ඉන්දියාවේ සුපිරි පිතිකරු විරාත් කෝලි පසුගිය දා සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ 15 වැනි වසර සැමරුවේය. ඔහු මෙම ක්‍රිකට් ගමන පටන් ගත්තේ ශ්‍රී ලංකාවෙන් වීම විශේෂත්වයකි. ඒ 2008 වසරේ අගෝස්තු 18 වැනි දින ය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති එම එක් දින තරගය පැවැත්වුණේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ යි. එය එක් දින තරග පහකින් සමන්විත වූ තරගාවලියක පළමු තරගය විය.
ඒ වනවිට 19 වැනි වියෙහි පසු වූ කෝලිට සිය මංගල තරගයේ දී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 12 ක් පමණි. කෝලිගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ පළමු වරට ඔහුගේ කඩුල්ල දවාගත් පන්දු යවන්නා බවට පත් වූයේ ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන නුවන් කුලසේකර යි. කෝලි දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනි. මෙම තරගයෙන් ජය ගත්තේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි. මුලින් පන්දුවට පහර දුන් ඉන්දියානු පිල 146 ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි විය. එහි දී වැඩිම දස්කම් දැක් වූයේ දඟ පන්දු යවන අජන්ත මෙන්ඩිස් ය. ඔහු ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගත් අතර තරගයේ වීරයා බවට ද පත් විය. ශ්‍රී ලංකා පිලට ඉහත කී ලකුණු 146 ඉලක්කය ඉතා පහසුවෙන් ජයගත හැකි විය. ඒ සඳහා ඔවුන්ට වැය වූයේ ඕවර 34.5 ක් පමණි.
මේ කාලයේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූයේ සචින් තෙන්දුල්කාර් සහ විරේන්දර් ෂේවාග් ය. නමුත් මේ දෙදෙනාම මෙම තරගයට සහභාගි වූයේ නැත. ඒ ඔවුන් ආබාධවලට ලක්ව සිටි බැවිනි. ඒ නිසා මෙහිදී ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරන්නට සිදු වූයේ කෝලිට සහ ගෞතම් ගම්භීර්ට ය.
කෝලි පළමු වරට ටෙස්ට් තරගයකට සහභාගි වූයේ 2011 වසරේ යි. එය බටහිර ඉන්දීය කොදෙව් පිල සමග පැවැති තරගයක් විය. ඔහුගේ පළමු විස්සයි විස්ස තරගය වූයේ 2010 වසරේ සිම්බාබ්වේ සමග පැවැති තරගයකි.
විරාත් කෝලි මේ වනවිට ජාත්‍යන්තර තරගවල දී රැස් කර ඇති ශතක ගණන 76 කි. ඒ ටෙස්ට් ශතක 29 ක්, එක් දින ශතක 46 ක් සහ විස්සයි විස්ස ශතක 1 ක් වශයෙනි. ජාත්‍යන්තර ශතක සංඛ්‍යාව අතින් වාර්තාව පිහිටුවා ඇත්තේ සචින් තෙන්දුල්කාර් ය. ඔහු ශතක 100 ක් රැස් කර තිබේ. ටෙස්ට් ශතක 51 ක් සහ එක්දින ශතක 49 ක් ඊට ඇතුළත් ය. ඉදිරියේ දී කෝලි මෙම වාර්තාව බිඳ හෙලන්නට සමත් වනු ඇති බව ඇතැම් ක්‍රිකට් විචාරකයන්ගේ විශ්වාසය යි. පාකිස්තානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂොයිබ් අක්තාර් ද පසුගිය දිනෙක මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබිණි. ඔහු පවසන්නේ මේ වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියෙන් පසු කෝලි එක් දින තරගවලින් සහ විස්සයි විස්ස තරගවලින් සමුගත යුතු බවයි. එයින් පසු ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා සම්පූර්ණ කාලය කැප කළ යුතු බව අක්තාර් පවසයි. එසේ වුවහොත් ඔහුට සචින්ගේ ඉහත කී වාර්තාව බිඳ හෙලීමට පවා හැකි වනු ඇතැයි ෂොයිබ් අක්තාර් සඳහන් කර තිබේ. ඔහු එසේ පවසන්නේ ටෙස්ට් තරගවල දී ශතක රැස් කිරීමට වැඩි ඉඩක් ඇති නිසා විය හැකිය.
මේ වනවිට කෝලිගේ වයස අවුරුදු 34 කි. ලබන ඔක්තොබර්-නොවැම්බර් මාසවල පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය ඔහුගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය වනු ඇත්ද යන්න සම්බන්ධයෙන් ද මේ වනවිට කතාබහක් ඇතිව තිබේ. ඊළඟ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙනු ඇත්තේ 2027 වසරේ යි. ඒ වනවිට කෝලිගේ වයස අවුරුදු 38 ක් වනු ඇත. එම කාලය තුළ ඔහුගේ පිතිකරණ හැකියාවේ යම් අඩාල වීමක් වුවහොත් 2027 ලෝක කුසලාන තරගාවලිය ඔහුට අහිමි වීමට ඉඩ තිබේ.
විරාත්ගේ බිරිඳ අනුෂ්කා ෂර්මා ද පසුගිය දිනවල ක්‍රිකට් පිටියට බැස තිබුණාය. ඒ ඇයගේ අලුත්ම සිනමාපටය වෙනුවෙනි. Chakda Xpress නැමැති මෙම සිනමාපටය ඉන්දියාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතම ක්‍රීඩිකාවක වූ ජුලාන් ගෝස්වාමිගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වන්නකි. එහි ගෝස්වාමිගේ චරිතය නිරූපනය කරන්නේ අනුෂ්කා ය. Chakda Xpress මෙම වසරේ ප්‍රදර්ශණය වනු ඇති බව පැවසුණත් තවමත් නිශ්චිත දිනයක් සඳහන් නොවේ.
නිහාල් පීරිස්