රුපියල නැඟිට්ටාද?ඩොලරය ඇද වැටුණාද?මොකක්ද ?ඇත්තම කතාව

මේ දිනවල ලෝකයේ මූල්‍ය අංශය පිළිබඳ නිතර කතාබහ කෙරෙනු අසන්නට ලැබේ. සාමාන්‍යයෙන් මූල්‍ය අංශය පිළිබඳ කතා කරන්නේ ආර්ථිකය හසුරුවන විශේෂඥයන් වුව ද මෑත කාලයේ එය සාමාන්‍ය ජනතාව අතර ද කතාබහට ලක් වන මාතෘකාවක් බවට පත් ව තිබේ. එක පැත්තකින් ඇසෙන්නේ රුපියලේ අගය වැඩිවෙමින් පවතින බවය. ඒ පිළිබඳ බොහෝ දෙනෙක් කතා කරති. ආර්ථික පිළිබඳ ප්‍රමාණික දැනුමක් නොමැත්තෝ ද මේ පිළිබඳ කතා කරති. ඩොලරය පිරිහී ඇති බව ද තවත් පැත්තකින් කතා ඇසෙන මුත්, රුපියල ගැන කතා කරන තරමට ඩොලරය පිළිබඳ කතා කරනු ඇසෙන්නේ නැත. ඒ නිසා අපි රුපියලට වඩා වැඩියෙන් ඩොලරය ගැන කතා කරන්නට අදහස් කරමු. ඩොලරය ගැන කතා කරද්දී රුපියලේ ඉහළ යාම ගැන ද යම් වැටහීමක් ලැබෙනු ඇත.

ඩොලරය පැත්තේ සිට කතා කළොත් 2022 වසර එය පැවතියේ සිකුරු දසාවේ යැයි කිවහොත් එහි වරදක් නැත. දශක දෙකකට පසුව ඩොලරයේ හොඳම අගය වාර්තා වූයේ පසුගිය වසරේ ය. 2022 වසරේ දී ලෝකයේ ප්‍රධාන පෙළේ මූල්‍ය ඒකකවලට සාපේක්ෂව ඩොලරය පැවතියේ ඉහළ තත්ත්වයක ය. මෙහි උපරිමය වාර්තා වූයේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ය. ලෝකයේ මූල්‍ය වෙළෙඳ පළ තුළ කොටස් සහ බැඳුම්කරවලට ඇති ඉල්ලුම පහළ යද්දී ඩොලරයේ අගය 22%කින් ඉහළ නැග තිබුණි.

2022 වසරේ ඩොලරය ඉහළ නැග්ගේ ඇයි?

ඇමරිකා එක්සත් ජනපද ඩොලරය ඉහළ හෝ පහළ යන්නට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ එරට තුළ ඇතිවන උද්ධමන තත්ත්වයයි. යම් උද්ධමන තත්ත්වයක් ඇති වූ විට එරට බලධාරීන් සිදුකරන්නේ ඩොලරය සඳහා ගෙවනු ලබන පොලී අනුපාතිකය ඉහළ දැමීමය. එවිට අයෝජකයෝ ඩොලර් මත ආයෝජනය කරන්නට ඉදිරිපත් වෙති. වෙළෙඳපොළ තත්ත්වය සාමාන්‍ය වූ විට පොලී අනුපාතිකය පහළ දමන අතර එවිට ආයෝජකයේ වෙනත් මූල්‍ය ඒකක මත හෝ රටවල ආයෝජනය කරන්නට පෙලඹෙති. රුසියානු-යුක්රේන යුද්ධය ඇරඹෙද්දී ඇමරිකා එක්සත් ජනපදය තුළ උද්ධමන තත්ත්වයක් ඇතිවෙමින් තිබූ අතර එවැනි අවස්ථාවක දී ඔවුන් ගනු ලබන සාමාන්‍ය පියවර ලෙස පොලී අනුපාතිකය ඉහළ දමනු ලැබිණි. එවිට ලෝකයේ බොහෝ ආයෝජකයන් කල්පනා කළේ රටවල් දෙකක් අතර යුද්ධයක් පවතිද්දී මුදල් ආයෝජනය කරන්නට ඇති හොඳම ඒකකය ඩොලර් වශයෙනි. ඩොලර්වලින් ආයෝජනය කරන්නන්ට ඉහළ ප්‍රතිලාභ හිමි වූ අතර මේ නිසාම යෙන්, යුරෝ සහ බ්‍රිතාන්‍ය පවුමට ඇති ඉල්ලුම පහළ බැස්සේ ය. මේ නිසා මේ රටවල් සිය මූල්‍ය ඒකකය ආරක්ෂා කරගැනීමේ පියවරයන්ට අවතීර්ණ වූහ. ඔවුන් සිය මූල්‍ය ඒකකයෙන් ආයෝජනය කරන්නන්ට ගෙවන පොලී අනුපාතිකය ඉහළ දැමූ අතර, සිය විදෙස් සංචිත විකුණා තමන්ගේම මූල්‍ය ඒකකය මිලට ගන්නට කටයුතු කළහ.

2022 වසරේ ලෝකයේ ප්‍රධාන මූල්‍ය ඒකකයන් ආරක්ෂා කරගැනීම සඳහා අදාළ රටවල් ගත් පියවර සේම ඇමරිකාව තුළ උද්ධමනයේ යම් අඩුවීමක් ද දක්නට ලැබුණු නිසා පොලී අනුපාතිකය අඩුකිරීම ආදී කරුණු නිසා ඩොලරයට ඇති ඉල්ලුම අඩු වී ඩොලරයේ අගය වේගයෙන් පහළ බසින්නට පටන් ගත්තේය. එය කෙතරම් පහළට වැටුණේ ද කිවහොත් වසර 12ක් තුළ ඩොලරය මුහුණ දුන් නරකම කලදසාව එය විය.

ඩොලරයට අත් වූ මේ නරක කලදසාව නිසා එයට සාපේක්ෂව ලෝකයේ ප්‍රධාන නොවන මූල්‍ය ඒකක පවා වර්ධනය වන්නට විය. අපේ රටේ රුපියල ශක්තිමත් වීම කෙරෙහි බලපෑ එක් හේතුවක් එය විය. එමෙන්ම ආනයන සීමා කිරීම ද අප රට තුළ ඩොලර් ඉල්ලුම අඩු වන්නට හේතු විය. අපගේ මූල්‍ය ඒකකය වන රුපියලේ අගය මනින්නේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව බැවින්, ඩොලරයේ මේ පසුබෑම රුපියලත් ඩොලරයත් අතර අනුපාතයත් වෙනස් කරන්නට හේතු විය. එබැවින් අප රටේ රුපියලේ ශක්තිමත් වීම මෙරට කරවනවුන්ගේ දක්ෂකමක් නිසා ඇති වූවක් නොව, ඩොලරය සහ ලෝක ආර්ථිකය අතර ඇති වූ ගැටලුව නිසා ඇති වූවක් ලෙස ද සැලකිය හැකිය.

කෙසේ නමුත් 2023 වසර තුළ ඩොලරය ශක්තිමත් කරගැනීම සඳහා එරට ආර්ථික විශේෂඥයන් මේ වන විටත් සැලසුම් සකස්කොට හමාරය. ඔවුන් නිසැක ලෙස ඩොලරයේ අගය ඉහළ නංවා ගනු නිසැක අතර, ඒ සමගම අපේ රටේ රුපියලට ද කණකොකා හඬනු නිසැකය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර