රෝගයක් නොවන “රෝගය” ආතරයිටිස්

වියපත් වැඩිහිටියන් අතරේ ආතරයිටිස් ඉතා බහුලව තිබෙන රෝගයකි. මෙය රෝගයක් ලෙස හැඳින්වූවත් සැබෑවටම මෙය රෝගයක් නොව රෝගයක ලක්ෂණයකි.හරියටම කිවහොත් හිසරදය මෙනි. හිසරදයද රෝගයක ලක්ෂණයක් මිස රෝගයක් නොවේ.
අපගේ ශරීරයේ ඕනෙම සන්ධියක ආතරයිටිස් හට ගැනීමට පුළුවන.

මෙහි ප්‍රධාන ලක්ෂණ වන්නේ එම සන්ධි ඇතිවන ප්‍රදාහ සහ වේදනාව සහ වේදනාව සහ ඉදිමීමයි ඊට අමතර ලක්ෂණයක් ලෙස ඇතැම්විට එම සන්ධිය ශරීරයේ අනෙක් තැන් වලට වඩා උණුසුමින් වැඩි විය හැකිය.

ආතරයිටිස් රෝග හටගන්නේ වියපත් වූ වැඩිහිටියන්ට යැයි බොහෝ දෙනෙක් සිතා සිටියත් එහි සත්‍යතාවයක් නැත. බාල, තරුණ, මහලු ඕනෑම වයස් කාණ්ඩයක කෙනකුට ආතරයිටිස් ලක්ෂණ හට ගැනීමට පුළුවන.

හන්දියේ ඉදිමුමක් හෝ උණුසුම් බවක් නැතිව වේදනාවක් පමණක් දැනෙන්නේ නම් එය හඳුන්වන්නේ arthralgia ලෙසිනි. මෙහිදී ඒ පිළිබඳව කතා කරන්නට අදහස් කරන්නේ නැත.

අපේ ශරීරයේ ප්‍රධාන සන්ධි වර්ග දෙකක් තිබේ. මෙහි පළමු වර්ගය සයිනෝවියල් ජොයින්ට්ස් (Synovial joints )ය. මේ සන්ධිවල කාටිලේජ සහ ඒ වටේට ආවරණයක් පවතී. මීට උදාහරණ වන්නේ දණහිස, අත උරහිසට සම්බන්ධ වන සන්ධිය වැනි දෑ ය.
අනෙක් සන්ධි වර්ගය ෆයිබ්‍රෝකාටිලේජිනියස් ජොයින්ට්ස් ( fibrocartilaginous joints) නම්වේ. කොඳු ඇට පෙළේ කශේරුකා අතර සන්ධි මීට උදාහරණයකි.

මේ සඳහන් කරන ලද සන්ධි දෙවර්ගයෙහිම ආතරයිටිස් හටගනී.

ආතරයිටිස් හට ගන්නේ කොහොමද?

1. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වෙනස්කම් මත ඇතිවන අසාමාන්‍යතා සන්ධිවලට බලපෑමක් ලෙසින් ආතරයිටිස් හටගැනීම එක් හේතුවකි.(inflammatory conditions)

මේ තත්ත්වයට දැක්විය හැකි සුලබ උදාහරණයක් වන්නේ රුමැටොයිඩ් ආතරයිටිස් ය. මෙහිදී කුඩා සහ ලොකු සන්ධිවල ඉදිමුම හා වේදනාව ඇති වේ.

2. දණහිස් , උකුල් ඇටය වැනි ලොකු සන්ධිවලට රුධිරය හරහා විෂබීජ ඇතුල් වීමෙන් එම සන්ධි ආසාදනය වීම (infections conditions )

ක්ෂය රෝග විෂබීජය සන්ධිවල සහ කශේරුකාවල ආසාදනය වීමෙන් හට ගන්නා ටී.බී ආතරයිටිස්, ගොනෝරියා නම්වූ ලිංගාශ්‍රිත රෝගය තුළින් ඇතුළු වන එම බැක්ටීරියා වර්ගය ආසාදනය වීමෙන් හට ගන්නා ගොනොකොකල් ආතරයිටිස් මීට උදාහරණ වේ.

3. කාන්තාවන්ට ආර්තවහරණයෙන් පසුව ඇතිවිය හැකි දණහිස්, උරහිස, වැලමිට, වළලුකර වැනි සන්ධිවල ඇතිවන වේදනාව, ඉදිමීම සහ උණුසුම් බව ( degenerative conditions )

මේ ලක්ෂණ ඇති වන්නේ ඔස්ටියෝ ආතරයිටිස් රෝගයේ දීය. මෙම රෝගය කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටත් වැළඳෙයි.

4. ශරීරයේ ඇතිවන රසායනික වෙනස්කම් (metabolic conditions )

ගවුටි ආතරයිටිස් රෝගය මීට උදාහරණයකි. ශරීරයේ සෑදෙන යූරික් ඇසිඩ් විවිධ හේතු මත සන්ධිවල තැන්පත් වීම නිසා කාලයක් ගතවන විට දණහිස්වලත්, අත් පා වල ඇඟිලි සන්ධිවලත් වේදනාව ඇති වීම මෙහි ලක්ෂණයයි.

5. හදිසි අනතුරක් නිසා හෝ තදබල පහරක් වැදීම වැනි තත්ත්වයකින් සන්ධියකට හානි ඇතිවීම නිසා එහි ප්‍රතිඵලයක් ලෙස හට ගන්නා ආතරයිටිස් ( traumatic arthritis )

ශරීරයේ බර වැඩිවීම ආතරයිටිස් හටගැනීමට හේතුවක් ද?

සිරුර තරබාරු වන විට දණහිස්වලට දිගු කලක් වැඩිපුර බර ප්‍රමාණයක් දරාගෙන සිටීමට සිදුවේ. එවිට දණහිස සන්ධියේ ඇති කාටිලේජ පලුදු වීමෙන් අස්ථි දෙක එකට ගැටෙනු ඇත. මෙහිදී විශාල වේදනාවක් ද දැනේ. ඒ අනුව බර වැඩි කෙනෙකුට ඔස්ටියෝ ආතරයිටිස් හට ගැනීමට තිබෙන හැකියාව සිහින් සිරුරක් ඇති කෙනෙකුට වඩා වැඩි ය. නමුත් බර වැඩිවීම මේ රෝගය හට ගැනීමට බලපාන එක් සාධකයක් පමණි. ඒ අනුව අනෙකුත් සාධකත් එකතු වුණොත් බර වැඩි කෙනෙකුට ඔස්ටියෝ ආතරයිටිස් හට ගැනීමේ පහසු හැකියාවක් තිබේ.

ආතරයිටිස් හඳුනා ගන්නේ කොහොමද ?

ඉහත කී හේතු වලින් කුමන හෝ හේතුවක් මත ආතරයිටිස් හටගත හැකිය. රෝගීන් එම ලක්ෂණ සමග වෛද්‍යවරයකු වෙත පැමිණි විට රෝග ඉතිහාසය පිළිබඳව වෛද්‍යවරයා විමසීමක් කරනු ලබයි. සමහර රෝගීන් තුළ තමන්ගේ රෝගයට අදාළ ඉහත කී ලක්ෂණවලට අමතරව උණ, සන්ධිවල උදය කාලයේ තද ගතියක් ඇතිවීම, ඒ අනුව සන්ධි උදේට දිගහැර ගැනීම අපහසු වීම( දිවා කාලය වන විට ටිකෙන් ටික මෙය මග හැරී යයි.) වැනි ලක්ෂණද දැක්විය හැකිය.

