ලංකා ඉන්දියානු තෙල් සමාගම නැතිනම් එල්.අයි.ඕ.සි ය ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමුවේ ය. මේ ගැන බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ගෙන් මාධ්‍ය විමසා සිටියේ ඉන්දියානු තෙල් සමාගමට ඉන්ධන මිල වැඩි කිරීමට අවසර දුන්නේ කව්ද? කියා ය.
ඇමතිවරයාගේ පිළිතුර වූයේ අතීතයේ සිටම ඉන්දියානු තෙල් සමාගම ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල ඉහළ යන අවස්ථාවල දී හා ඔවුනට පාඩු සිදුවන අවස්ථාවලදී මෙලෙස ඉන්ධන මිල ඉහළ දමන බැවින් එහි අරුමයක් නොමැති බව ය.
එයින් පැහැදිලි වන්නේ ඉන්දියානු තෙල් සමාගම නියාමනය කිරීමේ බලයක් රජයට නොමැති බවකි. මිල ඉහළ දමන අවස්ථාවල දී ඔවුන් මිල ඉහළ දැමුව ද තෙල් මිල අඩුවන අවස්ථාවල දී තෙල් සංස්ථාව මිල පහළ නොදැමුවහොත් ඔවුන් මිල පහත දමන්නේ නැත.මේ අතර ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් අඩු වෙද්දී එහි වාසිය ජනතාවට නොදී පරිප්පු, සීනි හා සැමන් මිල අඩු කරන්නට ජනාධිපතිවරයා කටයුතු කළේ ය.
එම අවස්ථාවේ දී ද ඉන්දියානු තෙල් සමාගම ද මිල අඩු නොකළ අතර ඔවුන් අධික ලාභයක් එම කාලය පුරාවටම හිමි කර ගත්තේය. ඒ මන්ද?ඔවුන් පරිප්පු, සීනි හා සැමන් වලට සම්බන්ධයක් නොමැති බැවිනි. ඉන්දියානු තෙල් සමාගම ඉන්ධන සෘජුව ආනයනය කරන අතර ඒ සම්බන්ධයෙන් රජය හා බැඳීමක් නැත. මේ නිසා තෙල් මිල පහත යන අවස්ථාවල දී ඔවුනට අධික ලාභ ඉපැයිය හැක.
ඉන්දියානු තෙල් සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමෙන් තවත් වාසියක් අත් කර ගනියි. එනම් මිල ඉහළ දැමීම නිසා ඔවුන් වෙත එන පාරිභෝගික පිරිස අඩු කර ගැනීමෙනි. එවිට ඔවුන්ගේ ඉන්ධන අලෙවිය අඩු වීම තුළ ද වාසියක් අත්වේ. ඒ තමන් පැරණි මිලට ගෙන්වූ තෙල් තොග යම් වැඩිපුර කාලයක් රඳවා ගැනීමට හැකි වන බැවිනි.
එතනදී ද අවාසියක් අත් වන්නේ අපේ තෙල් සංස්ථාවට ය. ඔවුන්ගේ ඉල්ලුම වැඩිවන නිසා තෙල් අධික මිලට තෙල් ඇනවුම් කිරීමට සිදුවේ. මේ අනුව බලන විට සංස්ථාවට නැතිනම් රජයට තවත් අමතර වැය බරක් දරන්නට සිදුවේ. ඉන්දියානු තෙල් සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇති අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන ආයතනයක් බවට පත්ව තිබේ. ඒ රජයේ අදූරදර්ශී පාලනය හේතුවෙනි.
ඉන්දියානු තෙල් සමාගම මෙලෙස අධික ලාභ ලබද්දී ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන්නේ රජයේ මැදිහත්වීම මත ය. ඉන්දියානු තෙල් සමාගමේ සේවය කරනුයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක සංඛ්‍යාවෙන් අඩුකටත් වඩා අඩු සේවක පිරිසකි. පැමිණෙන සෑම ආණ්ඩුවක්ම තෙල් සංස්ථාවේ සේවකයන් සංඛ්‍යාව ඉහළ දමන නිසා දිගටම සංස්ථාව පාඩු ලබයි.
මේ අතර බලශක්ති ඇමතිවරයා පසුගිය දිනක තවත් අපූරු උත්තරයක් දුන්නේ ය. එනම් බොරතෙල් ආනයනය කරනවාට වඩා පිරිපහදු කළ ඉන්ධන ගෙන්වීම වාසි සහගත බව ය. ලංකාවේ ඉන්ධන පිරිපහදුවක් තිබියදී බොරතෙල් ආනයනය නොකර පිරිපහදු කළ ඉන්ධන ආනයනයේ වාසිය කුමක්දැයි අපට පැහැදිලි නැත.
බොරතෙල් බැරලයක මිල අනුව ලෝක වෙළෙඳ පොලේ අනෙකුත් ඉන්ධන මිල ගණන් වැඩි නිසා බොහෝ රටවල් කරනුයේ බොරතෙල් ආනායනය කිරීම ය. පිරිපහදු කළ ඉන්ධන ඊට වඩා මිලෙන් අධික ය. ඉන්පසු නැව් ගාස්තු, ප්‍රමාද ගාස්තු, බදු ඇතුළත් වූ විට එය තවත් මිල අධික වනු ඇත. බොරතෙල් ආනයනයට ද ඉහත පිරිවැය එකතු වන නමුත් එහි මූලික මිල පිරිපහදු කළ ඉන්ධනවලට වඩා අඩු මිලක් ගැනීම නිසා ආනයනයේදී වාසියක් අත්වේ.
පිරිපහදු කළ තෙල් මිලදී ගත යුත්තේ විවෘත වෙළෙද පොලෙනි. එවිට අතරමැදියන්ට ද සම්බන්ධ වීමේ හැකියාව පවතියි. කෙසේ නමුත් බොරතෙල් ගෙන්වා ගැනීම තුළ නිෂ්පාදනයන් රැසක් එකතු වේ. පෙට්‍රල්, ඩීසල්, ගුවන් යානා තෙල් (ජෙට් A 1), භූමිතෙල්, නැප්තා, තාර, ගෑස් ආදී අතුරුඵල රැසක් බොරතෙල් පිරිපහදුවේ දී නිපදවා ගත හැකිය.
පිරිපහදු කළ තෙල් ආනයනය කරන්නේ නම් මේ සියල්ලම ආනයනය කිරීමට සිදුවේ. ලංකාවට අවශ්‍ය භූමිතෙල් හා ගුවන් යානා තෙල් මීට පෙර ලබා ගත්තේ පිරිපහදුවෙනි. බොරතෙල් ආනයනය නොකරන්නේ නම් භූමිතෙල් හා ගුවන් යානා ඉන්ධන පවා ආනයනය කිරීමට සිදුවේ. ඉන්දියානු තෙල් සමාගම භූමිතෙල් අලෙවි කරන්නේ නැත. ඒ භූමිතෙල් ආනායනය කර අඩු මිලට අලෙවි කළ නොහැකි බැවිනි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට භූමිතෙල් මිල පවා වැඩි කිරීමට සිදුවනු ඇත.
රජයේ අලුත්ම තීන්දුව වන්නේ ඩීසල් හා පෙට්‍රල් ඉන්දියානු තෙල් සමාගමෙන් මිලදී ගැනීමට ය. බොරතෙල් සයිප්‍රසයෙන් මිලදී ගැනීමට ය. සයිප්‍රසය යනු ඉන්ධන තිබෙන රටක් නොවේ. එසේ නම් ඔවුන් ඉන්ධන අලෙවියේ තැරැව්කරුවන් ය. තැරැව්කරුවෙකු හරහා ඉන්ධන ආනයනය කරන්නේ නිකම්ම විය නොහැක. එහි යටි අරුතක් තිබිය යුතුම ය.
මීට පෙර ලංකාව බොරතෙල් ආනයනය කරනු ලැබූවේ ඉන්ධන නිෂ්පාදනය කරන මැද පෙරදිග රටවල් සමග ඇතිකරගත් දීර්ඝකාලීන ගිවිසුම් මගිනි. දැන් එම ක්‍රමයෙන් ඉවත්වී මෙලෙස කටයුතු කිරීමෙන් රටේ තිබෙන ඉතිරි ඩොලර් ටිකත් අවසන් වනු ඇත.
ඉන්දියානු තෙල් සමාගම වැඩි කළ මිලට සමාන මිලකින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ද වැඩි කිරීමට සිදුවනු ඇති බව සංස්ථාවේ වෘත්තීය සමිති සඳහන් කරයි. එසේ නම් ඉන්දියානු තෙල් සමාගම කර ඇත්තේ කස කරුවාගේ භූමිකාව ය.
රටේ ඉන්ධන ඇත්තේ තවත් දින 7 කට පමණක් බව ද වෘත්තීය සමිති පවසයි.
සංස්ථාව පවසන්නේ ඉදිරියේ දී තෙල් නැවක් පැමිණීමට ඇති බව ය. ඉන්ධන නොමැති කමින් විදුලි බලාගාර කිහිපයක් මේ වන විටත් වැසී ගොස් ඇත.
අර්බුදය අවසන් කිරීමට වැඩපිළිවෙලක් නොමැති බව නම් පැහැදිලිය.මෙම සංසිද්ධිය මුල් කොට සමාජ ජාලා පරිශීලකයකු අපූරු නිර්මාණයක් අන්තර්ජාලයට එක් කොට තිබිණ.ඒ ඉන්දියානු තෙල් සමාගම හඳුන්වනIOCයන්න “IOස” යනුවෙන් වෙනස් කිරීමෙනි.ඉන් පැවසෙනුයේ මෙම තෙල් අර්බුදය මේ වන විට අප රටේ රාජ්‍ය තන්ත්රයේ ඉහළන තැන තෙක් ඔඩු දුවා ඇති බවකි.
ලසන්ත වීරකුලසූරිය