රාමගේ දේශයෙන් මුදල් ණයට ගෙන අවුරුදු කන අපේ රාවණා පරපුර

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පසුගිය දා ඉන්දියාවේ දී අත්සන් කරන ලද ඇමරිකානු ඩොලර් බිලියනයක ණය ගිවිසුම ප්‍රකාරව දැන් ශ්‍රී ලංකාවට ඉන්දීය ඉන්ධන තොග ලැබෙමින් පවතී.

මේ අතර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගිය දා ව්‍යාපාරිකයන් අමතමින් කියා සිටියේ මේ වන විට වරායේ ඇති නැව් වල ඇති සියළුම ඉන්දීය භාණ්ඩ මුදා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කොට ඇති බැවින් හැකි ඉක්මනින් තම අමාත්‍යංශයෙන් ඒ සම්බන්ධ වැඩි විස්තර ලබා ගන්නා ලෙස ය.

මේ සියලු ආකාරවලින් මේ වන විට ශ්‍රී ලංකාව ඇද වැටී තිබෙන ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ඒම පිණිස ඉන්දීය මූල්‍යමය සහායක් ලැබීම මත එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද තරමක් හෝ සහනශීලී මුහුණුවරින් සැමරීමට ජනතාවට අවකාශ ලැබෙනු ඇත.

සියවස් කිහිපයක් තිස්සේ සිංහල අලුත් අවුරුද්ද යනුවෙන් හැඳින්වුණු මෙම සංස්කෘතික උත්සවය මෑතක සිට ‘හෙළ’ යන ආරෝපණය මගින් ජන මාධ්‍ය සේම වෙළඳ ප්‍රචාරක කටයුතු වලදී පවා හැඳින්වීම ඇරඹීමත් සමඟ ඊට ජනකාන්ත භාවයක් ආරෝපණය වී තිබේ. සිංහල යන්න වෙනුවට මෙම හෙළ යන ව්‍යවහාරය මෑත ඉතිහාසයේ යළි පණ ගැන්වෙන ලද්දේ තියඩෝර් ජී. පෙරේරා පියතුමන් ඇතුළු පඬිවරුන් විසින් ඒ සඳහා දෙන ලද මානව විද්‍යාත්මක අර්ථ විග්‍රහය හේතුවෙනි.

සිංහල භාෂාව පිළිබඳ ප්‍රශස්ථ අධ්‍යයනයක් කළ ජර්මන් ජාතික විල්හෙම් ගයිගර් පඬි වරයා විසින් සිංහල භාෂාවේ පරිනාමය පිළිබඳව සඳහන් කිරීමේ දී භාරතී හින්දු ආර්ය සම්ප්‍රදායට අයත් නොවන වෙනම වදන් මාලාවක් කෙරෙහි අවධානය යොමු කොට ඇත.

ලිප, ළිඳ, නිකට, කකුල, විළුඹ ආදී භාරතීය හින්දු ආර්ය සම්භවයක් නොමැති එම වදන් හෙළ නම් වන ප්‍රාකෘති සිංහල වශයෙන් ඔහු විසින් හඳුනා ගන්නා ලදී. පසුව එම මානව විද්‍යාත්මක අනාවරණය කෙරෙහි අවධානය යොමු කළ එවක සමාජයේ විද්වත් තරුණ පිරිස් එම ‘හෙළ’ යන අප අපේ භාෂාත්මක ප්‍රභවය මුල්කොට ඒ සම්බන්ධ අතීත ශිෂ්ටාචාරයක සුල මුල සෙවීම කෙරෙහි ද යොමු වූහ. ඒ කිනම් හෝ භාෂා සම්භවයකට සමගාමී ශිෂ්ටාචාරයක් ද තිබිය යුතුමය යන මානව විද්‍යාත්මක සිද්ධාන්තය පදනම් කරගනිමිනි.

එම විද්වත් ප්‍රබෝධයේ සුවිශේෂ කූට ප්‍රාප්තියකට මුල පිරෙන ලද්දේ අප රටේ විසු විෂ්ටතම භාෂා, ශාස්ත්‍ර විශාරදයකු හා දේශ ප්‍රේමියකු වූ මුණිදාස කුමාරතුංග පඬිවරයා ගේ ප්‍රධානත්වයෙන් එක් දස් හතලිහ දශකයේ ආරම්භයේ දීම ‘හෙළ හවුල’ සංවිධානය පිහිටුවා ගැනීමත් සමඟිනි. ඒ සමඟම ශ්‍රී ලංකාවට ආර්යයන් සංක්‍රමණය වීම හා සම්බන්ධ කේන්ද්‍රීය පුරාවෘත්තය වූ විජයාවරණයට වඩා අතීතයක් හිමි හෙළ වංශ කතාවක් පිළිබඳව ජන අවධානයට යොමු විය.

විජයාවරණයට පෙර අප රටේ ජීවත් වූ සහ භාරතීය සංස්කෘත සාහිත්‍යයේ අසුරයන් ලෙස හඳුන්වනු ලැබූ බලි, තරු, රාවණ ආදී ප්‍රබල චරිත දුරාතීතයේ අප රට පාලනය කළ මහා ප්‍රතාපවත් නරපතියන් ලෙස හඳුන්වා දෙන ලදී.

පසුකාලීනව යටපත්ව තිබූ හා නපුරු දුෂ්ඨ, පාපී රජකු ලෙස දහ අටවන සියවසේ ලියැවුණු රාජාවලියේ පවා හඳුන්වා දී ඇති රාවණා යනු ඒ රාජාවලියට අයත් එක් රජ කෙනෙකි.භාරතීය හින්දු සාහිත්‍යයට අයත් රාමායනය සහ මහා භාරතය යන වීර කාව්‍යයන් විශ්ව සාහිත්‍යයේ ද වැදගත් තැනක් හිමි කර ගැනීමට සමත් ඓතිහාසික ග්‍රන්ථ ද්විත්වයකි.

හින්දු ත්‍රිමූර්තියට අයත් විෂ්ණු දේව සංකල්පය මුල් කොට ගත් ලෝක විග්‍රහයේ දී යුක්තිය සහ අයුක්තිය අතර ඇති නිරන්තර සමාජමය සංඝටනයට ආගමික,ආධ්‍යාත්මික ආරෝපණයක් දීම එම ග්‍රන්ථ ද්වයෙන්ම සිදු වී තිබේ.  එම කෘතීන් මගින් යුක්තිය දිව්‍යමය හෙවත් ‘සුර’ පක්ෂය නියෝජනය කරවන්නක් ලෙස ද අයුක්තිය යක්ෂ හෙවත් ‘අසුර’ පක්ෂය නියෝජනය කරවන්නක් ලෙස ද පෙන්වා දී ඇත්තේ ඒ අනුව ය.

එම රාමායන  වීර කාව්‍යයේ දැක්වෙන ලංකා පුර නම් රාජ්‍යය පාලනය කළ රාවණා යනු අති ප්‍රබල යක්ෂ හෙවත් අසුර නරපතියෙකි.පරිච්ඡේද හෙවත් ඛාණ්ඩ හතකින් හා ශ්ලෝක විසි හතර දහසකින් යුතු  රාමායනය විෂ්ණු දෙවියන් නියෝජනය කරන රාම කුමරුන් ගේ අනභිබවනීයත්වය දේවත්වාරෝපණයකින් යුතුව හුවා දැක්වෙන අතර ඔහුගේ අසම සම වීරත්වයට අභියෝග කරනුයේ එවක ලංකාපුරය පාලනය කළ රාවණා නම් අති ප්‍රබල යක්ෂ නරපතියා විසිනි.

රාම කුමරුන් කේන්ද්‍ර ගත දීර්ඝ වෘත්තාන්තයක් වන රාමායනයේ රාම කුමරුන්ගේ ප්‍රියංබිකාව වන සීතා ලංකා පුරයට පැහැර ගෙන එන රාවණාට එරෙහිව වානර හමුදාවක් ද සමඟ ලංකාව ආක්‍රමණය කරන රාම කුමරු රාවණා විනාශ කොට දමා යළි සීතා ද රැගෙන භාරතයට යයි.

රාමායනය ඒකීයත්වයක් සහිත කෘතියක් තිබේ. එහි යුග කිහිපයකට අයත් සංස්කරණ කිහිපයක්ම ඇත.නමුදු ඒ සියලු සංස්කරණ වල පොදුවේ දැක්වෙන අන්දමට රාවණා යනු කිසිදා මුළුමනින් විනාශ කළ හැකි බලයක් නොවේ.

යුක්ති ධර්ය නම් වන රාම කුමරු ගේ බලයට එරෙහිව වරින් වර මතුවන අයුක්ති ධර්මය නම් වන රාවණා ගේ බලය ලොව වරින් වර යටපත් වෙමින් යළි යළිත් ඉස්මතු වනු ඇත. එහෙත් මෙය අනාදිමත් කාලයක සිට භාරතීය ආර්යවාදීන් විසින් ඔවුන්ට එරෙහිවූ අතිශය දියුණු සුවිශිෂ්ට ශිෂ්ටාචාරයකට ආර්යවාදී දෘෂ්ඨියක පිහිටා  කළ පහර දීමක් බවත් ඒ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රය එෛතිහාසිකව නිශ්චය කළ නොහැකි අතීත වකවානුවක අප රට පාලනය කළ රාවණා නම් අසම සම නරපතියා බවත් මෑත කාලයේ සිට අප ජන සමාජය තුළ නව්‍යකරණයට ලක් වූ රාවණා වාදීන් ගේ මතය වී තිබේ.

ශ්‍රී ලාංකේය මුඛ්‍ය සංස්කෘතික සම්ප්‍රදායේ අසම සම වීරයා බවට පත්ව ඇත්තේ දුටුගැමුණු රජතුමා ය. එහෙත් පසුගිය එල්.ටී.ටී.ඊ. යුද සමයේ අප රටේ සිංහල ජනතාවගේ මානසික උද්දීපනය සඳහා දුටුගැමුණු රජතුමාට නොදෙවෙනි තවත් සුරු විරු නර පතියකු ගේ ප්‍රතිරූපයක් ගොඩ නංවා ගැනීමේ අවශ්‍යතාවක් මෙරට පොදු ජන විඥානය තුළින් පැන නඟින්නට විය. කිසිදු ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක පසුබිමක් නොමැති මෙම රාවණා රාජ වෘත්තාන්තය කිසිදු ශාස්ත්‍රීය පදනමක් නොමැතිව අප රටේ ජනප්‍රිය ඉතිහාස කතා අතරට පත්ව ඇත්තේ එම පොදු සාමාජයීය මානසික අවශ්‍යතාව සංතෘප්ත කර ගනු පිණිස ය.

එනිසාම වත්මන් ජනාධිපති වරයා බලයට පත් වීමෙන් පසු තරුණ තරුණියන් ස්වේච්ඡාවෙන් නිම කරන ලද පුර අලංකරණ පුවරු සිත්තම් වල ප්‍රධාන තැන ද රාවණා ගේ රුව සහිත සිතුවම් වලට හිමි විය.

වර්තමාන තත්වය මෙසේ වුවද මෙම රාම රාවණා යුද්ධය අතීතයට පමණක් සීමා නොවූවක් බවත් රාවණා ගේ බලය ඉස්මතු වීම මුල් කොට අදටත් අප රටට රාම කුමරුන් ගේ පහර කෑම් වලට ලක්වීමට සිදුවන බවටත් මහනුවර යුගයේ පමණ සිට පැවතෙන බව සැළකෙන ජන විශ්වාසයක් උකහා ගැනීමට ජන විශ්වාස ගවේෂක මාධ්‍යවේදී තිලක් සේනාසිංහට හැකිවිය.

ඒ 2016 වසරේ මැයි 17 දා බිහිසුණු නාය යාමකට ලක් වූ අරනායක රාමසර කන්ද මුල් කරගත් එකකි. එම ප්‍රදේශයේ පාරම්පරික ජන විශ්වාසයනට අනුව එම කන්දට සාමසර යන නම ලැබී ඇත්තේ රාමසර යන නමෙහි විකෘතියක් ලෙසිනි. “රාම සර” “සාම ශර” යනු රාම කුමරුන් ගේ හීතලය යන අරුත ගෙනෙන වදනකි. ඒ ප්‍රදේශයේ ගැමියන් අතර පැවැති පැරණි විශ්වාසයකට අනුව වරින් වර රාම කුමරුන් ගේ හීතල පහරට නතුවීම මත එම කන්දට ඒ නම ලැබී තිබේ.

ලංකා පුරයේ රාවණා තම බලය අනවශ්‍ය ලෙසින් ඉස්මතු  කරන සෑම විටෙකම රාම කුමරුන් ඉන්දියාවේ සිට ලංකාවට එල්ල කරන හී පහර එම කන්ද මතට පතිත වන බවට ජන විශ්වාසයක් ඒ අවට ගැමියන් තුළ ඊට පෙර සිටම පවතින බව තිලක් සේනාසිංහ එම බිහිසුණු නාය යාමට වසර කිහිපයකට පෙර අනාවරණය කොට ඇත. එමෙන්ම අරනායක ගැවිලිපිටිය ප්‍රදේශයේ සිට එම සාමසර කන්ද දුරට පෙනෙනුයේ එහි මුදුනෙන් “කුට්ටියක්” ගැලවී ගොස් ඇති ආකාරයකට වීම මත ඊට හේතුව අතීතයේ රාම කුමරුන්ගේ හී තලයක් ඒ කඳු මුදුනේ වැදී ඇතැයි යන ජන විශ්වාසය ඒ කන්ද අද්දර ගැමියන් තුළ කලක සිට පැවැති බව තිලක් සේනාසිංහ අනාවරණය කොට තිබේ.

එමෙන්ම 2016 වසරේ මැයි 17 දා පස්වරුවේ හෙන හඬක් බඳු මහා ශබ්දයක් නිකුත් කරමින් එම සාමසර කන්ද දරුණු නාය යාමකට ලක්වූයේ පුද්ගලයන් එකසිය විසි තුන් දෙනකු මරා දමමින් හා අතුරුදන් කරවමිනි. එමෙන්ම, එම දරුණු නාය යාම නිසා නිවාස පන්සියයකට ආසන්න ප්‍රමාණයකට පූර්ණ හෝ අර්ධ හානි සිදු වූ අතර පවුල් එකසිය හත්තෑ අටකට මුළුමනින්ම උන් හිටි තැන් අහිමිවූ බව පැවසෙයි.

මෙම සාමසර කන්ද ආශ්‍රිත නාය යාම නම් භූ විද්‍යාත්මක සංසිද්ධිය කාලාන්තරයක් තිස්සේ වසර තුන් සියයකට පමණ වරක් මෙලෙසින්ම සිදුවන බව පසුව ඒ සම්බන්ධ පර්යේෂණ කළ භූ විද්‍යාඥයන් විසින් අනාවරණය කර ගෙන තිබේ. එහෙත්, සාමසර කන්ද සහ රාම කුමරුන් ගේ ඊතල ප්‍රහාරය පිළිබඳ ජන විශ්වාසය එම භෞතික ක්‍රියාවලිය හා සමපාත වූ අන්දම පිළිබඳව තව දුරටත් පර්යේෂණ සිදුවිය යුතු බව අපගේ වැටහීම ය.

රාම කුමරුන් විසින් වරින් වර ප්‍රහාර එල්ල කොට රාවණා ගේ බලය යටපත් කරන්නේ ය යන ජන විශ්වාසය සහ මෙරට ඇතැම් දෙනකු රාවණා රජු විසින් මුල්වරට මෙරටට හඳුන්වා දුන් උත්සවයක් ලෙස ජන මාධ්‍යවලින් පවා ප්‍රකාශ කොට සිටින බක් මහ උළෙල සැමරීම මුල් කොට ද නැවත ඉස්මතු වී තිබේ.

එම සැමරුම සඳහා මෙවර රාවණ ගේ ප්‍රතාපවත් දේශයේ මුදල් ඇමතිවරයාට රාමගේ දේශයෙන් ණයක් ඉල්ලා ගැනීමට සිදුවීම මෙරට රාවණා සංකල්පය දේවත්වයෙන් සළකමින් ඊට ව්‍යාජ අනභිබවනීය ව්‍යාජ ඓතිහාසික ආරෝපණයක් ලබා දුන් පිරිස කෙසේ අර්ථ දක්වනු ඇත්දැයි අපි නොදනිමු.

එහෙත්, ඇතමුන් විසින් සමස්ත මානව සංහතියේම අසම සම නරපතියා වන රාවණා ගේ පරපුරේ අයකු හට රාවණා කේන්ද්‍ර කරගත් හෙළ බක්මහ උළෙල සැමරීම පිණිස රාම කුමරුන් ගේ දේශයට ගොස් ණයක් ඉල්ලා ගෙන ඒමට සිදුවීම රාම කුමරුන් නැවතත් රාවණා ගේ ගෞරවනීය ප්‍රතිරූපයට එල්ල කළ පරම නින්දාවක් ලෙස යමකුට සිතෙන්නට බැරි නැත. එබැවින් මානව වි‍ද්‍යා විෂය පථය හා සම්බන්ධ වූවකු ලෙස ඒ පිළිබඳව අවසන් වශයෙන් කිව යුත්තක් තිබේ.

එනම් හුදෙක් මානව විද්‍යාත්මක වශයෙන් විශ්ලේෂණය කළ යුතු සිංසිද්ධීන්ට ව්‍යාජ එෛතිහාසික ආරෝපණයන් ලබා දී අති ප්‍රමාණික අගැයුමට ලක් කිරීම කරනවෑමියකුට පෙදරේරු වැඩක් බාර දීමක් වැනි අනුවණ කමක් බව ය.

මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

 

එතෙර - මෙතෙර