රාජපක්ෂලාගේ සාටක දේශපාලනයට නිමාවක්?

දැඩි ආර්ථික පීඩනය හමුවේ මහ මඟට බැස සිටින ජනයා රාජපක්ෂ පවුලටම දැන් ගෙදර යන ලෙස බල කරන්නට පටන් ගෙන තිබේ. රාජපක්ෂවරුන් නැති පාලනයක් මොවුන් බලාපොරොත්තු වන බව පැහැදිලි ය. රාජපක්ෂ කියූ සැනින් අපට සිහිපත් වනුයේ ඔවුන් සාදා ගත් අනන්‍යතා සලකුණක් වන කුරහන් සාටකය ලෙස ඔවුන් නම් කර ගත් පළඳනාව ය.

ගෝඨාභය රාජපක්ෂ හැර දේශපාලනයේ සිටින සියළු රාජපක්ෂවරු මෙම සාටකයක් පළඳිති.බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හා ශෂේන්ද්‍ර රාජපක්ෂ යන සියළු දෙනා සාටකය පැළඳ සිටිති. සාටකයේ සාපය යන විරෝධතා පාඨය පැමිණියේ ද එම නිසා ය. වත්මන් දේශපාලනයට පැමිණෙන රාජපක්ෂ වරයෙකු වේ නම් ඔහු මහින්ද රාජපක්ෂ අසලට ගොස් ඔහු අතින් සාටකය පළදා ගෙන භෞතීස්ම ලැබිය යුතු යැයි කියනු ලැබේ.එසේ භෞතීස්ම නොලද එකම කෙනා ගෝඨාභය රාජපක්ෂ පමණකි. ඔහු සාටකය හෝ ජාතික ඇදුම ඇන්ඳේ නැත. ඒ වෙනුවට ඔහු කලිසම් කමිස හා යුරෝපීය ඇදුම ඇන්දේය.

ආර්ථික අර්බුදයෙන් පසු ජනතාව පාරට බැස ඇතිවූ දේශපාලන උණුසුමෙන් පසුව රැස්වූ පළමු පාර්ලිමේන්තු සභාවාරයට චමල් රාජපක්ෂ පැමිණියේ සාටකය නැතුව ය. නමුත් එහි සිටි මාධ්‍යවේදීන් මේ ගැන විමසද්දී ඔහුට කේන්ති ගිය බවක් ද දක්නට ලැබුණි. නමුත් මාධ්‍ය දෙස බලා ඔහු කියා සිටියේ දැන් සාටකය වැඩක් නැහැනේ යන කාරණයයි.

සාටකය නොමැති හේතුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවා ඔහුගෙන් ප්‍රශ්න කර සිටිනු දැකගත හැකි විය. රාජපක්ෂ පරපුරේ ප්‍රබලතම තරුණ භූමිකාව උසුලන නාමල් රාජපක්ෂ මෙම සාටකයට කෙතරම් ඇලුම් කරන්නේ ද යත් ඔහු ඇතැම් විට තමන් හැඳ සිටින ටී ෂර්ට් එක උඩින් පවා එය කර ලාගෙන හිඳිනු පෙනෙයි.එහෙත්,ඉන්දු ආර්ය සංස්කෘතියෙන් උරුම වූ ඒ සාටකය එලෙස පැළඳීම ජාතික ඇඳුමක් හැඳ ඊට උඩින් ටයි පටියක් පැළඳීමක් බඳු විහිළුවක් බව ඔහුට කිසිවකුත් කියා දී නොමැති බවක් පෙනෙයි.එමෙන්ම නූතන ප්‍රජාතන්ත්‍රීය සමාජය ඉදිරියට තමන් ගෙනෙන මේ පාරම්පරික සාධකය මත තමන් නවීන චින්තනය කැටි කොට ගත් නූතන තරුණ පෙළ අතුරින් වේගයෙන් දුරස් වෙමින් සිටින බව ද ඔහු තාමත් නොදන්නා බවක් පෙනෙයි.

එහෙත්, රාජපක්ෂවරු තවමත් බලයේ සිටිති. මහින්ද රාජපක්ෂ තවමත් අගමැති ය.ගෝඨාභය රාජපක්ෂ තවමත් ජනාධිපති ය. ඇමති මණ්ඩලය ඉල්ලා අස්වී ඇත. අද (08) දිනයේ නැවත ඇමති මණ්ඩලය දිවුරුම් දෙන බවට ප්‍රචාරයක් පවතියි.
එම ඇමති මණ්ඩලයට රාජපක්ෂවරුන් ඇතුළත් නොවිය යුතු බවට ප්‍රචාරයක් ද පවතියි. කැබිනට් මණ්ඩලයේ සිටිය යුත්තේ මහින්ද රාජපක්ෂ පමණකැයි ද වාර්තාවේ. විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පක්ෂ 10 ක මන්ත්‍රීවරුන් ඉල්ලා ඇත්තේ රාජපක්ෂවරුන් ඇමති මණ්ඩලයට ඇතුලත් කර නොගත යුතු බවකි.

ජනතාව ප්‍රතික්ෂේප කරන ප්‍රධාන රාජපක්ෂවරයා බැසිල් රාජපක්ෂ බව ඔවුහු කියා සිටිති.
ඉකුත් ආණ්ඩුවේ ප්‍රධාන ඇමති ධූර සියල්ල තිබුණේ රාජපක්ෂවරුන් අතේ ය. අය වැයෙන් වැඩිම මුදල් පංගුව වෙන් කෙරුණේ රාජපක්ෂවරුන්ට ය. එය ඇමති මණ්ඩලයේ සිටි කිසිවෙකුටත් ගැටළුවක් වූයේ නැත. එසේම ආණ්ඩුව තුළ කණ්ඩායම් කිහිපයක් ද රාජපක්ෂවරුන් වෙනුවෙන් ඉදිරිපත් වන්නට වෙන්ව සිටියහ.

ඒ මහින්ද රාජපක්ෂ කණ්ඩායම, බැසිල් රාජපක්ෂ කණ්ඩායම හා නාමල් රාජපක්ෂ කණ්ඩායම වෙනුවෙනි. බොහෝ දෙනෙක් ඔවුන්ගේ දේශපාලනමය ආවතේව කරුවන් බවට පත් වී සිටියේ ලාබ ප්‍රයෝජන වෙනුවෙනි.

එසේම රාජපක්ෂ වරුන් තමන්ට හිතවත් මන්ත්‍රීවරුන් තමන්ට වැදගත් හා ප්‍රයෝජනවත් අමාත්‍යාංශවලට පත් කර හැරියේ ඇමති ධූර පිරිනමමිනි. ඒ අනුව බලන කල එම අමාත්‍යාංශ පාලනය වූයේ ද රාජපක්ෂවරුන්ට අවැසි ආකාරයට ය.ඇමති වරයා ඔවුන්ගේ නූලට නැටවෙන රූකඩයක්ම විය. දැන් රාජපක්ෂවරුන් ඇමති ධූර භාර නොගත්ත ද ඔවුන් සකස් කළ ක්‍රමවේදය තවමත් ක්‍රියාත්මක ය. එම “සිස්ටම් එකෙන්” පිටත කිසිවක් සිදුවෙතැයි සිතිය නොහැක.

අනෙක් කරුණ නම් ඔවුන් දැරූ අමාත්‍යාංශවලට නිසැකයෙන්ම ඔවුන්ට හිතවත් ඇමතිවරුන් පත් කෙරෙනු ඇත. ඒ හරහා ඔවුන් තමන්ගේ පැවැත්ම තවදුරටත් තහවුරු කරගනු ඇත. ඇමතිධූරවලින් මොවුන් ඉවත් වුණද ඔවුනට ඇමතිවරුන් ලෙස හිමිවන වරප්‍රසාදයන්ගේ අඩුවක් නම් සිදු නොවනු නියත ය. වෙනත් අය ඇමතිවරුන් ලෙස සිටිය ද නිල නොවන ඇමතිවරුන් ලෙස මොවුන් කටයුතු කරනවාට සැකයක් නැත.රාජපක්ෂවරුන් නැති ඇමති මණ්ඩලයක් සකස් කරනුයේ රටේ ජනතාව අතරින් පැන නැගි ඇති විරෝධය මැඩ පැවැත්වීමට විය යුතු ය.

රාජපක්ෂවරුන් බලය අතහරින්නේ නම් කළ යුතුව තිබුණේ ගෝඨාභය රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ සිය තනතුරුවලින් ඉල්ලා අස්වීම ය. එහෙත්, ඒ දෙදෙනාම තම ධූරවලින් ඉල්ලා අස්වීමට සුදානම් නැත. රාජපක්ෂවරුන් යනු දැඩි බල ලෝභීන් බව මෙයින් පැහැදිලි ය.

මෙවැනිම පීඩනයක් ජනතාව අතරින් පැමිණියේ 1953 හර්තාලයේදී ය. ලෝක බැංකු උපදෙස් මත සහනාධාරයක් ලෙස ලබාදුන් සහල් සේරු දෙක නැවැත්වීමට එවක ආණ්ඩුවට සිදුවිය. එම අවස්ථාවේ රටපුරා විරෝධතා පැන නැගුණු අතර එය 53 හර්තාලය ලෙස ප්‍රසිද්ධ විය. එම අවස්ථාවේ බලයේ සිටි ඩඩ්ලි සේනානායක අගමැතිධූරයෙන් ඉල්ලා අස්වූයේ ජනතා විරෝධය මැඩ පැවැත්වීමට ය. එයින් හර්තාලය අවසන් වූ අතර එම ආණ්ඩුව තවදුරටත් පැවැතිණි

එහෙත්, වත්මන් පාලකයන් එවැනි තීන්දු ගැනීමට හෝ ජනතාවගේ හඩට කන්දීමට සුදානම් නැති බව ඔවුන් හැසිරෙන ආකාරයෙන් මොනවට පැහැදිලිවේ. හොදින් හෝ නරකින් බලයේ රැඳී සිටීමට සාටකධාරී රාජපක්ෂවරු සුදානම් වෙති. රාජපක්ෂවරු නැති පාලයක් ස්ථාපිත කළ හැක්කේ ද ජනතාවට පමණකි. ඒ ඡන්දයක දී මොවුන් සියළු දෙනා ප්‍රතික්ෂේප කිරීම මගින් පමණක් බව දැන් පැහැදිලි ය.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර