රාජපක්ෂලා දේශපාලන බිමෙන් අතු ගා දමන්නට කළ යුත්තේ කුමක්ද?

පොදු රාජ්‍ය මණ්ඩල මළල ක්‍රිඩා උළෙලේදී කිලෝග්‍රෑම් 57 මල්ලව පොර තරඟයේ තුන්වන ස්ථානය ලබා ගනිමින් නෙත්මි අහිංසා දැරිය ලෝකඩ පදක්කමක් ලංකාවට උරුම කර දුන්නාය. ඇය ගැන එම කාලයේදී ෆේස් බුකි වාසීන් මෙන්ම රටේ දේශපාලන පක්ෂ ද ඇයට සුබ පැතුම් එක් කළේ රටට ගෙන දුන් කීර්තිය සිහිපත් කරමිනි. එසේම ඇය අතින් පරාජයට පත්වූයේ ලෝක ශුරියකි. එනම් ඕස්ට්‍රේලියානු තරඟ කාරියකි.

ලංකාවට පැමිණි ඇය පසුව හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මුණ ගැසීමට ගොස් තිබුණි. එහිදි ඇය සිය ලෝකඩ පදක්කම නාමල් රාජපක්ෂට පෙන්වා පසුව ඔහුට වැඳීමට ද කටයුතු කර තිබුණි. එයින් බොහොමයක් දෙනාකුපිත වූ බවක් පෙනෙන්නට තිබේ.ඔවුහු දැරියට රාජපක්ෂට වැඳීම ගැන ද දෝෂාරෝපණය කරති. දේශපාලන පක්ෂ නියෝජිතයන් සඳහන් කරන්නේ ගාලු මුවදොර අරගලය නිමා වීමත් සමඟ හැංගි සිටි රාජපක්ෂවරු නැවත කළ එළි බැස ඇති බවකි. ඔන්න කැළෑ වැදිලා සිටි රාජපක්ෂවරු නැවත හිස ඔසවන්න පටන් අරගෙන යැයි කියමින් ප්‍රකාශ නිකුත් කරන්නට පටන් ගෙන තිබේ.මෙහි දී නෙත්මි අහිංසා දැරියගේ එම ක්‍රියාව ඇය සම්බන්ධයෙන් කිසිදු ආරෝවක් අප තුළ නොමැති බව පළමුව කියා අහවර කළ යුතුම ය.

විපක්ෂයේ දේශපාලන පක්ෂ නඟන දැඩි චෝදනාව වන්නේ රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ දැඩි හිතවතුන් බවට ය. රනිල් රාජපක්ෂලා ආරක්ෂා කළ නිසා හැංගි සිටි ඔවුන්ට දැන් කරළියට පැමිණීමට හැකිව ඇති බව ඔවුහු කියති. ලංකා දේශපාලන ඉතිහාසයේ වැඩිම දූෂණ සම්භාරයකට වග කිව යුතු රාජපක්ෂලා දේශපාලනයෙන් අතු ගා දැමිය යුතු යැයි අපේක්ෂා කරන මේ පිරිස එය ප්‍රජාතන්ත්‍රවාදීව කිරීමට කිසිදු උත්සාහයක් ගන්නේ නැත.මේ ක්‍රියාදාමය පිටුපස විකල්ප දේශපාලන බලවේග සිටින බව අතිශයින් පැහැදිලි ය.ජනතාව නිර්පාක්ෂික සාමකාමී අරගලයකට මිස වතම මාදිලියේ අරගල වලට අකමැති බව දැන් පසක් කර තිබේ. එම නිසා රනිල් – රාජපක්ෂ ආණ්ඩුව ලෙස කියමින් ඔවුන් උත්සාහ කරන්නේ යළිත් රට තුළ කැළඹීමක් ඇති කිරීමට ය. රාජපක්ෂලා සම්බන්ධයෙන් එල්ල වී තිබෙන දුෂණ චෝදනා අමභාරය අති විශාල ය. රටේ අද පවතින ආර්ථික පරිහානියට හේතුව ඔවුන් බවට විවාදයක් නැත. එහෙත් ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු වන්නේ රටේ නීතියට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව සර්ව පාක්ෂික සමුළුවකට ආරාධනා කරන්නේ එබැවිනි. රාජපක්ෂලා දේශපාලනයෙන් අතු ගා දැමිය යුතු නම් විපක්ෂය කළ යුත්තේ සවිමත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ එය කිරීමට උත්සාහ කිරීම ය. ඒ වෙනුවෙන් රනිල් විවෘත අවස්ථාවක් ලබාදී තිබේ. එහෙත් විපක්ෂය එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා බවක් පෙනෙන්නට නැත. ඒ මන්ද රනිල් දී ඇති අවස්ථාව පවා ඔවුන් අවබෝධ කර ගෙන නැති බව ඒ අයගේ හැසිරීමෙන් පැහැදිලි වන බැවිනි.

සර්ව පාක්ෂික සාකච්ඡා සඳහා ගිය විපක්ෂයේ කිසිදු දේශපාලන පක්ෂයක් රාජපක්ෂලා රහිත ඇමති මණ්ඩලයක් පත් කළ යුතු බවට යෝජනා ඉදිරිපත් කළේ නැත. ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාගේ සාකච්ඡාවට සහභාගී නොවීමට තීරණය කිරීමෙන්ම ඔවුන් එම අවස්ථාව අතහැර දමා ඇත.ප්‍රජාත්ත්ත්‍රවාදී සමාජයක තිබිය යුතු නිදහස් මතවාද හුවමාරු කර ගැනීමේ විවෘත අවකාශය අත්හැර ඇති ඔවුන් ජනපතිට ලියුම් ලියන්නට පටන් ගෙන තිබේ.කෙලින් මුහුණට කිහ නොහැකි දේ ලියුම් මඟින් ඉදිරිපත් කිරීම මීට දශක කිහිපයකට පෙර පෙම්වතුන් ගේ ද සිරිතක් විය.

එසේම සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමතිකම් නොගන්නා බවට සමගි ජන බලවේගය ද මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. එයින් ගම්‍ය වන්නේ ඔවුන් ආණ්ඩුව හා එක්වී රාජපක්ෂලා පරාජය කිරීමට කිසිදු උත්සාහයක් නොගන්නා බව ය. “අපි ආණ්ඩුවට එනවා.හැබැයි රාජපක්ෂවරුන්ට එරෙහිව නඩු පැවරිය යුතුමයි.“ සමගි ජන බලවේගය බැරිවෙලාවත් එහෙම කියන්නේ නැත.
ජනතාව ඉදිරියට ගොස් රාජපක්ෂලා එරෙහිව වෛරී ප්‍රකාශ කළත් ඔවුන්ට ඇත්තටම රාජපක්ෂවරුන් එලවීමට අවශ්‍ය නැති බව මෙයින් පැහැදිලි වේ. මෙය සැබෑවටම කළ යුතු දේ පසෙක ලා ජන මනස විකෘති කර බලය ලබා ගැනීමේ විපක්ෂ මන්ත්‍රීවරුන් කරන සූර සෙල්ලමක් බව නම් පැහැදිලි ය. සර්ව පාක්ෂික සමුළුවට ගොස් රජපක්ෂවරුන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්නේ නම් අපේ සහාය හිමිවේ යනුවෙන් කියන්නට ජනතා විමුක්ති පෙරමුණවත් උත්සාහ කරන්නේ නැත.

ජනාධිපතිවරයාගේ මුහුණට එම කතාව කියා එළියට පැමිණ ඊට අදාළ හොඳ ප්‍රසිද්ධියක් දුන්නේ නම් ජනතා ප්‍රසාදය එම පක්ෂය වෙත තව තවත් වර්ධනය වනු ඇත. එහෙත් ඔවුන් එවැනි දේ කරන්නේ නැත. පාලු ගෙයි වලං බිදින්නා සේ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් රාජපක්ෂවරු හා රනිල් වික්‍රමසිංහ එක් කොට අවලාද නඟති. නමුත්. එසේ කී පමණින් රාජපක්ෂවරුවත් රනිල් වික්‍රමසිංහවත් දේශපාලනයෙන් ඉවත් වන්නේ නැත.

ඡන්ද 27 ක් පැරදෙමින් පැමිණි රනිල් වික්‍රමසිංහ අද රටේ ජනාධිපති ය. ඔහුට තරම් මඩ අවලාද එල්ල වූ දේශපාලඥයෙන් තවත් නැත. ඔහු මේවායින් කිසි විටෙක පසුබට වූයේ නැත. රාජපක්ෂලා ද එසේම ය. 2005 සිට මේ දක්වා ඔවුන් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හා අවලාද මෙතෙකැයි කිව නොහැකිය. 2015 දී මහින්ද රාජපක්ෂව මැදමුලන වලව්වේ ජනේලයේ එල්ලු බවක් පැවසුණි.එහෙත්, ඒ මෙහෙයුමේ මහ මොළ කරු ද රනිල් වික්‍රමසිංහ බව කීමට අද කිසිවෙක් ඉදිරිපත් නොවෙති.තමුත් ඔවුන් කියන්නේ රනිල් රාජපක්ෂ වරුන්ගේ ඒජන්තයෙක් කියා ය.

කෙසේ හෝ නැවත වරක් මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්විය.සමස්ත ශ්‍රී ලාංකේය තරුණ ප්‍රජාව අතික්‍රමණය කොට පවුල් බලයෙන් පෙරට ආ නාමල් රාජපක්ෂ ඇමතිවරයෙක් විය. බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ මෙන්ම ශෂීන්ද්‍ර රාජපක්ෂ ද ඇමතිධූරවලට පැමිණියහ.ඒ අනුව රාජ්‍ය බලය එක් පවුලක් වටා කේන්ද්‍රගත විය.නාමික කැබිනට්ටුව කොළඹ දී පැවැති අතර සැබෑ ක්‍රියාකාරී කැබිනට්ටුව මැද මුලනේ “කෑම මේසය වටා” රැස් වන බව රටම දැන සිටියහ එසේ නම් මොවුන් ඉවත් කළ යුත්තේ සැබෑ ජන බලයකිනි. විපක්ෂ දේශපාලන පක්ෂ එය තෝරා ගත යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සිටය.ඒ ක්‍රියාත්මක භාවයේ දී ඔවුන් පවසන රාජපක්ෂ-වික්‍රමසිංහ සන්ධානය බිඳ දැමීමට ඔවුනට හැකි විය යුතු ය.එසේ නොහැකි වුවහොත් රාජපක්ෂලා සමඟම වික්‍රමසිංහලා ද දේශපාලන භූමියෙන් අතු ගා දැමීමට ද ඔවුනට හැකි විය යුතුය.එහෙත් එසේ කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුළ සිට මිස පඳුරු අස්සේ සැඟ වී හූ කීමෙන් නොවේ.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර