සඳ තරණය කිරීම සඳහා රුසියාව පිටත් කර හරිනු ලැබූ ලූනා 25 අභ්‍යවකාශ යානාව පාලනය කළ නොහැකි පරිදි ආකාරයෙන් කක්ෂ ගත වීම හේතුවෙන් පසුගිය 20 වැනිදා සඳ මතට කඩා වැටී විනාශයට පත් වූ බව රුසියාවේ රොස්කොස්මොස් අභ්‍යවකාශ ඒජන්සිය වාර්තා කළේ ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අභ්‍යවකාශ සිහිනයට අතුල් පහරක් එල්ල කරමිනි.
රොස්කොස්මොස් ඒජන්සිය පැවසූවේ දැනට කිසිදු රටක් පිවිසීමට උත්සාහ කොට නැති සඳෙහි දක්ෂිණ ධ්‍රැවය මත ගොඩ බසින්නට මේ යානය සූදානම් වන අවස්ථාවේ දී එය සමග පැවති සියලු සබඳතා බිඳී ගිය බව ය.
“යානය අපට බලාපොරොත්තු නොවූ ස්ථානයක කක්ෂ ගත වීමේ ප්‍රතිඵලයක් ලෙස සඳ මත කඩා වැටී විනාශයට පත් වුණා.” රොස්කොස්මොස් සිය ප්‍රකාශනය එසේ නිකුත් කොට තිබිණි.
සිය උසස් තාක්ෂණික දියුණුවට බාධා එල්ල කරන්නට බටහිර රටවල් කෙතරම් සම්බාධක පැමිණවූව ද, තමා යළි සඳ තරණය කරන බව පුටින් පසුගිය වසරේ පැවසුවේ ය.
මේ යානය සාර්ථකව සඳ මත ගොඩබැස්සේ නම්, යුක්‍රේනය ආක්‍රමණය කිරීමත්, රුසියානු හමුදාවන්ගේ අසාර්ථක යුද මෙහෙයුම් නිසාත් අපවාදයට ලක් ව සිටින රුසියාවට ලෝකය හමුවේ ජය දද නංවන්නට උදව්වක් වන්නට ඉඩ තිබිණි.
මුල්ම චන්ද්‍රිකාව, මුලින්ම මිනිසකු අභ්‍යවකාශයට යැවීම, මුලින්ම කාන්තාවක අභවකාශයට යැවීම, මුලින්ම බැල්ලක අභ්‍යවකාශයට යැවීම වැනි ‘මුලින්ම’ යන ගෞරව නාමය තවත් පියවරකින් ඉදිරියට ගමන් කරවීම මේ අභ්‍යකාශ තරණයේ තවත් අරමුණක් වූ බව මෑතකාලීන අභ්‍යකාශ තරගය යන කාරණය මත පදනම්ව කෘතියක් රචනා කළ ලොව ප්‍රකට පුවත්පත් කලාවේදියකු සහ කතුවරයකු වූ ටිම් මාර්ෂල් සඳහන් කොට තිබුණි.
එමෙන්ම, මේ අභ්‍යවකාශ යානය සාර්ථක වූවා නම්, බටහිර ලෝකයෙන් හුදෙකලා වූ තත්ත්වයක සිටින රුසියාව, අභ්‍යවකාශ වැඩසටහන්වල දී වඩාත් ප්‍රබල තත්ත්වයක පසුවන බවට පණිවිඩයක් චීනයට ලබා දී ඔවුන් සමග එක් වී ඉදිරි වැඩකටයුතු සිදුකරගෙන යාමට මහඟු අවස්ථාවක් උදාකරගන්නටත් හැකියාවක් තිබිණි.
මේ විනාශකාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කොමිසමක් පත් කොට ඇති බව රොස්කොස්මොස් ආයතනය ප්‍රකාශනයක් නිකුත් කරමින් පවසා සිටියේ ය.
යානය කලින් සැලසුම් කළ ස්ථානයට ගොඩබැසීමට නියමිතව තිබුණේ අගෝස්තු 21 වැනිදා වූ අතර එයට දිනකට පෙර කක්ෂ ගත වීමට සූදානම් වෙද්දී යම්කිසි ‘අසාමාන්‍ය තත්ත්වයක්’ පෙන්නුම් කොට තිබිණි.
රුසියානු මාධ්‍ය වාර්තා කරන පරිදි මේ තත්ත්වය සැල වූ වහාම අභ්‍යවකාශ කටයුතු සම්බන්ධ නිලධාරීන් එක් වී අගෝස්තු 19 සහ 20 යන දෙදින තුළ දිවා රෑ නොබලා මේ මෙහෙයුම කෙසේ හෝ සාර්ථක කරගන්නට උත්සාහ ගෙන තිබේ.
“අගෝස්තු 19 සහ 20 යන දෙදින තුළ යානය සමග සම්බන්ධතා ඇති කරගන්නට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැහැ.” රොස්කොමොස් සිය ප්‍රකාශනයේ සඳහන් කොට තිබේ.
1976 වසරේ එවකට සිටි සෝවියට් නායක ලියොනිඩ් බ්‍රෙස්නෙව්ගේ මූලිකත්වයෙන් දියත් කළ ලූනා 24 න් පසුව අගෝස්තු 16 වැනිදා මේ විනාශ වූ ලූනා 25 සඳෙහි කක්ෂයට ඇතුළු වන්නට සමත් විය. වසර 2040 වන විට සඳ මත කඳවුරක් ගොඩනැගීම රුසියාවේ සැලැස්ම වී තිබිණි.
සඳ මත ගොඩ බට සෑම යානයක්ම මෙතෙක් ළඟා වී තිබුණේ එහි සමකාසන්න ප්‍රදේශවලට පමණි.
ලූනා 25 සැලසුම් කොට තිබුණේ එහි දක්ෂිණ ධ්‍රැවය මත ගොඩ බසින්නට ය. සඳ මත දීර්ඝ කාලයක් ගත කරන්නට කරන සැලසුම්වල දී ප්‍රයෝජනයට ගත හැකි මිදුණු ජලය සහ වෙනත් සම්පත් එම ප්‍රදේශයේ පවතිනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.
මේ ගොඩබැසීම සාර්ථක වූයේ නම් අභ්‍යකාශ සම්පත් භාවිතයෙන් ඉදිරියෙන් සිටින්නට රුසියාවට හැකිවන්නට ඉඩ තිබුණේ යැයි ටිම් මාර්ෂල් සඳහන් කරයි.
“පෘථිවියේ සම්පත් හිඟවෙමින් පවතින කාලයක සඳෙන් සම්පත් සොයා ගැනීමට හැකියාවක් ලැබීම සිතා ගත නොහැකි සාර්ථකත්වයක් කරා ගමන් කරන්නට රුසියාවට ලැබෙන මහඟු අවස්ථාවක් වන්නට ඉඩ තිබුණා” ඔහු පවසයි.
මේ යානයට සඳ මතුපිට සිට අඟල් 6 ක් යටට සාරා පස් නියැදි ලබාගෙන ඒවායේ ඇත්තේ කුමනාකාර ඛනිජ දැයි නිර්ණය කිරීමේ හැකියාවෙන් යුක්ත වූ බව පැවසේ. වසරක කාලයක් පුරා මේ පර්යේෂණ පවත්වන්නට සැලසුම් කොට තිබිණි.
කිලෝ ග්‍රෑම් 800 ක් බර ලූනා 25 යානාව රුසියාවේ වොස්ටොක්නි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත් වූයේ අගෝස්තු 11 වැනිදා ය. ඔවුහු ඉන්දියාව සමග අභ්‍යවකාශ තරගයකට ප්‍රවිෂ්ඨ වී සිටියහ. මන්ද ඉන්දියාව සිය ‘චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය අගෝස්තු 31 වැනි සඳෙහි දක්ෂිණ ධ්‍රැවය මතට ගොස් බස්සන්නට සැලසුම් කොට තිබෙන බැවිනි.
ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය ද සඳ මත කඳවුරු ඉදිකරන්නට සැලසුම් කොට තිබේ. 2011 වසරේ දී අඟහරුගේ චන්ද්‍රයකු කරා ගමන් කර වූ රුසියාවේ ෆෝබෝස්-ග්‍රන්ට් යානය පෘථිවි කක්ෂයෙන් පිටත්ව වන්නට පෙරම පැසිෆික් සාගරයට කඩා වැටී විනාශයට පත් විය. රුසියාවේ අභ්‍යාවකාශ සිහින එකින් එක විනාශ වී ගියේ ඒ අයුරිනි.
රුසියාවේ මේ අසාර්ථක වීම අභ්‍යකාශ තරගයේ යෙදී සිටින ඇමරිකාව, චීනය සහ ඉන්දියාව යන රටවල් වෙත ද යම් පණිවිඩයක් ලබා දී තිබේ. අභ්‍යවකාශ මෙහෙයුම්වල දී අප සාර්ථක වූයේ යැයි අසන සහ දකින ප්‍රවෘත්තිවලට වඩා අසාර්ථක වී සහ මරණීය සිදුවීම් බොහෝ වාර්තා වී තිබෙන නිසා මේවායේ නියැලෙන රටවල්වලින්ම මෙවැනි කටයුතු කෙරෙහි යම් විරෝධතා එල්ල වී තිබේ. 1986 ජනවාරි 28 වැනිදා ඇමරිකාව පිටත් කර හරිනු ලැබූ චැලෙන්ජර් ෂටල යානය ලක්ෂ ගණනක් මිනිසුන් බලා සිටිය දී ම ගිනිගෙන දැවී විනාශයට පත් වීමෙන් පසු ඇමරිකානුවන් විසින්ම මෙවැනි කටයුතුවලට එරෙහිව විරෝධතාවන් පළ කළහ. මාධ්‍යවලට අනාවරණය නොවූ මෙවැනි විනාශකාරී කටයුතු තවත් බොහෝ තිබෙන බැව් ප්‍රසිද්ධ රහසකි. එමෙන්ම අභ්‍යවකාශ තරගයේ මුල් සමයේ දී ද ඇමරිකාව සහ රුසියාව අතර මහත් තරගයක් පැවතිණි. මුලින්ම රුසියාව ඉදිරියෙන් සිටිය ද 1969 ජූලි 29 වැනිදා ඇමරිකාවේ ඇපලෝ 11 යානය මිනිසුන් සහිතව සඳ මතට ගොඩ බැසි යළිත් නිරුපද්‍රිතව පෘථිවිය කරා පැමිණීමත් සමග තරගයේ ප්‍රමුඛයා ඇමරිකාව බවට පත් විය. කෙසේ නමුත් සඳ තරණය කිරීමේ කාර්යයේ පරීක්ෂණ අතරතුර ඇමරිකාවේ විනාශ වූ යානා සහ මිනිස් ජීවිත පිළිබඳ රහස් තවමත් නිවැරදිව හෙළිවී නොමැත. ලෝකයේ තවමත් කතාබහට ලක් වීමේ අඩුවක් නොමැති කාරණයක් වන්නේ සඳ තරණය කිරීම ප්‍රෝඩාවක් බව ය. එවැන්නක් සිදු නොවූ බවට ඉදිරිපත් කෙරෙන සාධක ද ඉතා ප්‍රබලය. 1960 ගණන්වල ආරම්භ කළ මේ අභ්‍යවකාශ තරණය කිරීමේ වැඩසටහන් එතරම් සාර්ථකව ඉදිරියට පැමිණියේ නම් මේ වන විට ද සඳෙහි ජනපද ඉදිකරන්නට සමත්ව තිබිය යුතුය යන චෝදනාව ද එල්ල වෙයි. අභ්‍යවකාශ කටයුතු කෙරෙහි විරුද්ධ මත පළ කරන්නනන් පවසන්නේ ඇමරිකාව පවා පෙන්නුම් කරන තරම් ප්‍රගතියක් ලබාගෙන නොමැති බව ය.
කෙසේ නමුත් මේ තරගයෙන් දිනන්නට සියලු තරගකරුවෝ අධිෂ්ඨාන කරගෙන සිටිති. මේ තරගවල ප්‍රතිඵලයක් ලෙස මානව සංහතියට ඉදිරි පියවරක් තබන්නට හැකියාවක් ලැබේ නම් එහි ගැටලුවක් නැත. දැනට ලැබී ඇති අපට පෙනෙන්නට ඇති ප්‍රතිලාභයන් වී ඇත්තේ අභ්‍යවකාශ තාක්ෂණය නිසා අප එදිනෙදා භාවිත කරන උපාංගවල යම් යම් වැඩිදියුණු වීම් මිස අන්කිසිවක් නොවේ. පිටසක්වල ඇති සම්පත් පෘථිවයට රැගෙනවිත් ඒවා මිනිස් සංහතියේ වැඩිදියුණුවට උදව්වක් කරගැනීමක් පිළිබඳ කතාබහ කාලයක් පටන් සිදුවුන ද එවැන්නක් ප්‍රායෝගිකව සිදුවන දිනක් පේන මානයක හෝ නොමැත. එතෙක් මෙවැනි යානා සහ ධනස්කන්ධයන් කෙතරම් විනාශයට පත්වේදැයි බලා සිටිනු මිස අන් කිසිවක් අප ඉදිරියේ ඉතිරිව නැත.
නිරංජන් චාමින්ද කරුණාතිලක