රාමසාන් අදයි

පුරාදින තිහක කාලයක් තිස්සේ උපවාස ශීලය රැකීමෙන් පසු එළඹෙන අද(03) දිනයේ දී ලොව පුරා ඉස්ලාමීය බැතිමත්හු රාමසාන් උත්සවය සමරති.මාසයක් පුරා පැවැත්වෙන රාමසාන් උපවාස සමය තුළ එය රකින අයට සැමට පොදු කුසගින්න යනු කුමක්දැයි හරි හැටි ප‍්‍රත්‍යක්ෂ වන බව ශුද්ධ වූ අල් කුරානයේ දැක්වෙයි.මෙරට ඉස්ලාම් භක්තිකයෝ ද රාමසාන් කාලය තුළ අලුයමින් පිබිද මුව කට සෝදා හිරු උදාවීමට පෙර උපවාස ශීලය ආරම්භ කරන අතර.සවස් කාලයේ හිරු බැස ගිය පසු ආහාර පාන පිළියෙල කර දවසේ එකම ආහාරය අනුභව කරති.මෙම උපවාසය වයස අවුරුදු හතට අඩු කුඩා ළමුන්, රෝගීන් හා බෙහෙවින් වයස්ගත දුර්වල අය හැර ස්තී‍්‍ර පුරුෂ, දුප්පත්, පොහොසත් යනාදී කවර භේදයකින් හෝ තොරව සියඵ දෙනා විසින් රැකිය යුතු බව ඉස්ලාමයේ සඳහන් ය.
දින තිහකට පසුව නව සඳ බැලීමෙන් අනතුරුව සුපුරුදු පරිදි උදෑසන ශීලයෙන් මිදී දේවස්ථානවලට ගොස් අල්ලා දෙවියන් සිහි කර යාඥා කිරීමෙන් පසු නිවෙස්වලට පැමිණ එය උත්සවාකාරයෙන් සමරති.සිංහල ජන වහරේ “නෝම්බි අවුරුද්ද” යනුවෙන් හැඳින්වෙන රාමසාන් උත්සවය සබන්ධ ප‍්‍රධාන යාඥා මෙහෙය කොළඹ මහ පල්ලියේ දී පැවැත්වෙයි.

කාලීන පුවත්