදල් පිළිබඳව නිර්නාමික ලැබී ඇති පැමිණිල්ලකට අනුව තමන්ව මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි ඊයේ(24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවනු ලදුව පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණ මාධ්‍යයට පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ද කීය.“සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලන සංස්කෘතිය තමයි ආණ්ඩු මාරු වෙනකොට අනිත් ආණ්ඩුවේ හිටපු අය ගෙන්වලා ප්‍රශ්න කරන එක. අපිට එන්න කිව්වාම අපිත් එනවා. මේක මැතිවරණ කාල සීමාවක්, අද නුවර රැස්වීමක් තිබුණා. ඒත්, මම හිතුවා ඒ පරීක්ෂණ කටයුතු වලට සහයෝගය ලබා දීම තමයි අපි කළ යුතු කාරණය. මොකද විශේෂයෙන්ම අපි ගැන මේ රටේ ජනතාවට අවබෝධයෙන් බොරු කියලා අපි කෙරෙහි වැරදි චිත්‍රයක් මවලා තියෙනවා.අද නම් එන්න කියලා තියෙන්නේ 2010 – 2015 කාලසීමාවේ මගේ කාර්යාලයට ඇවිල්ලා සල්ලි තියල ගිහිල්ල කියලා එක මහත්තයෙක් කියලා කියනවාලු. නිර්නාමික පැමිණිල්ලක්. ඉතින් ඒ පිළිබඳව මගෙන් අහනවා. මේ වගෙ පැමිණිලි දහස් ගාණකට මම මේ යහපාලන ආණ්ඩුව කාලෙත් උත්තර දුන්නා, රිමාන්ඩ් වුණා, අධිකරණයේ නඩු පවරලා තියෙනවා නිදොස් කොට නිදහස් වුණා.ඉතින් අපි ආණ්ඩුවෙනුත් ඉල්ලන්නේ මේ විදියටම උගන්ඩාව සම්බන්ධයෙන් සීෂෙල්ස් සම්බන්ධයෙන් අපිව ගෙන්නලා අවබෝධයෙන් බොරු කියපු අයගෙත් කට උත්තර ලියාගෙන ඒවා ලෝකයේ තියෙන තැන් දන්නව කියන අයවත් ගෙනල්ලා සාක්ෂි සඳහන් කරලා පරීක්ෂණ කටයුතු කරන්න.රාජපක්ෂලව හිරේ දන්න ඕනේ, දැන් ඔන්න අධිකරණයට ගෙනාවා, දැන් ඔන්න ප්‍රශ්න කළා,පැය 8ක් පැය 10ක් කළා කිය කියා ඒ ජනතාවගේ ප්‍රශ්න යටගහන්න එපා.”

කාලීන පුවත්