මේ රෝග ලක්ෂණවලට අනුව F.B.C., E.S.R. වැනි මූලික රුධිර පරීක්ෂණ කර එයින් ලැබෙන ප්‍රතිඵලවලට අනුව විශේෂිත පරීක්ෂණ කිරීමට වෛද්‍යවරයාට සිදුවේ. රෝගය පිළිබඳ නිවැරැදි නිශ්චයකට එළඹෙන්නට හැකි වන්නේ ඒ අනුව ය.

තමන් වෙත පැමිණෙන රෝගියාට තිබෙන්නේ කුමන වර්ගයේ ආතරයිටිස්දැයි වෛද්‍යවරයා විසින් හඳුනා ගැනීමෙන් පසු, ඒ පිළිබඳව සහ ඊට කරනු ලබන ප්‍රතිකාර පිළිබඳව රෝගියා දැනුවත් කළ යුතුය.

ආතරයිටිස් නිට්ටාවට සුව කළ නොහැකි ද?

මෙම මතය 100% ක් ම නිවැරදි නොවේ. රෝගියාට වැළඳී තිබෙන ආතරයිටිස් වර්ගය හරියටම හඳුනා ගැනීමෙන් පසු නිසි ප්‍රතිකාර කිරීමෙන් සමහර ආතරයිටිස් වර්ග සුව කළ හැකිය.

* රුමැටොයිඩ් ආතරයිටිස්

මෙය ප්‍රතිකාර මගින් පාළනය කළ හැකිය. ඒ අනුව නිසි ලෙස ප්‍රතිකාර ගැනීම තුළින් රෝගියාට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකියාව තිබේ.

* ඔස්ටියෝ ආතරයිටිස්

ප්‍රතිකාර මගින් රෝගය පාලනය කළ හැකිය. රෝගය සහිත සන්ධිය ඉවත් කර කෘත්‍රිම සන්ධියක් සැත්කමක් මගින් සවි කිරීම මීට නිශ්චිත ප්‍රතිකාරයකි. නමුත් මෙම සැත්කම මිල අධික ය.

* ගොනොකොකල් ආතරයිටිස් සහ ටී. බී.ආතරයිටිස්

මෙවැනි ආසාදන නිසා ඇතිවන ආතරයිටිස් වර්ගයේදී ආසාදනය සඳහා හේතුකාරක වූ විෂබීජය ප්‍රතිකාර මඟින් ඉවත් කළ විට රෝගය නිශ්චිතවම සුව වේ.

* හදිසි අනතුරු නිසා ඇතිවන ආතරයිටිස්

හන්දියට සුළු හානියක් වී ඇත්නම් සැත්කමක් මගින් යථා තත්ත්වයට පත් කළ හැකිය.

* ගවුටි ආතරයිටිස්

ශරීරයෙහි යූරික් ඇසිඩ් වැඩිවීමට බලපාන හේතුවට ප්‍රතිකාර කර එය ඉවත් කළ විට රෝගය මුළුමනින්ම සුව වේ.

ආතරයිටිස් තත්ත්වයන්ට වේදනානාශක ඇතුළු නොයෙකුත් විශේෂිත වූ ඖෂධ ප්‍රතිකාර සහ සමහර ආතරයිටිස් වර්ගවලට ව්‍යායාම කිරීමට ද සිදුවේ. දිගුකාලීන ඖෂධ ප්‍රතිකාර මගින් ගැස්ට්‍රයිටිස්, ඇතැම් විට සිරුර තරබාරු වීම, දියවැඩියාව මෙන්ම ඇතැම් විට ඔස්ටියෝපොරෝසිස් පවා අතුරු ආබාධ ලෙස හට ගැනීමේ හැකියාව ඇත. කෙසේ වුවත් මේ අතුරු ආබාධ පිළිබඳව රෝගියා දැනුවත් කිරීම සාමාන්‍යයෙන් සිදුවේ.

කායික රෝග විශේෂඥ වෛද්‍ය කේමින්ද තිලකරත්න

ඉන්දු පෙරේරා

විනිවිද සායනය