විවිධාකාර වූ සැත්කම් අතර තවත් එක් සැත්කමක් තමයි රූපලාවන්‍ය සැත්කම් කියන්නේ. මෙය අයත් වන්නේ ප්ලාස්ටික් සැත්කම් ගණයටයි. ප්ලාස්ටික් සැත්කම් කොටස් දෙකක් තිබෙනවා. එකක් ප්‍රතිසංස්කරණ සැත්කම්. අනෙක රූපලාවන්‍ය සැත්කම් Cosmetic and aesthetic surgery ලෙසින්ද හඳුන්වන රූපලාවන්‍ය සැත්කම් ඉතා සියුම්ව සිදු කෙරෙන සැත්කම් විශේෂයක්. බොහෝවිට ශරීරයේ බාහිරට නිරාවරණය වන කොටස්වලයි මෙය සිදු කරන්නේ.
මෙම සැත්කම් ප්‍රධාන වශයෙන් කොටස් තුනයි.
ඒ මුහුණ, පියයුරු සහ ශරීරයේ ඉතිරි කොටස්වල වශයෙන්.රූපලාවන්‍ය සැත්කම් සිදු කිරීමේදී අදාළ ප්‍රදේශය පමණක් නිර්වින්දනය කර සිදුකරන සැත්කම් වගේම රෝගියා සම්පූර්ණයෙන්ම සිහි නැති කර සිදු කරන සැත්කම් ද තිබෙනවා. මේ හේතු නිසා රූපලාවන්‍ය සැත්කම් ආවාට ගියාට සිදු කරන්නේ නෑ. එය අනිවාර්යයෙන් ම අනුමත කරන ලද, නියමිත ප්‍රමිතියක් සහිත රෝහලක ශල්‍යාගාරයක් තුළ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකු විසින් සිදු කළ යුතු කටයුත්තක්.
අදාළ ප්‍රදේශය පමණක් නිර්වින්දනය කළත් සැත්කමට වැඩි වෙලාවක් ගත වන්නේ නම් රෝගියාගේ ආරක්ෂාව වෙනුවෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ද සහාය ලබා ගන්නවා. මෙහිදී නිර්වින්දන වෛද්‍යවරයා රෝගියාට නින්ද යාම සඳහා ද ඖෂධ ලබාදී සැත්කම අවසන් වන තුරුම රෝගියාව නිරීක්ෂණය කරනවා.යම් කෙනෙකුට අවශ්‍ය වූ පමණින්ම රූපලාවන්‍ය සැත්කම් සිදුකිරීම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් විසින් එකවරම කරන්නේ නෑ. සැත්කමට පෙර රෝගියාව පෙර සූදානමක් කිරීම අවශ්‍යයි. මුලින්ම සැත්කමට රෝගියා සුදුසු ද යන කරුණ විශේෂයෙන් සොයා බලනවා.
එහිදී කරන්නේ රෝගියාගේ රෝග ඉතිහාසය පිළිබඳව විශේෂයෙන් සොයා බැලීමයි. රෝගියාට දියවැඩියාව, අධික රුධිර පීඩනය, ඇදුම වැනි රෝග පවතිනවාද?, එවැනි රෝග ඇත්නම් ඒ සඳහා ගන්නා ඖෂධ මොනවාද වැනි දෑ සොයා බලන අතර වෙනත් කුමන රෝගයකට ප්‍රතිකාර ගත්තත් ඒ ප්‍රතිකාර අතරතූරේ රෝගියාට සැත්කම කිරීම සුදුසුද නැද්ද යන්න ගැන විමසීමක් කරනවා.
එමෙන්ම ඇතැම් ඖෂධ වෙනස් කළ හැකිනම් එයද කරනු ලබනවා.රෝගියාගේ සමේ තුවාල කැළල් තිබේ නම් ඒවා පරීක්ෂා කරනවා. එසේ කරන්නේ කැළැල් සෑදීමේ ප්‍රවණතාවයක් තිබේ ද යන්න සොයා බලන්නට යි. මන්ද මෙය රූපලාවන්‍ය සැත්කමක් බැවිනුයි.
මේ හැරුණු විට විවිධ රුධිර පරීක්ෂණ, ඊ.සී.ජී. පරීක්ෂණ මෙන්ම අවශ්‍ය නම් තවත් පරීක්ෂණ ද සිදු කර සොයා බලන්නේ රෝගියාට මෙම සැත්කම සුදුසුද නැතිද යන්න තවදුරටත් නිරීක්ෂණය කර බැලීමටයි. එවැනි රෝග තිබේ නම් ඒවාද ප්‍රතිකාර මගින් පාළනය කරනු ලබනවා.මේ ආකාරයට පරීක්ෂණ සිදුකර සෞඛ්‍ය තත්ත්වය එපමණකට සතුටුදායක නැත්නම් සැත්කම නොකරන ලෙස රෝගියාට අවවාද කරනු ලබනවා. මේ අනුව බලන කල තමන් අතේ මුදල් තිබූ පමණින්ම රූපලාවන්‍ය සැත්කම් කිරීම නුසුදුසු බව ඔබට වැටහෙනු ඇති.
රූපලාවන්‍ය සැත්කම්වල දී පමණක් නොව කුමන සැත්කමකදී වුවත් රෝගියකුට අසාත්මිකතාවයක් ඇති වන්නට බැරිකමක් නෑ. ප්‍රතිජීවක ඖෂධ, නිර්වින්දනය සඳහා භාවිතා කරන බෙහෙත්, විෂබීජනාශක දියර, ප්ලාස්ටර් ආදිය පවා ඇතැම්විට අසාත්මික වන අය නැතුවා නොවෙයි. මෙය එම ප්‍රදේශයට පමණක් බලපාන සුළු අසාත්මිකතාවයක සිට මුළු සිරුරටම බලපාන කම්පනයක් ( Anaphylaxis shock ) දක්වාම වුවත් යා හැකියි. සැත්කම සිදු කරන ස්ථානය පිළිබඳව මුලින්ම අවබෝධය ලබාගත යුත්තේ ඒ නිසයි.
එබැවින් ප්ලාස්ටික් සැත්කමක් කිරීමට පෙර සැත්කමට අවශ්‍ය පහසුකම් තිබෙනවා ද, රෝගියාගේ ජීවිතාරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙනවාද?, රෝගීන්ගේ ආරක්ෂාව සඳහා වන අන්තර් ජාතික ක්‍රමවේද අනුගමනය කරනවාද යන කරුණු ගැන කල් ඇතිව සොයා බැලිය යුතුයි. එසේම සැත්කමට අවශ්‍ය උපකරණ තිබෙනවාද, නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකුගේ සහාය ලබා ගන්නවාද? සැත්කම නිසා කුමන හෝ සංකූලතාවයක් ඇති වුණොත් ඒවාට ක්ෂණික ප්‍රතිකාර ලබාදීම සඳහා පහසුකම් තිබෙනවා ද? දැඩි සත්කාර ඒකකයක් තිබෙනවාද, රුධිර පරීක්ෂණ එම ස්ථානයෙන්ම කරගත හැකිද, ඔක්සිජන් සහ කෘත්‍රිම ස්වසනය ලබාදීම සඳහා අවශ්‍ය පහසුකම්, සැත්කම අවසානය තෙක් තෙක් නිරීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය වන මොනිටරින් සිස්ටම්, පුහුණු වෛද්‍යවරුන් සහ පුහුණු කාර්ය මණ්ඩලයක් යන මේ සියල්ලෙන් ම අංග සම්පූර්ණ නැත්නම් මෙවැනි සැත්කමකට නොයා සිටිය යුතුයි.
එසේම රෝගියාගේ රහස්‍යභාවය සුරැකීමත් රූපලාවන්‍ය සැත්කමකදී විශේෂයෙන්ම වැදගත් වෙනවා. අනුමත කරන ලද ප්‍රමිතියක් සහිත රෝහලකින් ම මෙවැනි සැත්කමක් කරවා ගැනීම වැදගත් බව ඔබට මුලින්ම අවධාරණය කළේ ඒ නිසයි. ඒ අනුව රූපලාවන්‍ය සැත්කම් ආවාට ගියාට සිදු කළ යුතු දෙයක් නොවන බව දැන් ඔබට වැටහී ඇතැයි සිතනවා.
විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සතිශ් විජේමාන්න
ඉන්දු පෙරේරා